විදේශ රැකියා නියෝජිතායතන  ශ්‍රේණිගත කිරීමට ස්වාධීන ආයතනයක්

විදේශ රැකියා නියෝජිතායතන  ශ්‍රේණිගත කිරීමට ස්වාධීන ආයතනයක්

විදේශ රැකියා නියෝජිතායතන ශ්‍රේණිගත කිරීම අධීක්ෂණය සඳහා ස්වාධීන ආයතනයක් පත්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කරයි.

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන අතර මේමඟින් විදේශ රැකියා නියෝජිතායතන ශ්‍රේණිගත කිරීම ස්වාධීනව හා අපක්ෂපාතීව සිදුකිරීම මෙහි අරමුණ බව ශ්‍රී ලංකා විදේශ සේවා‍ නියුක්ති කාර්යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ විධායක අධ්‍යක්ෂ සනත් සේනානායක මහත්වරු ඊට අත්සන් කළහ.

ඒ අනුව 2011 හා 2012 වර්ෂවලට අදාළව හොඳම විදේශ රැකියා නියෝජිතායතනය තෝරාගැනීම සිදුකෙරෙන අතර එලෙස තෝරා ගන්නා නියෝජිතායතනවලට විශිෂ්ටතා තරු සම්මාන පිරිනැමීම මේ වසර අවසානයේදී සිදුකරන බවද ශ්‍රී ලංකා විදේශ සේවා‍ නියුක්ති කාර්යාංශය කියයි. පසුගිය 2011 හා 2012 වර්ෂයන්ගෙන් එක් වසරකදී අවම වශයෙන් ශ්‍රමිකයන් 100 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ‍විදේශ රැකියාවන්ට යොමු කළ රැකියා නියෝජිතායතන මෙහිදී තෝරා ගැනේ. විශිෂ්ටතා තරු සම්මාන පිරිනැමීමේදී ශ්‍රමිකයන් විදේශ ගතකළ ප්‍රමාණය, ගැටලු ප්‍රමාණය, එම ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කිරීම, ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව හා රැකවරණය සැළසීම හා කාර්යාංශයේ නීතිරීති පිළිපැදීම යන කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා