ශ්‍රී ලංකාව ලකුණු 50කින් ඉන්දියාවට පරදී

ශ්‍රී ලංකාව ලකුණු 50කින් ඉන්දියාවට පරදී

ශ්‍රී ලංකා පිලේ මැදපෙළ පිතිකරුවන් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ පසුබෑමකට ලක්වීමේ හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමඟ ඊයේ (13) බංග්ලාදේශයේ මීර්පූර් නුවර පැවැති දිවා රාත්‍රී එක්දින තරගයෙන් ලකුණු 50ක පරාජයක් විඳ ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල ඕවර 50 අවසානයේ කඩුලු 3 කට රැස්කළ ලකුණූ 304ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා පිලට රැස් කරගත හැකිවූයේ ලකුණු 254ක් ශ්‍රී ලංකා පිල දැවීගියේ ඉනිම නිමාවට ඕවර 4කුත් පන්දු 5ක් ඉතිරිව තිබියදීය.

තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 7 කට දැවීයාමෙන් අනතුරුව නායක මහේල ජයවර්ධන සමඟ එක්වූ කුමාර් සංගක්කාර දෙවැනි කඩුල්ලට ලකුණූ 93ක සම්බන්ධතාවක් ගොඩ නැගුවද ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් පසුව ඉනිම ගොඩ නැගීමට සෙසු පිතිකරුවන් සමත්වූයේ නැත. වේගවත් ඉනිමක් දියත් කළ මහේල පන්දු 59 කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 78ක් ලබා ගත්තේය.

සංගක්කාර

පන්දු 87 කට මුහුණදුන් සංගක්කාර හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 65කි. පන්දු යැවීමේදී ඉර්ෆාන් පතන් කඩුලු 4ක් දවාලූ අතර විනේ කුමාර් සහ රවිචන්ද්‍රන් අශ්වින් අතර කඩුලු 3 බැගින් බෙදී ගියේය.

තරගයේ වීරයා සම්මානය හිමිවූයේ ඉන්දීය ඉනිමේදී ලකුණු 108ක් රැස්කළ විරාත් කෝලිටය. මේ තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන දිනා ඉන්දීය පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළේය. එම තීරණය නිවැරදි බවට ආරම්භයේදීම සනාථ වූයේ තෙන්ඩුල්කාර් ලකුණු 6 කට දැවී යෑමෙනි.

ඉන්දීය ලකුණු පුවරුව 19 ක් වෙද්දී තෙන්ඩුල්කාර් දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වුවද ගම්බීර් හා කෝලී එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 205 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. මේ දෙදෙනාගේම කඩුලු 42 වැනි ඕවරය යැවූ ෆර්විස් මහරූෆ් දවා ගැනීමෙන් ඉන්දීය ලකුණු වේගය තරමක් අඩු විය.

එහෙත් ඉන්දීය ක්‍රිකට් නායක එම්. එස්. දෝනි තම පළපුරුද්ද මනා ලෙස උපයෝගී කර ගනිමින් පන්දු 26 කදී හයේ පහරක් හා හතරේ පහර 6 ක් සමග ලකුණු 46 ක් ලබා ගැනීමත්, රයිනා පන්දු 17 කදී හයේ පහරක් හා හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක් ලබා ගැනීමත් හේතුවෙන් ඕවරයකට ලකුණු 6.08 ක දල වේගයක් රඳවා ගත හැකි විය.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනා වූ නවක ක්‍රීඩක සුරංග ලක්මාල් හා නුවන් කුලසේකර ප්‍රහාරයකට ලක්වීම කැපී පෙනුණි. මේ දෙදෙනාම ඕවර 10 බැගින් යවා ලකුණු 67 බැගින් ඉන්දීය පිතිකරුවන්ට ලබාදුන්හ.

මහරූෆ් කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් විය. ඊයේ තරගයට ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනා වූ තිසර පෙරේරා හා උප නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ලසිත් මාලිංග එක් නොවූහ. මේ තිදෙනාම සී. බී. කුසලාන තුන්කොන් තරගාවලියේදී ආබාධයකට ලක් වූ අතර තවමත් සම්පූර්ණ සුව අතට පත් නොවීම එයට හේතුª විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා