‘එන්න මගේ පිය මිතුරෝ !’

‘එන්න මගේ පිය මිතුරෝ !’

1991 දී මුළු ලෝකයට ම වැරදුණේය. ඒ සෝවියට් සමූහාණ්ඩුවේ බිඳ වැටීමත් සමඟ ය. සිදුවීම්දාමය ආරම්භ වූයේ පෝලන්තයේ වැවෙන්සා සිය රාජ්‍ය සම්පත් විකුණා දැමිය යුතුª යැයි තීන්දු කළ තැන් සිට ය.

පෝලන්තය ආර්ථික වශයෙන් කඩා වැටුණේ ය. දේශපාලන වශයෙන් පිරිහුණේ්ය. එය නැඟෙනහිර යුරෝපය ඔස්සේ සෝවියට් දේශය තෙක් විදුලි වේගයෙන් හඹා ආවේ ය. ධනවාදයේ තෙල් සාත්තුකාරයෝ දැන් ඉතින් සමාජවාදය අවසන් යැයි මළ බතක් පිස බටහිර ලෝකයට එය බෙදා දුන්හ.

මිහායිල් ගොර්බචෝව්ගේත්, බොරිස් යෙල්සින්ගේත් දියාරු ප්‍රතිසංස්කරණ නිසා රුසියාව තව ඩිංගක් පල්ලම් බැස්සේ ය. එහෙත් පරමාදර්ශී සමාජයක් සොයා යන විද්‍යාත්මක ගමන එතෙකින් කෙළවර වේ ද ? නැත ; එය කිසිකලෙක කිසිවකුටත් අවසන් කළ නොහැකි ය.

මේ අර්බුදය හමුවේ වල්මත් නො වූ උගතුන් දෙපළකගේ නම් අප සිහියට නැඟේ. මහාචාර්ය ජේමිස් පෙට්‍රාස් එක් තැනැත්තෙකි. ඉමානුවල් වොලර්ස්ටයින් අනෙක් තැනැත්තා ය.

ස්ටාලින් අර්බුදයේ තැති ගැන්ම හා නිලධාරිවාදයේ ශාපය සමාජවාදී ලෝකයෙහි යම් දෙදරවීමක් ඇති කෙළේ ය. එහෙත් එය ධනවාදයේ ජයග්‍රහණයක් නො වේ. විවෘත වෙළෙඳාම මිනිසා ගේ මූලික ප්‍රශ්නවලට විසැඳුම් සපයා දී නැත.

 ධනවාදී සම්ප්‍රදාය නිසා දුප්පතා තවදුරටත් දුප්පත් විය. පොහොසතා තවදුරටත් පොහොසත් විය. එබැවින් තාවකාලික ඇස්බැන්දුම්වලට නොරැවටිය යුතු බව මහාචාර්ය ජේමිස් පෙට්‍රාස් පෙන්වා දුන්නේ ය.

ඔහු මේ යුතුකම ඉටු කෙළේ නිව්යෝර්ක් නුවර රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සිට ය. ඉතා වැදගත් හා නිවැරැදි අනාවැකිය පළ කළේ ඉමානුවල් වෝලර්ස්ටයින් ය. සමාජවාදයේ හරය කැටිකරගත් අලුත් විද්‍යාත්මක ඥාන විභාගයක් ඉදිරියේ දී පහළ වන බව ඉමානුවෙල් වෝලර්ස්ටයින් පෙන්වා දුන්නේ්ය.

සත්‍යය බොරුවෙන් වසා දැමිය නොහැකි ය. අලුත් ඥාන විභාගය සමඟ සමාජවාදී සමාජයේ නව විප්ලවය ආරම්භ විය. දකුණු අමෙරිකාවේ රටවල් ඊට මුල්ගල තැබීය. බ්‍රසීලය, වෙනිසියුලාව, නිකරගුවාව, ඉක්වදෝරය වාමාංශික ආණ්ඩු පිහිටුවා ගත්හ.

හංගේරියාව, බල්ගේරියාව, චෙකෝස්ලොවේකියාව යළිත් වමට බර ආණ්ඩු නිර්මාණය කළහ. 1996 දෙසැම්බර් 18 දා රුසියාව නැවත පුනර්ජීවය ලබන්නට පටන් ගත්තේ් ය. මේ ක්‍රියාදාමයේ අයෝමය හස්තය බවට පත් වූයේ වලැඩිමියර් පුටින් ය.

සෝවියට් දේශයේ නැති වී ගිය අභිමානය ගොඩනඟන්නට පුටින් නම් මහා පුරුෂයාට හැකි විය. බිඳී විසිරී ගිය රුසියන් ආර්ථිකය ඔහු අතින් මනාව ගොඩ නැඟිණි. අමෙරිකා එක්සත් ජනපදයේ බැංකු එකසිය විසිපහක් කඩා වැටිණි.

එහෙත් රුසියාවේ බැංකු පද්ධතිය අලුත් මාවතක ශක්තිමත්ව ගමන් කරයි. ආර්ථික වශයෙන් බංකොලොත් අමෙරිකාවට සහන ණයක් ලබා දෙන්නට වුව රුසියාවට හැකියාව තිබේ. බිඳ වැටුණු රූබලයට නැවත පණ ලැබී තිබේ.

එදා රුසියාව බිඳ වැටෙන විට ශ්‍රී ලංකාවේ වමේ නායකයෝ සුසුම් හෙළූහ. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු වූ මහින්ද රාජපක්ෂ මහතා ද සිටියේ ය. ශ්‍රී ලංකාවේ ධනපති පන්තියේ උසුළු විසුළුවලට මේ පිරිස ලක් වූහ.

අද තත්ත්වය ඊට ඉඳුරා වෙනස් ය. ලෝක පොලිස්කාරයා වූ අමෙරිකාවේ චණ්ඩි පාට්වලට නියම පිළිතුරු වමේ රැල්ලෙන් ලැබෙමින් පවතී. නේටෝ සංවිධානයේ සැසියකට සහභාගී වූ ව්ලැඩිමියර් පුටින් කියා සිටියේ අමෙරිකාව ලෝක ආර්ථිකයට හා දේශපාලනයට සීමාව ඉක්මවා බලපෑම් කරන බව ය. එහි ප්‍රතිඵලය අනතුරුදායක විය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

අභිමානවත් රුසියාව ලෝකයේ විශාල ම රාජ්‍යය වේ. ශ්‍රී ලංකාව හා රුසියාව අතර සම්බන්ධය ඈත අතීතයට විහි දේ. රුසියාවේ අග්‍රගණ්‍ය කෙටි කතාකරුවා වූ ඇන්ටන් චෙකෝෆ් වරක් ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

ඔහු මේ රටේ සුන්දරත්වය අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබේ. දෙවන වරට ද ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවියට පත් මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු නිල සංචාරය යෙදුණේ රුසියාවට ය.

එහි වත්මන් ජනාධිපති දිමිත්‍රි මෙද්වදේව් මහතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ආරාධනය කළේ ය. 1957 සිට දෙරටේ තානාපති සබඳතා වර්ධනය වී තිබේ. රුසියාවේ විදේශ ඇමැති සර්ජි ලැව්රෝ මහතා සිංහල භාෂාව උගත් තැනැත්තෙකි.

ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් කිහිපයක් අස්සන් කර තිබේ. ඒ හැරෙන්නට ශ්‍රී ලංකාවට ඩො දසලක්ෂ 300ක සහන ණය මුදලක් ලබා දීමට ද රුසියානු ආණ්ඩුව තීන්දු කර තිබේ.

ත්‍රස්තවාදය පරාජය කළ අභීත නායකයකු ලෙස මහින්ද රාජපක්ෂ මහතාට රුසියාව ගෞරව කරයි. ඒ අනුව එරට ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයෙන් මහින්ද රාජපක්ෂ මහතා වෙත ගෞරව සම්මාන ආචාර්ය උපාධියක් ද පිරිනමා තිබේ.

මේ සම්මානය ලැබී ඇත්තේ ලෝක නායකයන් දෙතුන් දෙනකුට පමණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විදේශීය සහයක් නැතැ’යි රංගේ බණ්ඩාර මහත්තයා මෑතක දී කියා සිටියේ ය. ඔහු ගේ ලෝක දේශපාලන දැනුම ඒ අනුව මොනවට පැහැදිළි වේ.

නූතන ලෝකයේ නව රැල්ල ගමන් කරන්නේ වම දෙසට ය. වෙනිසියුලාව, කියුබාව, නිකරගුවාව, ඉරානය, වියට්නාමය වැනි රාජ්‍යයෝ රුසියාව සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරති. අමෙරිකාව ප්‍රමුඛ ධනවාදී රැල්ල මේ වන විට සේදී යමින් පවතී.

මහින්ද රාජපක්ෂ මහතා නොබැඳි පිළිවෙතක සිට කටයුතු කළ ද නව වාමාංශික රැල්ලෙන් ඔහුට විශාල සහයෝගයක් ලැබේ. ශ්‍රී ලංකාව මානව හිමිකම් චෝදනාවලින් නිදහස් කර ගත්තෝ ද ඔව්හු වෙති.

අපි නව යුගයක් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරමු. අරුණැල්ලක් සේ ප්‍රතාපවත් රුසියාව අප සමඟ සිටිනු ඇත. ඒ සුබ අනාගතයක පෙර නිමිති ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා