බුද්දම ගලේවාඩිය බෙහෙත් ශාලාව අනවසරයෙන් කඩා බිඳ දමලා

බුද්දම ගලේවාඩිය බෙහෙත් ශාලාව අනවසරයෙන් කඩා බිඳ දමලා

* ඉඩමේ අයිතිය ගන්නත් විවිධ උපක්‍රම

බුද්දම නාපේ වසමේ ගලේවාඩිය ගමේ 1960 ආරම්භ කළ බෙහෙත් ශාලාවෙන් නලාගංගොඩ, කුකුලන්මුල්ල, නාපේ, ගිරිවර, අඹගහපිටිය, මීයාගල ප්‍රදේශවල ජනතාවට වසර ගණනාවක්ම සෞඛ්‍ය පහසුකම් ලබාදීම සිදු විය. වෛද්‍යවරයකු එහි නැවතී ප්‍රදේශවාසීන්ට සෞඛ්‍ය සේවා නොමිලේ ලබාදීමද සිදු කෙළේය. එම වෛද්‍යවරයා විශ්‍රාම යද්දී බෙහෙත් ශාලාවේ යතුරු භාරගත් තැනැත්තා මේ වන විට භූමිය හා බෙහෙත් ශාලා ගොඩනැගිල්ල අයිතිකරගෙන සිටී.

ගොඩනැගිල්ල කඩා බිඳ දමා ඉඩමේ අයිතිය ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බව ප්‍රදේශ වාසීහු කියති. ප්‍රදේශයේ ජනතාව එයට විරෝධය පළ කළ ද සෞඛ්‍ය බලධාරීන්ගේ සහයද ඇතිව ඔහු එහි අනවසරයෙන් කටයුතු කරමින් සිටින බව ප්‍රදේශවාසීහු කියති. ගලේවාඩිය ජේ. ඇම්. අප්පුහාමි 1960 ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ අය මෙහේ හිටියා. ඒ කාලේ ග්‍රාම සංවර්ධනය සමිතියක් තිබුණා. ඒ සමිතියට ගලේවාඩිය ගමට සමිති ශාලාවක්, ගොඩනැගිල්ලක් ඉදිකර දුන්නා.

 කඩා දමා ඇති ගොඩනැගිල්ල

ඒ ගොඩනැගිල්ලේ ජනතාවට සෞඛ්‍ය සේවා ලබා දෙන්න ඩිස්පෙන්සරියක් 1960 ජූලි 1දා විවෘත කළා. එම බෙහෙත් ශාලාවට යාපනයේ දෙමළ වෛද්‍යවරයකු පැමිණ ගමේ අයට සේවය කරමින් විශ්‍රාම යන තුරුම හිටියා. විශ්‍රාම ගියාට පසුවද කාලයක් බෙහෙත් දුන්නා.

ඔහු ගමෙන් ඉවත්ව යද්දී ගොඩනැගිල්ලේ යතුරු භාරගෙන ඇති ගමේ පුද්ගලයා බෙහෙත් ශාලාවේ තිබූ ඉඩමට අයිතිය කියනවා. මේ ගොඩනැගිල්ලේ නැවත බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යාවි යැයි කියා ගොඩනැගිල්ල භාගයක්ම කඩලා. ගමේ අය විරෝධය දක්වා ප්‍රාදේශීය ලේකම්ට පැමිණිලිකළාම නඩු පැවරූ බව කියනවා.

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. ඇම්. ලොකු බණ්ඩා - මෙහි වසර ගණනාවක්ම වෛද්‍යවරයකු සේවය කර විශ්‍රාම ගියා. ඔහු විශ්‍රාම යන විට බෙහෙත් ශාලා ගොඩනැගිල්ලේ යතුර වෛද්‍යවරයා ගුරුවරයකුට භාරදී ගොස් තිබෙනවා. ඔහු මේ ගොඩනැගිල්ල කඩා බිඳ දමා ඉඩම අයිති කර ගැනීමට කටයුතු කරනවා.

ගමේ ජනතාව පාදේශීය ලේකම්වරයාට දැනුම් දුන් විට එතුමා නඩු පැවරූ බව ප්‍රකාශ කරනවා. මොනරාගල සෞඛ්‍ය නිලධාරියෙක් මේ පුද්ගලයාට ඉඩමේ අයිතිය තහවුරු කර දීමට උදව් කරනවා. මේ ඉඩම රජයේ ඉඩමක්. 1960 ජූලි 1 වැනිදා රජයේ බෙහෙත් ශාලාවක් පිහිටුවා වසර 60ක් සේවා සැපයූ තැනක්.

ඩී. ඇම් හේමන්ත බණ්ඩාර - තලාගංගොඩ, කුකුලන්මුල්ල, නාපේ, හිරිවර, මීයාගල වැසියනට මාතෘ සායන ළමා සායන පවත්වන්න ස්ථානයක් නෑ. ගමේ පවුල් සෞඛ්‍ය සේවිකාවට නවාතැන් ගැනීමට ස්ථානයක් නැහැ. මේ ස්ථානයේ නැවතී ඇයට සේවය කළ හැකියි. මේ ගොඩනැගිල්ල සායන පැවැත්වීමේ මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. ප්‍රවාහන පහසුකම් නොමැති මේ දුෂ්කර මවුවරුන්ට පිටත සෞඛ්‍ය මධ්‍යස්ථානවල සායනවලට යන්න වෙලා. මේ ස්ථානය රැකගෙන නැවතත් ගමේ ජනතාවට සෞඛ්‍ය පහසුකම් සපයන ස්ථානයක් බවට පත්කරන්න.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා