පොඩි අඩු තිබුණත් විශ්‍රාම වැටුප ඕනෑ

පොඩි අඩු තිබුණත් විශ්‍රාම වැටුප ඕනෑ

ඩිව් ගුණසේකර
මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති

ත්මන් දේශපාලන, සමාජීය තත්ත්වය හා ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා මෙරට දේශපාලනයට බලපාන ආකාරය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා සමඟ සිදුකළ සංවාදයකි මේ.

* ශ්‍රී ලංකාව පිළිබඳ එල්ල වූ ජාත්‍යන්තර පීඩනය තවමත් සම්පූර්ණයෙන් ඉවත්ව නැහැ. මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙන්නේ කොයි ආකාරයටද?

අප වගකිවයුතු ආණ්ඩුවක් විදිහටයි කටයුතු කරන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන සියලු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හා ඒ සඳහා අවශ්‍ය නිල ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ සඳහා ජනාධිපතිතුමා, විදේශ අමාත්‍යාංශය හරහා අවශ්‍ය කටයුතු කර තිබෙනවා. මුළු ජාත්‍යන්තරයම අපට විරුද්ධව කටයුතු කරනවා යැයි කවුරුන් හෝ කියනවා නම් එය වැරැදි අර්ථකථනයක්. මෙම කුමන්ත්‍රණවලට සම්බන්ධ වී ඇත්තේ එක්තරා සුළු ප්‍රමාණයක් පමණයි. ඒ නිසා අප මේ පිළිබඳ අවධානයෙන් යුතුව කටයුතු කළ යුතුයි. දරුස්මාන් වාර්තාව හරහාත් මෙරට අපහසුතාවයට පත්කිරීමේ ප්‍රයත්නයකුයි තිබෙන්නේ. එහෙත් මෙය නිල ජාත්‍යන්තර විමර්ශනයක් හෝ වාර්තාවක් විදිහට හඳුන්වා දෙන්න අමාරුයි. මෙම වාර්තාව අයිතියක් නැති දෙයකට බලහත්කාරයෙන් ඇඟිලි ගැසීමක් විදිහට හඳුන්වන්න පුළුවන්.

* ඒත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට චෝදනා එල්ල කරන්නේ උද්ගත වී ඇති තත්ත්වය තුළ ආණ්ඩුව ද්විත්ව රංගනයක නියැලෙන බවයි. මේ ගැන ඔබේ මතය ඉදිරිපත් කළ හැකිද?

ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළේත් අද කටයුතු කරන්නේත් දේශපාලන පරිණත භාවයකින් නොවෙයි. ඒ නිසා වගකිවයුතු ආණ්ඩුවක් විදිහට ඔවුන් කියන ආකාරයට අපට වැඩ කරන්න බැහැ. අප කටයුතු කරන්නේ වගකීමෙන් හා උපරිම රාජ්‍ය තාන්ත්‍රිකභාවයකින් යුතුවයි. අප එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක්. ඒ නිසා කිසිවකු කියන විදිහට අපට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඇති සබඳතා අතහරින්න බැහැ. අප ඔවුන් සමඟ අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි. දරුස්මාන් වාර්තාව අප පිළිනොගත්තාට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට එරෙහිව කටයුතු කිරීමට අපට අවශ්‍යතාවයක් නැහැ. සිදුවූ අඩුපාඩු දුර්වලතා සහ වැරැදි පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කිරීම තමයි සිදුවිය යුත්තේ. වගකිවයුතු රජයක් විදිහට කටයුතු කරද්දී තමයි ආණ්ඩුව ද්විත්ව රංගනයක නියැලෙන බවට. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට චෝදනා එල්ල කරන්නේ.

* විපක්‍ෂ නායකයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ පෙළගැසී ඇති ජාත්‍යන්තර තත්ත්වයන්ට එරෙහිව තදින් පිළිතුරු ලබාදිය යුතු බවයි මෙය කෙතරම් දුරට යථාර්ථයක්ද?

මෙය විපක්‍ෂ නායකවරයාගේ උපක්‍රමයක්. අප එවැනි උපක්‍රමවලට හසු නොවිය යුතුයි. එකට එක කිරීම හෝ තදින් ක්‍රියාමාර්ග ගැනීම මගින් ඇතිව ඇති අර්බුද හෝ ප්‍රශ්න විසඳා ගැනීමට පුළුවන් වෙන්නේ නැහැ. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සිට චන්ද්‍රිකා මහත්මිය දක්වා සියලු නායකයන් යුද්ධය කළා. ඒත් කිසිවෙකුටවත් යුතු අපරාධ චෝදනා හෝ මානව හිමිකම් චෝදනා එල්ල වුණේ නැහැ. ජනාධිපති රාජපක්‍ෂ මහතා යුද්ධය නිසි විදිහට සිදුකළ නිසා ත්‍රස්තවාදය පරාජය කළ නිසා තමයි මේ විදිහට චෝදනා එල්ල කරන්නේ. දරුස්මාන්ගේ මතභේදාත්මක වාර්තාව මගින් සඳහන් කර තිබෙනවා යුද්ධය අවසන් වුණේ ඛේදවාචකයකින් කියලා. ජනතාවට අවම හානියක් සිදුවන විදිහට කටයුතු කිරීම ද ඛේදවාචකයක් ද කියන එක අපට නම් ප්‍රශ්නයක්. ලක්‍ෂ තුනක ජීවිත ආරක්‍ෂා කිරීම අපරාධයක් කියලා කවුරුන් හෝ කියනවා නම් මෙය සම්පූර්ණ බොරුවක්. ඒත් අද ජාත්‍යන්තරයේ ඇතැම් වගකිවයුතු අය කටකතා, රාජ්‍ය නොවන සංවිධානවල ඇත්ත හා අතිශයෝක්තියෙන් යුතු ප්‍රවෘත්ති වාර්තා මුල්කර ගනිමින් තමයි නිගමනවලට එළැඹ ඇත්තේ. එජාපය උත්සාහ කරන්නේ මේ තත්ත්වය තවදුරටත් අවුල් කිරීමටයි.

* පුද්ගලික අංශයේ සේවකයන් වෙත විශ්‍රාම වැටුපක් ලබාදීම පිළිබඳ වෘත්තිය සමිති ක්ෂේත්‍රය තුළ විශාල කතාබහක් ඇතිව තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳ වාමාංශික දේශපාලන පක්‍ෂයක නායකයකු ලෙස ඔබේ අදහස මොන වගේද?

මූලික ප්‍රතිපත්තියක් විදිහට මෙම පුද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමයේ වරදක් නැහැ. ඊ. ටී. එෆ්, ඊ. පී. එෆ්. ඇතුළු සියලු වරප්‍රසාද සහිතව මෙවැනි විශ්‍රාම වැටුපක් පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට ලබාදීමේ වරදක් ඇතැයි කිසිදු වෘත්තීය සමිතියකට අවංකවම කියන්න බැහැ. සමහර විට මේ වෘත්තීය සමිති ඉතාමත් පටු විදිහටත් ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රවලට අනුකූලව කල්පනා කර මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට විරුද්ධ වෙනවා වෙන්න පුළුවන්. ඒත් මෙය එතරම් සුදුසු දෙයක් විදිහට අප නම් කල්පනා කරන්නේ නැහැ. වැඩ කරන ජනතාව නියෝජනය කරන දේශපාලන පක්‍ෂයක් විදිහට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය සිතන්නේ පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමය තුළ සුළු හෝ අඩුපාඩුවක්, දුර්වලතාවයක් තිබෙනවා නම් ඒ අඩුපාඩු නිවැරැදි කර මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කළ යුතුයි කියලා.

* ලෝක ත්‍රස්තවාදයේ ප්‍රබලයා වූ ඔසාමා බින් ලාඩන් මරා දැමීමත් මේ තත්ත්වය ජාත්‍යන්තර හා ජාතික දේශපාලනයට බලපාන ආකාරයත් පිළිබඳව ඔබගේ විග්‍රහය කුමක්ද?

ඔසාමා ඝාතනයත් සමඟ අපට එල්ල වූ චෝදනා හා පීඩනය එහෙම් පිටින්ම යටපත් වුණා. එක් රටක රාජ්‍ය නායකයෙක් තවත් ස්වාධීන රාජ්‍යයක් තුළට සිය හමුදාව යොදවලා තමයි මෙම ඝාතනය සිදුකළේ. මෙය ජාත්‍යන්තර නීති කඩකිරීමක් නොවෙයිද? සියලු නීති බලවතුන්ට සහ අපට බලපාන්නේ වෙනස් විදිහටයි කියන කාරණය තමයි මේ තුළින් පැහැදිලි වන්නේ.

* නායකත්ව පුහුණුවක් විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදීමට රජය තීරණය කිරීම පිළිබඳ විවිධ පාර්ශ්ව එක් එක් අදහස් පළකරනවා. මේ පිළිබඳ ඔබට ඇත්තේ කුමන විදිහේ අදහසක්ද?

විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට පෙර සිසු සිසුවියන්ට යම් කිසි පෙර පුහුණුවක්, විනය හා පෝෂණය පිළිබඳ පුහුණුවක් ලබාදීමේ වරදක් නැහැ. මෙය විරෝධය පළකළ යුතු තරම් ප්‍රබල දෙයක් විදිහට මා නම් දකින්නේ නැහැ. පුද්ගලික අංශ විශ්‍රාම වැටුප් ක්‍රමය වගේම මෙම ශිෂ්‍යයන්ට ලබා දෙන නායකත්ව පුහුණුව පිළිබඳවත් ඇතිව තිබෙන්නේ මෙවැනි බියක්.

* යුද්ධය නිමාවට පත්ව අවුරුදු දෙකක් සම්පූර්ණ වෙලා. ඒත් ජනතාවට අපේක්‍ෂා කළ තරමේ සහන මෙතෙක් ලැබී නැතැයි විපක්‍ෂය චෝදනා කරනවා. මේ ගැන රජයේ ඇමැතිවරයකු විදිහට ඔබේ අදහස කුමක්ද?

සහන ලැබුණේ නැහැ, ප්‍රතිලාභ ලැබුණේ නැහැ කියා කියන්නේ කොහොමද? ඔවුන්ගේ මේ චෝදනාවලට තිබෙන පදනම මොකක්ද කියලා සලකා බැලිය යුතුයි. පසුගිය අවුරුදු දෙක තුළ මර බියෙන් තොරව ජීවත්වීමට ලැබීම පමණක්ම වුණත් මිල කළ නොහැකි දෙයක්. ඒත් අද විපක්‍ෂය උත්සාහ කරන්නේ ජනතාවට මේ දේවල් අමතක කරවීමට. ඒත් එම උපක්‍රම මගින් ජනතාව රැවටීමට බැහැ. අද වෙද්දී රට පුරා විශාල සංවර්ධනයක් ඇතිව තිබෙනවා. ඒ සඳහා රජය ඉතාමත් හොඳින් මැදිහත්ව සිටිනවා. මා විශ්වාස කරන විදිහට රටට වැඩියෙන්ම සංවර්ධන වැඩ ප්‍රමාණයක් ඉෂ්ට කළේ මේ ආණ්ඩුව. මේ සංවර්ධනය පොතපතට හෝ ප්‍රතිපත්ති ප්‍රකාශනවලට සීමා වූ සංවර්ධනයක් නොවෙයි. ජනතාවගේ ඇහැට පෙනෙන, ඇඟට දැනෙන සංවර්ධනයක්. මෙවැනි සංවර්ධනයකට රට යොමුකර වීමට පුළුවන්කම ලැබුණේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව යුද්ධය නිමාකිරීම නිසා. අද ආර්ථික සංවර්ධනය පැත්තෙනුත් විශාල වර්ධනයක් හා ස්ථාවරත්වයක් ඇතිවෙලා තිබෙනවා. එය ඉදිරි අවුරුදු කිහිපය තුළ තවදුරටත් ස්ථාවර හා වර්ධනාත්මක ප්‍රවේශයක් ලබනවා. ඒ නිසා යුද්ධයෙන් පසු රටේ ආර්ථික සමාජය හා දේශපාලන සංවර්ධනයකට මඟ විවෘත වී තිබෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා