ශත දහයේ විශ්වවිද්‍යාලය ඇති කළ 20 වැනි සියවසේ පෙර ගමන්කරුවා

ශත දහයේ විශ්වවිද්‍යාලය ඇති කළ 20 වැනි සියවසේ පෙර ගමන්කරුවා

අසල ගෑස් ලයිට් කණුව යට පුවත්පතක් වනපොත් කරමින් හුන් මිනිසා කදිම රූපකයක් වූයේ මිතුරා ගේ පැනයට පිළිතුරු දීම සඳහා ය. එදෙසට ඇඟිල්ල දිගු කළ ඔහු තමන් ගේ එකම අභිප්‍රාය රටේ ජනතාවට කියවීමට සුදුසු පුවත්පතක් ඇරඹීම බව ප්‍රකාශ කළේ ය.

මළ හිරු බසින සැන්දෑ ජාමයක ලන්ඩන් නුවර වීථියක දී මේ කතාබහ සිදු වීය. ඒ දොන් රිචඩ් ජයවර්ධන බැරිස්ටර්වරයකු ලෙස බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියේ උගන්නා කාලයේ දීය.

ව්‍යාපාරයක් ඇරඹීම වූ කලි ලාබ ඉපයීමට අරමුණු කොට ගන්නා බව පොදු සමාජීය මතය යි. එහෙත් ඉන් ඔබ්බට විහිද යන සමාජ සංස්කෘතික හර පද්ධතීන් ඔප් නංවාලීම පදනම් වූ ව්‍යාපාරයක් වෙතොත් ඒ, ඩී.ආර්. ගේ පත්තර ව්‍යාපාරය බව නොකිවමනා ය.

ඔහු ගේ මෙම හැඟුම් ඔසවා තැබීමෙහි ලා කේම්බ්‍රිජ් සරසවි බිමත් බොදු හැඟුමත් මිත්‍ර සමාගමයන් මහත් සේ රුකුල් දුන්නේ ය. එහිදී මිත්‍ර සමාගමය විෂයෙහි යමක් සටහන් තැබිය යුත්තේම ය.

මන්ද ක්‍රිෂ්ණ ගෝකුල්, සුනේන්ද්‍රනාත් බෙනර්ජි, ලාල් රජ්මන් රායි, බෙජින් චන්ද්‍රලාල් ආදි මිත්‍රයෝ එවක ඉන්දියානු නිදහස් සටන මෙහෙය වූවන් ගේ දූ පුතුන් වීම ය. ඔවුහු සිය ජන්ම භූමිය උදෙසා රුධිරය හෙළා මියැදීම භාග්‍යකැ’යි සිතුවාහු ය.

මෙකී මිත්‍ර සමාගමයෙන් විදාරණය වූ නිදහසේ සිතිවිලි ඩී. ආර්. දැඩිව වැළඳ ගත්තේ ය. නිදහස් රටක නිදහසේ විසීම ඒ වන විටත් අපෙන් ගිලිහි ගොස් තිබුණේ ය. ඒ බටහිර අධිරාජ්‍ය වාදීන් ට නතු වූ ශ්‍රී ලාංකේය සමාජය නේකවිධ තාඩන පීඩනයන් ට ලක්වූ හෙයිනි.

1912 දී එතුමෝ අධිනීතිඥ උපාධි ලැබ මෙරටට පැමිණෙන විටත් සුදු පාලකයන්ගේ අසාධාරණ අයුක්ති සහගත පාලනය රජ කරමින් පැවැතියේ ය. එවක සුදු ව්‍යවස්ථාවන් ට එරෙහිව විවිධ විරෝධතාවන් පැතිර ගියේ ය. සුදු හමට ළැදි කල්ලෝ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අනවශ්‍ය බව කිවූහ.

මෙකී කඹ ඇදිල්ලේ දී ජන මතයක් ගොඩනැඟීමෙහි ලා නිශ්චිත මාධ්‍යයක් අවශ්‍ය බව පැහැදිලිව හඳුනාගන්නට විජයවර්ධන මහතා සමත් වූයේ ය. කේම්බ්‍රිජ් හි දී නීතිඥ එෆ්. එච්. එම්. කෝබට්, ඩී. ආර්. ට අවවාදයක් දුන්නේ ය. එනම්, ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස් කර ගැනීමට නම් පුවත් පතක් නොමැතිව මහජන මතයක් ගොඩනැඟිය නොහැකි බව යි.

ඒ අනුව 1914 දී දිනමිණ ත්, 1918 දී ‘සීලනීස්’ සිලෝන් ඩේලි නිව්ස් ලෙසත්, ප්‍රකාශයට පත් කළේ ය. ක්‍රමිකව, ඉරිදා ඔබ්සර්වර්, සිළුමිණ, තිනකරන් ඇතුළු පුවත්පත් අරඹමින් මෙරට මුද්‍රිත මාධ්‍ය කලාවේ නිම්වළළු පුළුල් කළේ ය. හරවත්, බුද්ධිමත්, ශාස්ත්‍රීය තලයක පිහිටා මෙම පුවත්පත් පවත්වාගෙන යාමට විජයවර්ධනයෝ ඇප කැප වූහ.

එනිසාම “ශත දහයේ විශ්වවිද්‍යාලය” යැයි “සිළුමිණ’ විරුදාවලිය ලද්දේ ය. උතුරේ සිට දකුණට ජාතිකත්වයේ හැඟුමින් පිරි සංදේශයක් ගෙන ගියේ මෙම පුවත්පත් බව කීම නිවැරදි ය. එලෙස ම දේශපාලන විෂයෙහි මාධ්‍යයේ ඇති භාව ප්‍රතිභා ප්‍රථම වරට කියා දුන්නේත් විජයවර්ධනයෝ ය.

දෙස, බස, රැස රැක්මෙහි සිය කතුවරුන් මෙහෙය වූ මෙම දේශප්‍රේමියා, ප්‍රතිපත්ති ගරුකව කටයුතු කළ අයෙකි. එහි ලා සැබෑ ශක්‍යතා පිරිපුන් ලේඛකයන් හඳුනාගැන්මෙහි උපන් හපන්කම් ඇත්තෙක් වූ බව මාර්ටින් වික්‍රමසිංහයන් ගේ “උපන් දා සිට” කෘතියෙහි සඳහන් වෙයි.

ජාතක කතා, මහා කාව්‍ය හා චූල කාව්‍යයන් ගේ පරිණාමනයෙන් ඇසුරු කිරීමෙන් සිංහල සාහිත්‍ය නැංවිණි. එකී භාෂාව රාජ්‍යය අනුග්‍රහය ලබමින් විවිධ සමාජීය විපර්යාසයන්ට තුඩු දෙමින් සංකීර්ණ සංධිස්ථානයකට වන්නේ ය.

19 වැනි ශත වර්ෂයේදී උඩරට රාජධානියේ අවසානයත් සමඟ භාෂාවේ ගිලා බැස්ම සිදු වේදෝ හෝයි අනියත බියක් පැණ නැඟිණි. එකී භාර දූර කාර්යයට උර දෙන්නට 20 ශතවර්ෂයේ දී හැබෑ පෙර ගමන් කරුවකු අපට සිටියේ ය. ඒ නම් අන් කවරකු හෝ නොව ඩී. ආර්. විජයවර්ධනයෝ ය.

මාර්ටින් වික්‍රමසිංහ, ඩී. බී. ධනපාල, පියදාස නිශ්ශංක වැන්නවුන් එකී සංග්‍රාමයෙන් සමාජයට දායාද කළ ගත් කතුවරුන් වූයේ ය. ඒ ග්‍රන්ථකරණයට මුද්‍රණ ශිල්පයේ දායකත්වය ලැබීමත් පුවත්පත් ඔස්සේ ඔවුන් ගෙන ගිය භාෂා ප්‍රවර්ධනයත් නිසා ය.

එහිදී සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි භාෂා ත්‍රිත්වයෙන්ම මෙරට සාහිත්‍ය උන්නතියට කටයුතු කළ පිරිස 43 කණ්ඩායම ලෙස හඳුන්වන්නට යෙදුණේ ය. ඔවුහු ග්‍රන්ථ කරණය, චිත්‍ර කලාව, සංස්කරණයේ යෙදුණේ ය.

වරෙක විජයවර්ධනයන් සතුවූ “නොක්ස් ගේ ලංකා ඉතිහාසයේ” මුල් පිටපත පරිවර්තනය කොට සිළුමිණෙහි පළ කරවිය. අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා විසින් පරිවර්තනය කරන්නට යෙදුණු එය පසුකාලීනව ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත් කළේ ය. “නොක්ස් ගේ ලංකා ඉතිහාසය” සිංහලෙන් පළ වූ ප්‍රථම අවස්ථාව ද එය විය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” කෘතියෙහි මෙසේ සදහන් වේ. ලේක් හවුස් ආයතනයේ අයිතිකරු මැනේජිං ඩිරෙක්ටර් ඩී. ආර්. විජයවර්ධන මහතා සිංහල පොත් පත් ප්‍රකාශනය පිළිබඳ තමා ගේ යෝජනාව ගැන නිවීසැනසිල්ලේ මා සමඟ කතා කළේ ය.

සිංහල පාඨකයා හමුවෙහි වර්තමාන ඥාන සම්භාරය ගෙනැවිත් තැබීමේ වැදගත්කම ගැනත් ඊට ඉංගී‍්‍රසියෙන් තිබෙන ‘හෝම් යුනිවර්සිටි ලයිබ්‍රි’ නම් පොත් පෙළ ආදර්ශයට ගත හැකි බවත් ඔහු කීවේය. (76 පිටුව)

ඒ අනුව ඔහු තුළ සාහිත්‍ය නැංවීමෙහි ලා පැවැති උනන්දුව කැපී පෙනෙයි. පුළුල් පරාසයක් ඔස්සේ සමාජය අවධි කිරීමෙහි ලා භාෂාව මෙන්ම කලාංගයන්ද කුළු ගැන්විය යුතු බව ද ඔහු ඇදහුයේ ය.

විශිෂ්ඨ ලේඛකයන්, කවියන්, සිය සමාගමට ඇතුළත් කර ගත් එතුමෝ ඔවුන් ගේ ශක්‍යතාවන් එළි දක්වා සමාජ හරයන් විදාරණයට කරළිය තනා දුන්නේ ය. 1934 මැයි මාසයේ දිනකදී මෙරටට පැමිණි රවින්ද්‍ර තාගෝර්තුමන්ට නවාතැන් වූයේ ද හෙලේනා විජයවර්ධන ට හිමි නිවස ය.

එවේලෙහි එතුමාගේ නෘත්‍ය නාටක ප්‍රදර්ශනයට උපකාර කිරීමට අවස්ථාව විජේවර්ධනයන් ට හිමි විය. එය මෙරට ලලිත කලාවෙහි නව මාවතක් විවර කර දීමට ද සමත් විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය බිහි කිරීමෙහිලා පුරෝගාමි මෙහෙවරක යෙදුණ ඔහු සමාජ සංස්කෘතික දේශපාලන සියලු අංශයන් ගෙන් කැපී පෙනෙන චරිතයක් ලෙස සමාජයේ නමක් දිනා ගත්තෙකි.

දේශීයත්වයට මුල්තැන දෙමින් ගෙන ගිය මා හැඟි ව්‍යාපාරය වෙනුවෙන් ඔහු සිය දහඩිය මහන්සිය කැප කළා සේම දේපොළ පවා උගසට තැබූවෙකි. එසේ ණය ඔප්පු නිකුත් කිරීමකින් ලද මුදලින් ඇරඹූ පත්තර මහ ගෙදර ආදි කතුවරයා 1950 ජුනි මස 13 දා මෙලොවින් සමුගත්තේ ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්