සරසවි පාඨමාලා රටේ ආර්ථිකය හා රැකියා ඉල්ලුමට සරිලන සේ සකස් කිරීම කාලීන අවශ්‍යතාවක්

සරසවි පාඨමාලා රටේ ආර්ථිකය හා රැකියා ඉල්ලුමට සරිලන සේ සකස් කිරීම කාලීන අවශ්‍යතාවක්

සබරගමු සරසවි උපාධි ප්‍රදානෝත්සවය අමතමින්

විදේශ ඇමැති ජී. එල්. පීරිස් කියයි

විශ්වවිද්‍යාලයන්හි උපාධි පාඨමාලා සැලසුම් කිරීමේදී රටේ ආර්ථික ප්‍රතිපත්තීන්ට අනුකූලව, ඉල්ලුමට සරිලන රැකියා අවස්ථාවන් පාදක කොට ගත් ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම කාලීන අවශ්‍යතාවයක් වී ඇතැයි විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

විදේශ භාෂාවන්ද ඇතුළුව, කෘෂි අපනයනය, අලෙවිකරණය, සංචාරක කටයුතු හා බිම් මැනීම වැනි දුර්ලභ ක්‍ෂේත්‍රයන්ගෙන් උපාධිධාරීන් බිහිකිරීමට සබරගමුව විශ්වවිද්‍යාලය කටයුතු කොට ඇතැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය සිකුරාදා පැවති සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එයට සහභාගිවෙමින් ඇමැතිවරයා එම අදහස් පළකළේය. මෙහිදී විවිධ පාඨමාලා හැදෑරූ උපාධිධාරීහු 800 දෙනෙක් උපාධි සහතික ලබාගත්හ.

ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සිය දේශනය පැවැත්වූ අවස්ථාව සහ එයට සවන්දෙන උපාධිලාභීන්ගෙන් කොටසක් ද ඡායාරූපයෙන් දැක්වේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ශ්‍රී ලංකාව දශක තුනක ගැටුම්වලින් අනතුරුව නිෂ්පාදන හා සේවා අපනයනය හා සංචාරක කර්මාන්තයටද ප්‍රමුඛතාවය ලබාදෙමින් ආර්ථිකය වර්ධනය කිරීමේ දැවැන්ත කාර්ය භාරයකට උරදෙමින් පසුවෙනවා.

මේ වැඩපිළිවෙලට අනුව, රජය ලෝකයේ අනිකුත් රටවල් හා වෙළෙඳ, වාණිජ, සංචාරක හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමේ ප්‍රායෝගික වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්මක කොට තිබෙනවා. එසේ කටයුතු කිරීමේදී භාෂා දැනුම අත්‍යවශ්‍ය සාධකයක් බව කිව යුතුයි.

සබරගමුව විශ්වවිද්‍යාලය සිය පාඨමාලාවන් සකස් කිරීමේදී සිංහල ඉංගශ්‍රීසි හා ද්‍රවිඩ භාෂාවන්ට අමතරව ජපන්, චීන, ජර්මන් හා හින්දි භාෂාවන්ද, කෘෂි අපනයනය, අලෙවිකරණය, ව්‍යවසායක කළමනාකරණය, බිම් මැනීම, ක්‍රීඩා හා සංචාරක යන විෂයයන්ද ඇතුළත් කිරීම මගින් රටේ අවශ්‍යතාවයට, එනම් ඉල්ලුමට සරිලන උපාධිධාරීන් බිහිකිරීමට පියවර ගෙන තිබීම සතුටට කරුණක්.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පැවති රජයන් අතරින් අධ්‍යාපනය නඟා සිටුවීමේලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ රජයන් විශාල මෙහෙවරක් ඉටුකළා. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය ඉංගී‍්‍රසි කතාකිරීමේ හා ලිවීමේ හැකියාව තිබූ වරප්‍රසාද ලත් පන්තියකට පමණක් දීර්ඝ කාලයක් තිස්සේ සීමා වී තිබූ නීති අධ්‍යාපනය, දැඩි විරෝධයන් මැද සිංහල බසින් උගැන්වීම ආරම්භ කිරීමට පියවර ගනු ලැබූවා.

එමගින් සිංහල හා ද්‍රවිඩ බසින් ඉගෙනුම ලත් ගම්බද තරුණ තරුණියන්ට නීති ක්‍ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව උදාවුණා. ජාත්‍යන්තර භාෂාවක් වශයෙන් ඉංගශ්‍රීසි භාෂා දැනුම ඉතා වැදගත් වෙනවා.

එය කඩුවක් වශයෙන් නොව ඉගෙනීමේදී හා ලෝකය සමඟ අපගේ අනිකුත් කටයුතුවලදී මෙවලමක් වශයෙන් පාවිච්චි කිරීමට අපි පෙලඹිය යුතුයි.

අධ්‍යාපනය ගලායන ගඟක් මෙන් එක ස්ථානයක නොරැඳිය යුතු බවත්, එය කලින් කලට අවශ්‍යතාවලට අනුකූලව වෙනස් විය යුතු බවද සඳහන් කළ අමාත්‍ය පීරිස් මහතා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු වත්මන් රජය, කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලට පමණක් සීමා වී තිබූ අධ්‍යාපන පහසුකම් දුරබැහැර ග්‍රාමීය ප්‍රදේශ කරා ද ලබාදීමට කටයුතු කළ අතර, ඒ යටතේ මහින්දෝදය පරිගණක විද්‍යාගාර, පිහිණුම් තටාක, ක්‍රීඩා භාණ්ඩ සහ විශේෂ පුහුණු හා උපාධිධාරී ගුරු මහත්ම මහත්මීන්ගේ සේවා දුෂ්කර ප්‍රදේශයන්හි පාසල් සඳහාද ලබාදී ඇතැයිද පැවැසීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දිවයිනේ පවත්වන උසස්ම තරග විභාගයන්ගෙන් පළමු හා දෙවන ස්ථානයන් දිනාගැනීමට බණ්ඩාරවෙල හා මොණරාගල වැනි දුර බැහැර පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හැකියාව ලැබී ඇතැයිද පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන්, විශ්වවිද්‍යාලයේ උප කුලපති මහින්ද රූපසිංහ මහතා ඇතුලු ආචාර්ය මණ්ඩලය, උපාධිලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ඔවුන්ගේ මාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා