සිරිමා ස්ටුඩියෝ-ඉංගිරිය නිර්මාතෘගේ කතාව

සිරිමා ස්ටුඩියෝ-ඉංගිරිය නිර්මාතෘගේ කතාව

නම - දොන් කරෝලිස් සිරිමාන්න - ඉංගිරිය සිරිමා ස්ටුඩියෝ නිර්මාතෘ ඩී. කේ. සිරිමාන්න
උපන් දිනය – 1924 ඔක්තෝබර් 18

මගෙ මතකයෙ තියෙන හොඳ සිද්ධියක් තමයි ඒ කාලෙ විපක්ෂ නායක ධුරය දරපු එ. ජා. ප. නායක ජේ. ආර්. ජයවර්ධන මහත්මයා ඉංගිරියට ආව. පිළිගැනීමෙ රැස්වීමක් පැවැත්වුණා. මමත් ගියා ඡායාරූප ගන්න. වේදාකාව හදල තිබුණෙ පුවක් කණු හිටවල ඒ උඩ ලෑලි ගහල. පොටෝ ගන්න කට්ටියක්ම හිටියා. ඉංගිරියෙ කැකුලලියෙ විජේරත්න කිසයල කෙනෙකුත් හිටියා පොටෝ ගන්ඩ. විජේරත්න ස්ටේජ් එකේ එහාට මෙහාටගියා කලබලයෙන් වගේ. ලෑලිත් හෙල්ලෙනවා. මම හිටියේ පහළ. ජේ. ආර්. ජයවර්ධන මහත්තයා ඒ කලබලේට කැමති නැති බව මට ඔහුගේ මුහුණේ ඉරියව්වෙන් පෙනුනා. ජයවර්ධන මහත්තයා වේදිකාවෙන් බැහැල යන ගමන් මගෙ පිටට තට්ටු කරලා ‘තමන්ගෙ හැසිරීම බෝම හොඳයි’ කියා ගෙන ගියා.

තාත්තගෙ නම කෝන්වල බෙන්තරගේ සිරිමාන්න. අපේ තාත්තගෙ බේකරිය තමයි ඉංගිරියෙ මුල්ම පාන් බේකරිය. පාන් විස්කෝතු හදා ගෙන ඝනකම පෙට්ටියක දමා එය හිස මත තබා ගෙන එක් එක් පාරවල් දිගේ ගිහිං තමයි ව්‍යාපාරය දියුණු කර ගෙන තිබෙන්නේ. බේකරි රක්ෂාව කරන කාලෙ ඔහු ඉංගිරියෙන්ම විවාහයක් කර ගත්තා. අම්මා කන්දෙ ලේකම්ලාගේ ඩිංගිරි මැණිකා. ඒ නිවස මං පස්සෙ කාලෙක නවීකරණය කළා.

මම මුලින්ම ඉගෙන ගත්තෙ ඉංගිරියේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන්. අද චිර ප්‍රසිද්ධ සුමනජෝති විදුහල. ඒක පොල් අතු මඩුවක්. අද පවතින ගාමිණි හෝටලය ළඟ අම්බලමක් තිබුණා. අම්බලම ළඟ ඉංග්‍රිසි පන්තියක් පැවැත්තුණා. එතැනින් ඉංග්‍රීසි ඉගෙන ගත්තා. 1944 දී ජයලත්ගම පැත්තට අම්බලම අරං ගියා. ඒ අතරේ ඉංගිරියේ ගාමිණි විදුහලත් පටන් ගත්තා. ශිෂ්‍යයින් 50 ක් 60 ක් පමණ හිටියා. විදුහල්පති එස්. පී. සුරියාරච්චි මහත්මයා ඉගැන්වූයේ ඉංග්‍රීසි විෂයයන් පමණයි. අපේ පවුල ව්‍යාපාරික පවුලක්. අපේ තාත්තා මාව කොළඹ ආනන්ද විදුහලේ සවස පන්තියකට දැම්මා. ඒ ඕල්කොට් විද්‍යාලය. කර්නල් ඕල්කොට් තුමා සිහිපත් කරමින් ඒ විදුහලේ පැවතුණේ. මෙම කාලෙදි තාත්තා අපගෙන් සදහටම වෙන් වුණා. ඒ කාලෙ ඉංගිරිය සිට කොළඹට බස් ගාස්තුව ශත 75 යි. අපේ පවුලේ පිරිමි පහයි. ගැහැණු තුනයි. දැන් ඉන්නෙ මං විතරයි.

මේ කාලෙ ඉංගිරියේ පියතිස්ස මහත්මයා මංගල ස්ටෝර්ස් එක පටන් ගත්තා. උඩ තට්ටුවෙ මංගල ස්ටුඩියෝව පටන් ගත්තා. මට ඒ ස්ටුඩියෝව කර ගෙන ඉන්නට කීවා. ඒ 1954 දී. ඒ කාලෙ විදුලි බලය නෑ. හිරු එළියේ තාක්ෂණයෙන් පින්තූර ගත්තෙ. ඒ කාලෙ ඡායාරූප තාක්ෂණය හැඳින්වූයේ ඩේ ලයිට් පොටෝ ග්‍රැපික් වශයෙන්. (ච්ඒක ඹ්ධ්ට්ඩ්ඊ ර්‍ථඩ්ර්‍ණඊර්‍ණ ට්අඒජ්ධ්ඛ්) ටුවෙල් ටෙන් කැමරාවෙන් පොටෝ ගත්තෙ.

පියතිස්ස මහත්මයාගෙ ව්‍යාපාරික ක්‍ෂේත්‍රය හොඳට දියුණු වුණා. ඔහුට අලි ඇතුන් පවා හිටියා. නමුත් ඔහුගේ යම් යම් පෞද්ගලික සිද්ධීන් නිසා ව්‍යාපාරය දවසින්දවස පරිහානියට පත් වුණා. මං ඡායාරූප ශිල්පය ගැන බොහෝ දේ ඉගෙන ගත්තා. මං කවදහරි මගේම ඡායාරූප ශාලාවක් පටන් ගන්නව කියල හිතාගෙන සිටියෙ. ඒ ප්‍රාර්ථනාව මත තමයි ඉංගිරිය – රත්නපුර මාර්ගයේ සිරිමා ස්ටුඩියෝව ආරම්භ කළේ. අද වගෙ ඡායාරූප ශිල්පයට සම්බන්ධ අය ඉංගිරියෙ හිටියෙ නෑ. හොරණ පැත්තේ හිටියා.

ගොඩනැගිල්ල කුලියට ගත්තා. හිරු එළියේ තාක්ෂණයෙන් ඡායාරූප ගැනීමේ ක්‍රමවේදයට අවශ්‍ය ආකාරයට සකස් කළා. ඩිවෙලප්, ප්‍රින්ටිං, ඩාක් රූම් වැඩ ඔක්කොම කළේ මම. වැසි දිනවලට මට නිවාඩු. හිරු එළිය නැහැනෙ. පොටෝ ගන්න එන අය බොහොම අඩුයි. ඉංගිරියෙ පැත්තෙ කොම්පැණි වතුවල මහත්වරුන්ගෙ ඡායාරූප ගන්න යන්නෙ මම. සමූහ ඡායාරූප ගන්න ගියේ ලොකු කැමරාවක් උස්ස ගෙන. කණු තුනක් උඩ තබා ගෙන කැමරාව කළු පාට රෙද්දකින් වසාගෙන තමයි ඡායාරූප ගත්තෙ.

තරුණ කාලේ

ඒ කාලෙම හොරණ ජී. ඩී. එල්. ගුණවර්ධන මහත්මයා මංගල පොටෝ සාප්පුව පටන් ගත්තා. පාදුක්කේ ඩයස් මහත්මයා ඩයස් ස්ටුඩියෝව පටන් ගෙන තිබුණා. මංගල ඡායාරූප ඔක්කොම ගත්තෙ නෑ. ටික දෙනයි ඒවට ඉදිරිපත් වුණේ. නැකැත් දවස්වලට කලින් දින වෙන්කර ගන්නවා. මංගල ඡායාරූපයකට රු. 30 – 35 යි. පෝස්ට් කාර්ඩ් සයිස් 4.50 යි. ලයිසන් සයිස් රු. 3.00 යි 3.50 යි. ඒ පොටෝ වලට හොඳ ඉල්ලුමක් තිබුණා.

මගේ ඡායාරූප ව්‍යාපාරය බොහෝම දියුණු වුණා. දොඹගස්කන්දේ එම්. ඩී. ජිනදාස යන අය සේවයට ගත්තා. එයා හොඳ ගෝලයෙක්. වැඩට හරි දක්ෂයි. ජිනදාසට මාසෙකට රු. 1 50 ක් 60 ක් ගෙව්වා. මේ කාලෙ රු. 20000 ක් ඉතර වියදම් කරලා අලුත් කැමරා ආම්පන්න ගත්තා. ගොඩනැගිල්ලත් නවීකරණය කළා. විදුලි බලයත් ඉංගිරියට ආවා. ඒ කාලෙ ස්ටුඩියෝ කැමරාවක් රු. 15000 ක් විතර ඇති.

මේ කාලෙ මනාලියන් සඳහා ඇදුම් ආයිත්තම් කුලියට දීම පටන් ගත්තා. වේල් එකයි හෙඩ්ඩුස් එකයි තැල්ල තියෙන මාලෙයි අනෙක් ලට්ට ලොට්ටවලට අය කලේ රු. 30 ක් 35 ක් ඉතර මුදලක්. මනාලියන්ට ඇඳුම් කුලියට දීම නිසා මංගල ඡායාරූප ගන්නත් ලැබෙන්නේ අපටනෙ. මේ කාලෙත් තිබුණෙ රූප රැජිනියන් තෝරන තරග. පානදුරේ පවත්වපු තරගයකින් බණ්ඩාරගම පැත්තෙ යුවතියක් දිනුවා. ඒ රූප රාජිනියගේ පොටෝ ගත්තෙ මම. ඒ ඡායාරූපයෙන් අපේ සිරිමා ස්ටුඩියෝව මුළු පළාතෙම ජනප්‍රිය වුණා. මනාලියන්ට අන්දවන්න මහිලාල් කියන තරුණයෙක්ව කුලියට ගත්තා.

හිටපු අගමැතිවරයෙකු වන බණ්ඩාරනායක මහත්මයා ඉංගිරියට ආපු අවස්ථාවක ඉංගිරියෙ බෝගහ මුලදී පිළිගැනීමේ රැස්වීමක් තිබුණා. මෙතනදී මං ඡායාරූපයක් ගත්තා. පානදුර මෝටර් ට්‍රාන්ස්පෝට් සමාගමේ ටයිම් කීපර් කෙනෙක් හිටියා. නම අමරසිංහ. ඒ කාලෙ හොඳ ජවසම්පන්න චණ්ඩියෙක්. එයා තමයි හන්දියේ බෝගහ සිටෙව්වේ.

මගේ දෙ ඇස් පෙනීමත් කන් ඇසීමත් දුර්වලයි. මගේ බිරිය විශ්‍රාමික මාණ්ඩලික හෙදියක්. ඇය මගේ ජීවිතයේ යෝධ සෙවණැල්ලක්. ඇයගේ සෞඛ්‍ය උපදෙස් මත මම අද සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙනවා. ඒ කාලේ ඡායාරූපකරණය සහ අද පවත්නා නව පන්නයේ තාක්ෂණයෙන් යුත් ඡායාරූප ශිල්පය අහසට පොළවට වගෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා