ඩී.ආර් සටන දිනුවා ආණ්ඩුකාරයා ගෙදර ගියා

ඩී.ආර් සටන දිනුවා ආණ්ඩුකාරයා ගෙදර ගියා

එකල වත්පොහොසත්කම් තිබූ පවුල්වල දරු දැරියන් උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට යෑම සිරිතක් වශයෙන් පැවැතිණි. දොන් රිචර්ඩ් විජයවර්ධන තරුණයා ද එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු බවට පත් වූයේ එම සිරිත අනුවය. එම ගමනේදී ඔහුගේ අනාගත සාර්ථකත්වයට මුලික අඩිතාලම වැටිණ.

1912 වසරේදී ඔහු පෙරළා ලංකාවට පැමිණ අලුත්කඩේ උසාවියේ අධිනීතිඥයකු වශයෙන් කටයුතු කරන්නට පටන් ගත්තේය.

එහෙත් ඔහුට නීතිඥ වෘත්තියෙන් පමණක් සෑහීමකට පත්වන්නට නොහැකි විය. තරුණ විජයවර්ධන එංගලන්තයේදී ලිබරල්වාදී නිදහස් දේශපාලනයක උණුසුම විද පැමිණියෙකි.

බ්‍රිතාන්‍ය පාලකයන්ගේ මදි පුංචිකම්වලට මුහුණ දුන් මධ්‍යම පාන්තිකයන් දුටු ස්වදේශිකයන්ට ඔවුන් හා සම අයිතියක් දේශපාලන වශයෙන් දිනා ගැනීමේ බලාපොරොත්තු ඇතිවෙමින් තිබිණි.

එවකට හිස ඔසවමින් තිබූ ස්වරාජ්‍ය දිනාගැනීමේ ව්‍යාපාරයට රුකුල් දීමේ අභිලාෂයක් රිචර්ඩ් විජයවර්ධන සිතෙහි ඇතිවෙමින් තිබිණි.

”දේශපාලන වශයෙන් වඩාත් දියුණු වාතාවරණයක සිට ආපසු පැමිණි මම, දේශීය ප්‍රශ්න කෙරෙහි වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම කෙරෙහි උනන්දුවක් දැක්වීමි.”

හෙතෙම 1913 වසරේ ඔක්තෝබර් මාසයේදී ලංකා ජාතික සංගමයේ ලේකම් ධුරයට තෝරා පත්කර ගන්නා ලදී.

ඔහු සිය මිතුරන් වූ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් හා ශ්‍රීමත් ජේම්ස් පීරිස් දෙදෙනා සමඟ මෙම සංවිධානය රටේ ප්‍රබල දේශපාලන හා සමාජීය සංවිධානය බවට පත්කරන්නට පටන් ගත්තේය. පසුව මෙම දේශපාලන ව්‍යාපාරය වටා කතෝලික, බෞද්ධ හෝ සිංහල, ද්‍රවිඩ භේද නොසලකා සියල්ලෝම ඒකරාශී වන්නට පටන් ගත්හ.

1915 වසරේ මැයි මාසයේ, මහනුවර දී සිංහල බෞද්ධ පිරිසක් හා මුස්ලිම් පිරිසක් අතර ගැටුමක් ඇති විය. මෙම ගැටුම ලංකාවේ බොහෝ ප්‍රදේශ දක්වා පැතිර ගියේය. මින් දෙපාර්ශ්වයේම සෑහෙන ප්‍රමාණයක් මරුමුවට පත් වූහ. බ්‍රිතාන්‍ය රජය මෙම ගැටුම කැරැල්ලක් ලෙස වටහා ගෙන දරුණු ලෙස මර්දනය කළහ.

සමාජීය හා දේශපාලන ක්‍රියාකාරකම්හි නිරතව සිටි ශ්‍රීමත් බාරොන් ජයතිලක, ඩබ්ලිව්. ඒ. ද සිල්වා, ඩී. ඇස්. සේනානායක, චාල්ස් බටුවන්තුඩාවේ ආදී නායකයෝ විශාල පිරිසක් බන්ධනාගාරගත කරන ලදහ. මේ වනවිට විජයවර්ධන මහතා ලංකා පාබල හමුදාවේ ලෙෆ්ටිනන්ට් තනතුර හොබවන නිලධාරියකු වශයෙන් කටයුතු කරමින් සිටියේය.

මොහු සෙසු නායකයන් මෙන් පාලකයන්ගේ පීඩනයට ලක් නොවීය. එහෙත් නැවැත එවැන්නක් සිදුවීම වළක්වා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ දේශීය නියෝජනයක් හා ජනතාවට සර්ව ජන ඡන්ද බලය ලබා දීමටත් අදිටන් කරගත්තේය. සිරගත වූ සෙසු නායකයෝ හා සාමාජිකයෝ ද බෞද්ධ ව්‍යාපාර පසෙකලා දේශපාලනමය වශයෙන් ක්‍රියා කිරීමට පටන් ගත්හ.

ඔහු, මහජන සේවක සමිතියේ ලේකම්වරයා ද විය. මේ සමිතිය පිහිටුවා ගැනීම සඳහා විජයවර්ධන හා ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහතා ද මුල් විය. එම සංවිධානය පිහිටුවා ගැනීමේ ප්‍රධාන පරමාර්ථය වූයේ ඉහළ මධ්‍යම පන්තියේ පුද්ගලයන් මහජන සේවයට පොළඹවා ගැනීම ය. ඊට අමතරව දිළිඳු ජනතාවට සේවය කිරීමද මෙහි අරමුණ විය.

ශ්‍රීමත් ඩී.බී.ජයතිලaක

මාර්ටින් වික්‍රමසිංහ

සිංහල – මුස්ලිම් ගැටුමින් පසු සියලුම මධ්‍යම පාන්තික නායකයෝ අන් කවරදාකටවත් වඩා මහත් උද්‍යෝගයෙන් ස්වරාජ්‍යයක් උදෙසා පෙළ ගැසුණහ. මෙහිදී පසුබිමෙහි සිට නිහඬව නායක පක්ෂයට සියලු සහයෝගය විජයවර්ධන විසින් දෙන ලදී.

සිංහල – මුස්ලිම් ගැටුමේදී එවකට ආණ්ඩුකාරයා වූයේ රොබට් චාමස් මහතා ය. එම ගැටුමේ දී ඔහු ගත් අවිචාරවත් ක්‍රියාමාර්ගය බ්‍රිතාන්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරු ලවා විවේචනය කරවන්නට විජයවර්ධන ක්‍රියා කළ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුකාරවරයා ඉවත් කෙරිණි.

හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා අමෙරිකාවේ ආරම්භ කළ සංවිධානයකට දේශීය පැහැයක් දෙමින් ඔහු ලංකාවේද “බෞද්ධ පරම විඥානාර්ථ” නමින් සමාගමක් ආරම්භ කළේය. අනගාරික ධර්මපාලතුමා ආරම්භ කළ ‘මහාබෝධි’ සමාගමේ ද ඔහු ප්‍රබල සාමාජිකයෙක් වූයේය.

1928, 1935, 1944 යන වසරවලදී මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු විය. මෙහිලා මහත්සේ වෙහෙසී ක්‍රියා කළ විද්වතුන් පිරිස අතර පිටුපසින් සිට, උපදෙස් දෙමින්, අතරමැදියකු ලෙස ක්‍රියාකරමින් විජයවර්ධන මහතා කැපී පෙනෙන කාර්යභාරයක් කළේය. මෙරට දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයක් වන 1931 වසරේදී සර්ව ජන ඡන්ද බලය ශ්‍රී ලාංකේය ජනතාවට හිමිවීම කෙරෙහිද ඔහු ඇපකැප වී ක්‍රියා කර ඇත.මේ සියලු ක්‍රියාවන් කෙරෙහි විජයවර්ධනට මහඟු පිටිවහලක් ලබා දුන්නේ ඔහු විසින් ආරම්භ කරන ලද පුවත්පත් ය.

“වස්තු සම්භාරයක් අත්පත් කර ගැනීම සඳහා මම පුවත්පත් කලාවට ප්‍රවිශ්ට නොවූයෙමි. මුදල් සොයාගැනීමට උවමනා වී නම්, පුවත්පත් කලාවට වඩා නොයෙකුත් පහසුකම් තිබුණි. මෙම ව්‍යාපාරය කෙරෙහි මම විශාල වශයෙන් කැප වූයෙමි. මහජන සේවය සහ ජාතික සංවර්ධනය මගේ පුවත්පත් කලාවේ අරමුණයි.”

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ආධිපත්‍යයෙන් මුදා ගනිමින් දේශීය වශයෙන් දේශපාලන නිදහස ලබා ගැනීම උදෙසා මහජන මතය ඇතිකරවීම විජයවර්ධනගේ පුවත්පත්වල ප්‍රතිපත්තිය වූ බව පෙනේ.

බෞද්ධ පුනර්ජීවනය, කම්කරු ප්‍රබෝධය ඇතිකරවීමට මෙම පුවත්පත් ක්‍රියාකරන ලදී. 19 සියවස අගභාගයේ ආරම්භ වූ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය, අමද්‍යප ව්‍යාපාරය මෙන්ම විසිවන සියවසේ මුල් භාගයේ ඇතිවූ නාගරික කම්කරු ව්‍යාපාරද වඩාත් පුබුදුවාලමින් ඔහු තම පුවත්පත් මෙහෙයවීය.

ශ්‍රී ලංකාව තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි ඇති අවශ්‍යතාව, ඒ සඳහා නැගී සිටිය යුතු බව පිළිබඳවද නිරතුරු ජනතාව දැනුවත් කරමින් ඔවුන්ව අවබෝධයෙන් තැබීමටත් ඔවුන් ප්‍රබෝධමත් කිරීමටත් Daily news හා දිනමිණ නිතර ලිපි ලේඛන රැසක් පළකරන්නට විය.

ඩොනමෝර් ආණ්ඩ්‍රක්‍රමය ක්‍රියාත්මක වීමේදී පැන නගින සෑම අස්වාභාවික සිද්ධියක්ම අනාවරණය කිරීමට Daily news පත්‍රයත් ‘දිනමිණ’ නිරන්තර සූදානමින් සිටියේය. මෙලෙස විජයවර්ධනගේ පුවත්පත් දේශීය දේශපාලන නිදහස ලබාදීම වෙනුවෙන් නොයෙක් අවස්ථාවලදී ක්‍රියාත්මක වු බව දැක්වීමට නිදර්ශන රැසක් පෙන්වා දිය හැක.

ආරම්භක අවදියේ දිනමිණට නොකඩවා ලිපි සපයමින් ද වරෙක කතු වැකි ලියමින් ද ශ්‍රීමත් බාරොන් ජයතිලක ජනතාව තුළ විශාල ආකල්ප පෙරැළියක් ඇති කළේය. සිංහල - මුස්ලිම් ගැටුම පැතිර ගිය වකවානුවේදී සිංහල බෞද්ධයන් හා ක්‍රිස්තියානින් අතර හොඳ හිත බිඳවන්නට බ්‍රිතාන්‍ය පාලකයන් දැරූ ප්‍රයත්නය ජනතාවට දිනමිණ විසින් හෙළිකරන ලදී.

සර්ව ජන ඡන්ද බලය ඉල්ලා නැඟුණු උද්ඝෝෂණයට ‘දිනමිණ’ අත්වැල් සැපවූයේය. ඒ සම්බන්ධයෙන් ලිපි පළ කරමින් නියමාකාර ආණ්ඩුක්‍ර‍්‍රමයක් බිහි කිරීම පිළිබඳව ධෛර්යය ලබා දෙමින් තම කාර්යභාරය විජයවර්ධනගේ පුවත්පත් විසින් ඉටු කරන ලදී.

උගත් මධ්‍යම පන්තිකයන් තුළ රටේ දේශපාලන නිදහස පිළිබඳ මතයක් ඇතිකිරීම සඳහා මෙම ව්‍යාපාරයට පිවිසුණු විජයවර්ධන දැඩි අධිෂ්ඨානයකින් එහි නිරත විය.

දොන් රිචර්ඩ් විජයවර්ධන පිළිබඳ පුවත්පතකට ලිපියක් සපයන මාර්ටින් වික්‍රමසිංහ මහතා ඔහුගේ උතුම් මානුෂීය ගුණාංග හා ශූ®ර වෙළෙඳ ව්‍යාපාරික ඥානය ගැන මෙසේ දක්වයි.

“... විජයවර්ධන මහතා දයාව, කරුණාව, අනුකම්පාව යනාදී උතුම් ගුණ බෙහෙවින් ඇත්තෙකි. එහෙත් දහසකට වැඩි උගත් – නූගත් සේවක පිරිසක් හා දවස් පතා ගැටීම නිසා ඒ උතුම් ගුණ කඳ බඳුනෙන් උතුරා පිට නොවීය. ඒ ගුණ අනවරතයෙන් උතුරා පිටවන්නට වී නම් එය ඒ සා විශාල වෙළෙඳ ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට මහා බාධාවක් වෙයි ...”

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්