නිසි ආරක්ෂක ප්‍රමිතීන් නැති ටොයෝටා මෝටර් රථ

නිසි ආරක්ෂක ප්‍රමිතීන් නැති ටොයෝටා මෝටර් රථ
මිලියන ගණනක් වෙළෙඳපොළෙන් ඉවතට

සමාගමට බිලියන දෙකක පාඩුවක්

නිසි ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල නොවන නිසා ටොයෝටා මෝටර් රථ මිලියන ගණනාවක් වෙළෙඳපොළෙන් ඉවත්කරගෙන තිබේ.

මේ නිසා ආර්ථික අවපාතයෙන් බිඳ වැටී තිබූ වෙනත් මෝටර් රථ සමාගම්වලට හිස එසවීමට ඉඩ ප්‍රස්ථාවක් උදාකර දී ඇති බව විචාරකයෝ පවසති.

දැවැන්ත අමෙරිකන් මෝටර් රථ සමාගමක් වූ ජෙනරල් මෝටර්ස් පදරවමින් 2008 දී ටොයෝටා සමාගම ලොව අංක එකේ මෝටර් රථ සමාගම බවට පත්විය.

කෙසේ වෙතත්, ටොයෝටා සමාගමට දැන් අත්විඳීමට සිදුවී ඇති පසුබෑම නිසා ජෙනරල් මෝටර්ස් සමාගම මෝටර් රථ කර්මාන්තයේ යළි මුල්තැනට පත්වෙමින් සිටී. 2018 වනවිට වොක්ස්වැගන් සමාගමද ටොයෝටා සමාගම පරදවන බව කියා තිබේ.

ආරක්ෂක හේතුන් මත වෙළෙඳපොළෙන් ඉවත්කර ගත් ටොයෝටා මෝටර් රථ සංඛ්‍යාව මිලියන අටකට අධික බව වාර්තා වේ.

මතභේදයට තුඩුදී ඇති ටොයෝටා වාහනය වෙළෙඳපොළට හඳුන්වාදෙන ලද්දේ 1997 දීය. මෙම වර්ගයේ මෝටර් රථ මිලියන 1.5 පමණ දැනට රටවල් 40 ක පමණ අලෙවිකර ඇති අතර එය ඉතාම ජනප්‍රිය මෝටර් රථයකි.

වෙළෙඳ පොළේ තිබූ මෝටර් රථ ඉවත්කර ගැනීම නිසා ටොයෝටා සමාගමට ඩොලර් බිලියන 2 ක පාඩුවක් සිදුවී ඇත.

2010 ජනවාරි වනවිට ටොයෝටා මෝටර් රථ අලෙවිය 16% කින් පහළ වැටී ඇති අතර, ජෙනරල් මෝටර්ස් සමාගමේ අලෙවිය 12% වැඩිවී තිබේ. ටොයෝටා සමාගමේ පසුබෑම වෙනත් ජපන් මෝටර් රථ සමාගම්වලට, කොරියන් සහ ජර්මන් සමාගම්වලට වාසි සහගත වනු ඇති බව විචාරකයෝ පවසති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා