අප එදා කළ සටන්වල ප්‍රතිඵල අද පරපුර භුක්ති විඳිනවා

අප එදා කළ සටන්වල ප්‍රතිඵල අද පරපුර භුක්ති විඳිනවා

ප්‍රවීණ චිත්‍රශිල්පී සෝමපාල විජේසුන්දර

සම්පූර්ණ නම – අක්මීමන මද්දුම ආචාර්යගේ සෝමපාල විජේසුන්දර

උපන් දිනය – 1934. 03. 12

උපන් ගම – මාතර

වත්මන් පදිංචිය – අභයපුර, අනුරාධපුර

පියා - අක්මීමන මද්දුම ආචාර්යගේ සුවනේරිස්හාමි

මව - ලන්දබඩල්ගේ රොසලින් හාමි

ඉගෙනගත් පාසල් - මාතර මොටාගෙදර ම.වි., මා/ කඩේ වීදිය ශ්‍රී ජිනරාජ බෞද්ධ මිශ්‍ර පාසල, මා/රාහුල ම.වි.

අධ්‍යාපන සුදුසුකම් – චිත්‍ර කලා ඩිප්ලෝමාව, චිත්‍ර කලා ගුරුවරුන්ගේ ඩිප්ලෝමාව (ඉංග්‍රීසි මාධ්‍යය)

වෘත්තීය – විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (චිත්‍රකලා)

ලැබූ සම්මාන – කලා භූෂන සම්මානය (2002)

කලා කීර්ති සම්මානය – (මාතර රාහුල විද්‍යාලය)

සමස්ත ලංකා සම්මානය – ( සෝලියස් මැන්දිස් පදනම)

ස්වර්ණ ලංකා සම්මානය – (අධ්‍යාපන අමාත්‍යාංශය)

සමස්ත ලංකා සම්මානය – ( සමස්ත ලංකා චිත්‍ර කලා වෘත්තිකයන්ගේ සංගමය 2005)

සාහිත්‍ය කලා ප්‍රසාදිනි (2001)

‘මාතර නගරයේ එවකට යමක් කමක් තිබුණු පවුලක සාමාජිකයෙක් වුණු මම අම්මගෙත් තාත්තගෙත් දූ පුත්තු හත් දෙනාගෙන් හය වැන්නා වුණා. මගේ තාත්තා හොඳ සමාජ සේවකයෙක්. ඒ වගේ ම සැබෑම බෞද්ධයෙක්. මේ නිසාම අනගාරික ධර්මපාලතුමාගේ ජාතික ආගමික ප්‍රබෝධයට රුකුල් දුන් අය අතර අපේ තාත්තා ඉදිරියෙන් ම සිටියා.

මට අවුරුදු තුන හමාරෙදි විතර මාතර නගරය අත්හැරලා අපිට මොටාගෙදර පිටිසරගමට යන්න සිදු වුණා. දෙවන ලෝක යුද්ධ කාලේ ජපන්නු නගරයට බෝම්බ දායි කියලා බයට අම්මත් තාත්තත් අපිව අරගෙන ගමට ගියා. නගරේ හිටිය ගොඩක් පවුල් නගරේ අත්හැරලා ගමට ගියේ කැමැත්තකින් නෙවෙයි.

1939 වසරේ තාත්තා මාව මොටාගෙදර ඉස්කෝලෙට ඇතුළත් කළා. බෝම්බ බියත් එක්ක ඒ කාලේ ඉස්කෝලෙ අකුරු උගන්වනවට වඩා කියලා දුන්නේ බෝම්බ වලින් බේරෙන හැටියි. බිම දිගාවෙලා බෝම්බවලින් බේරෙන හැටි කම්පනයට දත් පූට්ටු වීම වළක්වන්න දත් ඇඳි අතරින් පැන්සලක් තියාගන්න හැටි ඔය වගෙ එව්වා තමයි අපි ඉගෙන ගත්තේ.

1943 වසරේ නැවත අපි මාතරට ආවා. ඒ නිසා මොටාගෙදර ඉස්කෝලෙන් අස්වෙලා මාතර ජිනරාජ විද්‍යාලයට ඇතුළත් වුණා. නමුත් මම සාමාන්‍ය පෙළට වාඩි වුණේ මාතර රාහුලෙන්. ඉංගිරීසි මාධ්‍යයෙන් විභාගයට මුහුණදුන් මම ඉහළින් ම පාස් වුණා.

ඉස්කෝලේ යන කාලේ ඉඳන් චිත්‍ර කලාවට මා තුළ ඇල්මක් පැවතුණා. එය උපතින් ම ලැබිච්ච උරුමයක්. මගේ මුල්ම ගුරුතුමා රාහුලෙ එච්. එල්. ධර්මදාස මහතා. එතුමා චිත්‍රවලට ඇලුම් කරපු ළමයි කණ්ඩායමක් හදාගෙන දකුණුලකේ හැම තැනකටම අපිව එක්කන් ගියා. අපේ වාහනය වුණේ දුප්පතාගේ වාහන වන පාපැදියයි.

ඒත් චිත්‍ර අඳින්න වියදම් කරන්න අපේ තාත්තට සල්ලි තිබුණෙ නෑ. සමාජ සේවය කරන්න ගිහින් තාත්තා නට්ටං වෙලයි හිටියේ. නමුත් 1954 වසරේ දෛවෝපගත සිදුවීමකින් මම කොළඹ ලලිත කලා ආයතනයට සම්බන්ධ වුණා. එයින් චිත්‍රශිල්පයට මා තුළ වූ පිපාසය සංසිඳවා ගන්න මඟක් පෑදුණා.

ලලිත කලා ඩිප්ලෝමාව අවුරුදු තුනයි. ඉංග්‍රිසි මාධ්‍යයෙන් සියල්ලම ඉගැන්වූයේ. ඒ අතරතුර විභාග දෙපාර්තමේන්තුවේ ඉංග්‍රිසි චිත්‍රකලා ගුරු විභාගයට වාඩි වුණු මම ඩිප්ලෝමාවේ පළමු අවුරුද්දෙම ඒ විභාගයත් ඉහළින් ම සමත් කර ගත්තා.

පවුලේ කට්ටිය

ඉගෙනගැනීම් අතරතුරු තවත් බරපතළ කාර්යයකට උරදෙන්න අපට සිදුවුණා. ඒ එවකට කලායතනයේ පාලනාධිකාරියේ අක්‍රමිකතා වෙනුවෙන් අරගල කිරීමටයි. එවකට සිටි පරිපාලනය ගමේ දුප්පත් ළමයින්ගේ ශිෂ්‍යාධාරය කපලා කුරුඳුවත්තේ ළමයින්ට විතරක් වරප්‍රසාද දුන්නා. ගුරුවරු ගෝලයෝ අතර අයථා සබඳතා නිසා කලායතනයේ නමට කළුපැල්ලම් එකතු වුණා. චිත්‍ර, නැටුම්, සංගීත අංශ තුනේ ම ළමයි මේවාට එරෙහි ව පාරට බැස්සා. කලායතනය විශ්වවිද්‍යාලයක් කරන්න කියලත් අපි සටන් පාඨ කිව්වා. ළමයින්ගේ වඩාත් උදහසට ලක්වුණේ එවකට කලායතන විදුහල්පති වූ දක්ෂ කලාකරුවෙක් වූ ජේ. ඩී. ඒ. පෙරේරා මහත්තයා.

අපේ අරගලය දුරදිග ගියා. දවසක් මට බොරැල්ල හන්දියේ දී නාඳුනන තුන්දෙනෙක් ඇවිත් පහර දුන්නා. චිත්‍ර කෙරුවට මොකද මමත් දන්න සටන් දාලා තුන් දෙනාටම ඇති පදමට සැළකුවා. කොහොම හරි පාලනාධිකාරිය අපේ පන්ති තහනම් කළා. මාව දෙවැනි වසරේ විභාගය අසමත් කළා.

අවසානයේ අපි අගමැති බණ්ඩාරනායක මහත්තයට සංදේශයක් දෙන්න රොස්මිඩ් පෙදෙසට පෙළපාළියෙන් ගියා. පොලිස් රාළහාමිලා ගේට්ටුවෙන් මෙහාට ඇතුළු වීම තහනම් කීවා. ඒක දැකපු අගමැතිතුමා “ඔය ළමයින්ට මෙහෙට එන්ට දෙන්ඩ” කිව්වා. සිරිමාවෝ මැතිණිය ට්‍රොලියක් තල්ලුකරගෙන ඇවිත් අපිට තේ දුන්නා. සිද්ධිය හොයන්න අගමැතිතුමා කොමිසමක් පත් කළා.

ඇගැයුමට පාත්‍රව

ගුරු මණ්ඩලයට එරෙහිව තවත් රැස්වීමක් ප්‍රවීණ නාට්‍ය ශිල්පී ප්‍රේමකුමාර එපිටවෙල සංවිධානය කළා. පාලනාධිකාරිය ළමයින්ට කීවා රැස්වීමට ගිහින් ‘හූ’ කියන්ඩ කියලා.

මං නැග්ගා ස්ටේජ් එකට. ‘මේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය අපිව මේ රැස්වීමට එව්වේ ඔබතුමාලාට ‘හූ’ කියන්ඩයි.’ කියලා මම ඔවුන්ව පාවා දුන්නේ අසාධාරණයක් හමුවේ අතකොළු වීම නිවට කමක් හින්දයි. මම එහෙම කියද්දි තවත් පිරිසක් මට ‘හූ’ කියන්ඩ ගත්තා. ඒ මොහොතේ ස්ටේජ් එකේ හිටියා එවකට සංස්කෘතික නියෝජ්‍ය ඇමැතිව සිටි සෝමවීර චන්ද්‍රසිරි මහත්තයා. එතුමා ‘හූ’ වට හිටිවන කවියකින් ම උත්තර දුන්නා.

1958 වසරේ දී මට මුල්ම චිත්‍ර ගුරු පත්වීම ලැබුණේ මාතර රාහුල විද්‍යාලයට. නමුත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු වූ බී. වයි. තුඩාවෙට වැඩ කළ නිසා යූ. එන්. පී. ආණ්ඩුව මාව දෙනියාය මහ විද්‍යාලයටත් එතැනින් පාලටුවාව විද්‍යාලයටත් මාරු කළා. මම පාලටුවාව විද්‍යාලයේ ජිම්නාස්ටික් සහ සරඹ ගුරුවරයෙක් ලෙස වැඩ කළා. ජපානයේ යුනෙස්කෝ ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශනයේ දී මගේ ළමයි රන් පදක්කමක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් හතක් දිනුවා.

මේ අතරේ මම චිත්‍ර කලා පරීක්ෂක තනතුර ඉල්ලුවා. මම දෙවැනි තැන ලැබුවත් පත්වීම දුන්නේ නෑ.

ඒත් මම සැලුනේ නෑ. මගේ හැකියාවට ඉල්ලුමක් තිබුණා. 1964 වසරේ සඳ තරණය කළ යුරී ගගාරීන් ශ්‍රී ලංකාවට එද්දී ඔහුගේ රූපය සමඟ ස්ටේජ් එක හැදුවේ මම.

1971 වසරේ දී සිරිමාවෝ මැතිණිය බලයට ආවට පසුව මම නැවතත් රාහුල විද්‍යාලයට මාරුවක් ලබාගෙන චිත්‍ර කළා පරීක්ෂක තනතුරක් ලැබුවා. ඒ වගේ ම 1975 වසරේ දී සෝවියට් දේශයේ චිත්‍ර ශිල්පය හා අධ්‍යාපනය ගැන අධ්‍යනය කිරීමට අධ්‍යාපන චාරිකාවකට සහභාගි වුණා. නියෝජ්‍ය අධ්‍යාපන ඇමැති බී. වයි. තුඩාවෙත් අපි සම¼ඟ ඒ ගමනට එක්වුණා.

මම මගේ ජීවිතේ ලබපු බොහොමයක් කර්කෂ අත්දැකීම්වලින් තවත් පන්නරය ලැබුවේ මම අවංකව සේවය කළ නිසයි. 1978 වසරේ දේශපාලන හේතුමත මාව අනුරාධපුරයට මාරු කළා. මම කළකිරුණේ නෑ. මම අනුරාධපුරයේදීත් වැඩ කළා. මම චිත්‍ර උගන්වන්න පුළුවන් අය තෝරාගෙන පුහුණු කළා. එතැනින් නොනැවතී ප්‍රථමවතාවට උතුරුමැදට චිත්‍ර කලාව විෂයක් විදිහට හඳුන්වා දුන්නා. මැදවච්චිය, කුඩා නෙළුබෑව, නිවන්තක චේතිය විද්‍යාලවල විෂය පටන්ගත්තා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට චිත්‍රකලා ගුරු උපදේශකයෙක් පත් කළා. අද උතුරු මැදින් බිහි වූ සියලුම චිත්‍ර ගුරුවරුන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථින් සියලු දෙනාම මගේ ගෝලයෝ. ඒ ගැන මට තියෙන්නේ නිහතමානි ආඩම්බරයක්.

සෝවියට් සංචාරයකදී...

2001 වසරේ දී අධ්‍යාපනවේදී විභාගය සමත්ව ගිරාගම ගුරු විදුහලේ කථිකාචාර්යවරයකු ලෙස පත් වුණා.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ චිත්‍ර විභාග ප්‍රශ්න පත්‍රය හැදුවේ මමයි. චිත්‍ර විෂය පිළිබඳ බාහිර දැනුම ලබාගැනීමට අපේ දරුවන්ට ඇති ඉඩ ප්‍රස්ථා අඩුයි. ‘ලලිත’ සහ ‘සුලලිත’ යන පුවත්පත්වලට ලිපි සැපයූ මම ‘ශ්‍රී ලංකාවේ නූතන සිත්තරු’ නමින් කෘතියක් පළකළෙත් ඒ නිසයි.

සීගිරියේ සහ අජන්තා චිත්‍ර අධ්‍යයනය කිරීමට මට මහත් ආශාවක් තිබුණා. අජන්තාවට මම දෙවතාවක් ම ගියා. අපේ සීගිරි චිත්‍ර අජන්තා අනුකරණයක් නොවන බව සාක්කි ඇතිව මම මාධ්‍යවලින් හෙළි කළා. ඇල්ලෝරා, කාංචිපුරම්, අර්ජුන්, බෙඩ්රූම්, පංචරථ මම අධ්‍යයනය කළේ අලුත් අදහස් ඇතුළත් කරමින්. ඒ වගේ ම පත්තිරිප්පුව, සීගිරි බිතුසිතුවම් පොළොන්නරුවේ පුලතිසි ඍෂිවරයා පිළිබඳ ආන්දෝලනාත්මක තොරතුරු මම මාධ්‍ය මගින් හෙළි කළා.

මගේ ජීවිතේ තවත් අමතක නොවන අත්දැකීමක් තමයි කාංචිපුරම් හි බුද්ධ ප්‍රතිමාවක් ප්‍රතිසංස්කරණය කිරීම. ඒ සඳහා මට ප්‍රවීණ ගීත රචක සුනිල් ආරියරත්නත් සහාය ලබාදුන්නා. එම ප්‍රතිමාව අලුත්වැඩියා කිරීම මා පෞද්ගලිකව ලැබූ අලුත් අත්දැකීමක්.

විවිධ සමාජ හැලහැප්පීම් මධ්‍යයේ චිත්‍ර කලාව නැංවීම සඳහා මම අවංකව සේවය කර තිබෙනවා. මේ ගමනේ දී දෙවුන්දර ලියනවඩුගේ ඇඩ්ලින් මගේ ප්‍රිය බිරිය අත්වැලක් වුණා. ඉංග්‍රීසි ගුරුවරියක වූ ඈ 2006 වසරේ සදහටම අපෙන් සමුගත්තා. මගේ පුතුන් දෙදෙනාත්, දූවරු දෙදෙනාත් කලාවට සහජයෙන් ලැදියි. නමුත් මගේ ලොකු දුව දරු ප්‍රසූතියේ දී මිය ගියේ මගේ ජිවිතයට දැඩි කම්පනයක් ඇති කරමින්.

එදා අපි සටන් කර රැකගත් රජයේ කලායතනය අද සෞන්දර්ය විශ්වවිද්‍යාලය බවට පත් වී තිබෙනවා. එදා දිවි හිමියෙන් අප කළ සටනේ ප්‍රතිඵලයක් එය. අපි හැමෝම මැරෙනවා ඉන්න ටික කාලයේ දී අයුක්තියට හිස නොනමා සාධාරණය වෙනුවෙන් පෙනී සිටීම මනුෂ්‍යයෙකුට කළ හැකි උත්තම කාර්යයක්. ගුරු වෘත්තියත් ඒ වගේමයි. තම දැනුම නොමසුරුව දරුවන්ට ලබාදීම තරම් ගුරුවරයකුට වෙනත් ආත්ම තෘප්තියක් කොයින් ද? මම ඒ ආත්ම තෘප්තිය උපරිමයෙන් ලැබූ කෙනෙක්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා