ප්‍රභාගේ ක්‍රියාකාරකම් සහිත සී. ඩී. තැටි සමඟ

 ප්‍රභාගේ ක්‍රියාකාරකම් සහිත සී. ඩී. තැටි සමඟ
බෝම්බ 7000ක් ඇතුළු විශාල අවි තොගයක්

පුද්ගල නාශක බෝම්බ 7000ක් සහ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ක්‍රියාකාරකම් ඇතුළත් සංයුක්ත තැටි තොගයක් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත.

පසුගියදා වවුනියාවෙන් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් මේවා සොයා ගෙන ඇති අතර ඊට අමතරව තවත් උපකරණ රැසක් ද ඒ අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. එම්. කරුණාරත්න මහතා ‘දිනමිණ’ ට පැවැසීය.

වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු තීරය ආසන්නයේ ස්ථාන දෙකක තිබී හමුවී ඇති මේ උපකරණ තොගය පොලිතීන් හා ප්ලාස්ටික් බඳුන්වල වළ දමා තිබියදී සොයා ගෙන ඇත.

පුද්ගලනාශක බෝම්බවලට අමතරව තවත් බෝම්බ තොගයක් හමුවී ඇති අතර සී 4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 300ක් , ආර්. ඩී. එක්ස් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්රෑම් 50ක් , කිලෝග්රෑම් 10 බැගින් වූ ටී. එන්. ටී. පුපුරණ ද්‍රව්‍ය බෑග් 5ක් , බෝම්බ පිපිරවීමට යොදා ගන්නා ඩෙටනේටර් 270ක් , චාර්ජස් 100ක්ද සොයායා ගැනීමට හැකිවී තිබේ.

ඊට අමතරව කිලෝ ග්රෑමයේ ක්ලේමෝ බෝම්බයක් , කිලෝ ග්රෑම් තුනේ ක්ලේම් බෝම්බ 4 ක් , මිලිමීටර් 81 මෝටාර් බෝම්බ 35ක් , මිලි මීටර් 76 වර්ගයේ බෝම්බයක් , මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 6ක්, මීටර් 960ක් දිග ඩෙඩිකෝඩ් රෝලක් හා පැක්ෂිබල් වයර් රෝල් 2 ක් සොයාගත් උපකරණ අතර වේ.

වවුනියාවේ සිට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් මේ උපකරණ සියල්ල සොයා ගෙන ඇති අතර වවුනියාව කොට්ඨාස භාර පොලිස් අධිකාරී කුවින්ටස් රේමන්ඩන් මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම මෙහෙයුම සිදුකැර ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා