පෞද්ගලික අංශයට විපක්‍ෂයේ කෙනෙහිළි

පෞද්ගලික අංශයට විපක්‍ෂයේ කෙනෙහිළි

විපක්‍ෂය ගෙන යන අසත්‍ය ප්‍රචාර නිසා පෞද්ගලික අංශයට යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමය සම්බන්ධයෙන් ආණ්ඩුවට ලැබිය යුතු මල්මාලා වෙනුවට ගල් මුල් එල්ල වන්නට පටන් ගෙන ඇතැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබේ. එම ගල් මුල් එල්ල වීමේ කොටසක් ආණ්ඩුවේ වරදින් සිදුවූ බව ද එතුමා ප්‍රකාශ කර ඇත. විපක්‍ෂයක් යනු ආණ්ඩුව කරන හැම දේටම විරුද්ධ විය යුතුය යන මෝඩ ආකල්පයක සිටීම රටේම අවාසනාවකි. එක්සත් ජාතික පක්‍ෂයේත්/ ජනතා විමුක්ති පෙරමුණේත් අමිහිරි දේශපාලන ඉතිහාසයේ හැමදාමත් ඉස්මතු වූයේ කම්කරු විරෝධී මතයක් බව මෙහිදී සිහිපත් කළ යුතුය. කම්කරු පන්තිය වෙනුවෙන් ඔවුන්ට තිබුණේ වෛරී ප්‍රතිපත්තියක් බවට ඕනෑ තරම් සාධක තිබේ.

ඒ පක්‍ෂ දෙකට ම අමිහිරි ඉතිහාසය සිහිපත් කර දෙන්නට කලින් විශ්‍රාම වැටුප් යෝජනා ගැන ආණ්ඩුවත් ඒ පිළිබඳ දැනුම ඇති විද්වතුනුත් පුන පුනා කරන කරුණු පැහැදිලි කිරීම් ගැන අවධානය යොමු කළ යුතුය. යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කළ සියලු දෙනාට විශ්‍රාම වැටුප් හිමිකම් ලැබේ. එම කාලය සම්පූර්ණ නොකළ අයට ද විශ්‍රාම ප්‍රතිලාභ ලැබීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා තිබේ. මොනම හේතුවක් නිසාවත් සේවකයන්ගේ අර්ථසාධක අරමුදල/ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ආදී කිසිවක් අහිමි නොවේ. පාරිතෝෂිකය ද එසේමය. වත්මන් ආණ්ඩුවට සේවක අරමුදල් ගසාකෑමේ අවශ්‍යතාවක් නැත. මේ විශ්‍රාම වැටුප් ක්‍රමය ජනාධිපතිතුමා කම්කරු ඇමැතිව සිටියදීම ජනිත වූ සාධනීය වැඩපිළිවෙළකි.

සන්ධාන ආණ්ඩුව කිසි දිනෙක සේවක ප්‍රතිලාභ ගසාකෑමේ ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා නොකළ බව කම්කරුවෝ ද දනිති. අද බොරුවට කෑ ගසන එක්සත් ජාතික පක්‍ෂය එදා අර්ථසාධක අරමුදලට අද වගේම දැවැන්ත ලෙස විරුද්ධ විය. 2001/ 2004 එක්සත් ජාතික පක්‍ෂයේ ලුහුඬු ආණ්ඩුවේ රජයේ සේවක විශ්‍රාම වැටුප් ගසාකෑමේ කුමන්ත්‍රණ තිබුණ බව රනිල් වික්‍රමසිංහ මහතාත්, භාණ්ඩාගාර ලේකම් චරිත රත්වත්ත මහතාත් හොඳින්ම දනිති. එක්සත් ජාතික පක්‍ෂය කම්කරු ඉල්ලීම්වලට හරස් වූවා පමණක් නොව සේවකයන් දහස් ගණනින් දොට්ට දමා/ අලියාගේ වලිගය සෙලෙව්වා පමණයි යැයි උද්දච්ච කතාවක් ද එදා රාජ්‍ය නායකයා කීවේය. තවත් දැඟලුවොත් වෘත්තිය සමිති වළපල්ලට යවන බව ද තවත් කෙනෙක් කයිවාරු ගැසුවේය.

කම්කරු පෙළපාලි ගිනි අවියෙන් මෙල්ල කළේය. බැරිම තැන වෙඩි උණ්ඩයෙන් ජීවිත බිලි ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේද එවන් අමිහිරි කාලකණ්ණි ඉතිහාසයකි. බත්පතට ලුණු වතුර ටිකක් ඉසගෙන පොල් සමඟ කුස්සියේ කමින් සිටි බස් කොන්දොස්තර කම්කරු සහෝදරයා/ රියැදුරා එළියට ඇදගෙනවුත් බෙල්ල කපා මරා දැමුවේ ද අද කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ යි. එක්සත් ජාතික පක්‍ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට අද අමුතු කම්කරු කැක්කුමක් තිබිය යුතු නොවේ. ඒ නිසා පවතින්නට සටන් පාඨ නැත්නම් අහිංසක කම්කරුවන්ගේ දහඩිය මහන්සියෙන් පුහු වීරයන් වන්නට දැඟලීම වහා නතර කළ යුතුය. එවන් බොරු සටන්වලින් කම්කරුවන්ට වාසි සැලසෙන විශ්‍රාම වැටුප් ක්‍රමයට එරෙහි වීම මිහිපිට පළ දෙන පාප කර්මයකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා