දකුණු ආසියා නව පිහිනුම් වාර්තාවක් බිහි කරමින්

ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් ජයකෙහෙළි නංවද්දී
දකුණු ආසියා ක්‍රිකට් රන් කිරුළ අපෙන් ගිලිහෙයි

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මුල්වරට හඳුන්වා දුන් ක්‍රිකට් ක්‍රීඩාවේ රන් පදක්කම ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේය. මීර්පූර්හී බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති දිවා - රාත්‍රී විස්සයි – 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් සත්කාරක බංග්ලාදේශය හිමිකරගෙන “සාග්” මුල්ම ක්‍රිකට් රන් පදක්කම දිනා ගත්තේය.

එහෙත් ඊයේ දිනයේ දී මලල ක්‍රීඩාවෙන් සුපිරි දස්කම් දැක්වීමට ශ්‍රී‍්‍ර ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ක්‍රිකට් අවසන් ගැටුමේ දී මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර් 20කදී කඩුලු 7කට ලකුණු 157ක් රැස්කළ අතර ශ්‍රී ලංකාව ඕවර 19.5කදී ලකුණු 152කට සීමා විය. බංග්ලාදේශය වෙනුවෙන් එම්. ඩී. මිතුන් ලකුණු 37ක්, ඇනමල් හක් ලකුණු 43ක්, සබීර් රහ්මාන් ලකුණු 20ක් හා නිසාර් හුසේන් ලකුණු 14ක් ලැබූහ. පන්දු යැවීමේදීී තිසර පෙරේරා ලකුණු 35ට කඩුලු 2ක් හා සචිත්පතිරණ ලකුණු 21ට කඩුලු 2ක් බිඳහෙලූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත්තේ ළහිරු තිරිමාන්නයි. ඔහු ලකුණු 39ක් ලැබූ අතර සචිත් පතිරණ ලකුණු 36ක් ද අෂාන් පි‍්‍රයංජන ලකුණු 25ක් ද ලැබූහ. ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු 12දී ලකුණු 19ක් අවශ්‍ය වූ අතර අවසන් ඕවරයේදී ජයග්‍රහණයට ලකුණු 14ක් අවශ්‍ය විය.

මීටර් 100ය4 රන් පදක්කම දිනූ
ප්‍රියදර්ශනී, අචලා, සුජානි හා ප්‍රමිලා

එක් කඩුල්ලක් පමණක් ඉතිරිව තිබුණි. බංග්ලාදේශ පන්දු යැවීම හා පන්දු රැකීම උසස් මට්ටමක තිබූ හෙයින් ශ්‍රී ලංකාවට තරගය පුරාම ප්‍රබල පීඩනයක් එල්ල විය.

මලල ක්‍රීඩාවෙන් තවත් රන් පදක්කම් 4ක්

11 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ දහවැනි දිනයේ දී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 6 ක් එක්විය. මෙයින් වැඩි පදක්කම් ප්‍රමාණයක් මලල ක්‍රීඩාවෙන් එක්විය.

 මීටර් 400 ඉසව්වෙන් චන්ද්‍රිකා සුභාෂිනී, උස පැනීමෙන් පි‍්‍රයංගිකා මධුමන්ති, මීටර්100ය4 කාන්තා හා පිරිමි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් දිනා ගත්හ. ඊයේ දිනයේ දී කරාටේ, පිහිනුම් ඉසව්වලින් ද ශ්‍රී ලංකාවට රන් පදක්කම් හිමිවිය.

ඒ අනුව ශ්‍රී ලංකාව දැනට මේ තරගාවලියේ රන් පදක්කම් 13ක් දිනා සිටී.

මීටර් 400 රන් පදක්කම දිනාගත් චන්ද්‍රිකා සුභාෂිනී තත්පර 54.27කින් ද මීටර් 100ය4 පිරිමි රන් පදක්කම දිනාගත් ජීවන් ප්‍රනාන්දු, ෂෙහාන් අඹේපිටිය, අසාන් හසරංග හා ශිවන්ත වීරසූරිය තත්පර 40.02කින් ද එහි කාන්තා රන් පදක්කම දිනාගත් චමිලා පි‍්‍රයදර්ශනී, අචලා ඩයස්, සුජානි බුද්ධිකා හා ප්‍රමිලා පි‍්‍රයදර්ශනී තත්පර 46.33කින් ද උස පැනීමෙන් රන් පදක්කම දිනාගත් පි‍්‍රයංගිකා මධුමන්ති මීටර් 1.81ක උසක් පනිමින්ද දක්ෂතා දැක්වූහ.

කලකට පසුව තරගබිමට පිවිසි ප්‍රසන්න සම්පත් අමරසේකර මීටර් 400 තත්පර 47.36කින් නිමකර රිදී පදක්කම දිනා ගත්තේය. තුම්පිම්ම මීටර් 15.19කින් නිමකළ නිශාන්ත කුමාර හා උස පැනීම මීටර් 1.72කින් නිමකළ දූලාංජලී රණසිංහ ඊයේ දිනයේ දී ලෝකඩ පදක්කම් දිනාගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චමින්ද විජේකෝන් මීටර් 1500 ඉසව්ව විනාඩි 4 : 10 . 01 කින් නමකර රන් පදක්කම දිනාගනිද්දී එහි ලෝකඩ පදක්කම විනාඩි 4 : 10 . 97කින් නිමකළ පී. එච්. චමිල් දිනා ගැනීම විශේෂත්වයකි.

මීටර් 200 කාන්තා රන් හා රිදී පදක්කම් ශ්‍රී ලංකාව සතුවිය. ඉතා හොඳ ආරම්භයක් ලබාගත් චන්ද්‍රිකා සුභාෂිනී තත්පර 24 : 49 කින් ද තරගය නිමකර මේ දක්ෂතා දැක් වූහ. චන්ද්‍රිකාගේ ප්‍රථම සාග් රන් පදක්කම මෙය වූ අතර තරග තහනමකින් පසුව ප්‍රමිලා ජාත්‍යන්තර තරගයකට එක් වූ ප්‍රථම අවස්ථාව ද මෙය වීම කැපී පෙනුණි.

මීටර් 200 පිරිමි තරගයේ රන් පදක්කම ශ්‍රී ලංකාව දිනා ගනීවි යැයි බොහෝ දෙනා අපේක්ෂා කළ ද ෂෙහාන් අඹේපිටියගේ දුර්වල තරග ආරම්භය එයට අවහිර කෙරුණි. ෂෙහාන් රිදී පදක්කම තත්පර 21 : 19 කින් දිනා ගත් අතර ඉන්දියාවේය අබ්දුල් ෆජීබ් තත්පර 21 : 16කින් රන් පදක්කම දිනා ගත්තේ ය.

මීටර් 100ය4 රන් පදක්කම දිනාගත් ජීවන්, ෂෙහාන්, අසාන් හා ශිවන්ත
ඡායාරූප – ප්‍රින්ස් ගුණසේකර

දුර පැනීම ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාව සතුªකර ගැනීමට නයන ප්‍රසාද් ධර්මරත්න සමත් වූ අතර දක්ෂතාව මීටර් 7.25ක් විය. එහි රන් පදක්කම ඉන්දියාවේ මොහොමඩ් ඉබ්‍රාහිම් (මී 7.44) දිනා ගත්තේ්ය.

මිනේකාගෙන් දෙවැනි රන් පදක්කම

මීටර් 100 ළය ආර ඉසව්ව විනාඩි 1 : 18: 60කින් නිමකළ මිනේකා කරුණාරත්න දෙවැනි රන් පදක්කම දිනා ගත්තාය. ඇය මේ ඉසව්ව 2008 වසරේ ජාතික සූරතාවලියේ දී විනාඩි 1 : 14 : 77කින් නිමකර වාර්තාවක් තබා තිබූ අතර ඊයේ හොඳම කාලය වාර්තා කිරීමට නොහැකිවීම පිළිබඳ සිය නොසතුට පළ කළාය. මෙහි රිදී පදක්කම බංග්ලාදේශ ක්‍රීඩිකා මහුෆවුසා කුටාන් (වි. 1 : 18 : 76) හා ලෝකඩ පදක්කම එරටේම ඩොලී අක්ටර් (වි. 1 : 19 : 39) දිනා ගත්හ.

නව දකුණු ආසියානු පිහිනුම් වාර්තාවක් බිහිකරමින් මීටර් 100 පසුපස ආර තරගයේ රන් පදක්කම දිනා ගැනීමට හේෂාන් උණම්බුව සමත් වූවේ ය. 11 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බිඳ වැටුණු දෙවැනි නව තරග වාර්තාව එය විය.

ත්‍රිත්ව විද්‍යාලයේ හේෂාන් උණම්බුව එම ඉසව්ව තත්පර 58.98 කින් නිමකර මකා දමනු ලැබුවේ 2006 වසරේ කොළඹ දී ඇන්ඩෘ අබේසිංහ විනාඩි 1 : 00.11 කින් තබා තිබූ වාර්තාවයි.

මීටර් 50 පසුපස ආර තරගයෙන් හේෂාන් උණම්බුව (තත්. 27.93) රිදී පදක්කම දිනාගත් අතර එහි කාන්තා ඉසව්වට එක්වූ ගාල්ල සවුත්ලන්ඩ් බාලිකාවේ ගිහාරා අමරසිංහ (තත්. 34.56) ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

කලකට පසුව අන්තර්ජාතික තරග බිමට පිවිසි කොන්ඩ්‍රඩ් ෆ්‍රැන්සිස් මීටර් 100 සමනල ආර තරග ඉසව්ව තත්. 58.44කින් නිම කරමින් රිදී පදක්කම දිනා ගත්තේය.

පෙරේදා පැවැති තරගවලදී මීටර් 100 සමනල ආර ඉසව්ව විනාඩි 1 : 10 . 38 කින් නිම කළ මිනිරුවණී සමරකෝන් ලෝකඩ පදක්කම දිනා ගත්තා ය.

ටයිකොන්ඩෝ ලෝකඩ පදක්කම් 2ක්

කි. ග්‍රෑ. 74 අඩු බර පංතිය යටතේ තරග කළ සුමින්ද නදීෂාන් හා කාන්තා කි. ග්‍රෑ. 49 අඩු බර පංතියෙන් තරග කළ නිරංජි දිනූෂා ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

ශ්‍රී ලංකාවට කරාටේ රන් පදක්කමක්

සාග් පිහිනුම් තරගයේදී දෙවැනි රන් කිරුළ පැළදූ දිය කිඳුරිය මිනේකා

කරාටේ කාතා පිරිමි ඒකල තරගයට එක්වූ ආර්. ජේ. එඩ්වඩ් රන් පදක්කම දිනා ගත්තේ ය. එහි රිදී පදක්කම බංග්ලාදේශයටත්, ලෝකඩ පදක්කම ඉන්දියාව හා පාකිස්තානය දිනා ගත්හ. කාතා කණ්ඩායම් තරගයේ ලෝකඩ පදක්කම ශශ්‍රී ලංකාවට හිමි විය. රිදී පදක්කම පාකිස්තානය හා රන් පදක්කම බංග්ලාදේශය දිනා ගත්හ.

ටේබල් ටෙනිස් රිදී පදක්කම්

ටේබල් ටෙනිස් කාන්තා හා පිරිමි රිදී පදක්කම් දෙකම ශ්‍රී ලංකාවට හිමි විය. කාන්තා කණ්ඩායම් තරගයට එක්වූ නිරින්දා දර්ශනී , ඉෂාරා මධුරංගි හා නුවනි නවෝද්‍යා 3 - 0 කින් ඉන්දියාවට පරාජය වූහ.

ටේබල් ටෙනිස් පිරිමි කණ්ඩායම් තරගයට එක් වූ චලිත රංජන , රොහාන් සිරිසේන හා සජිත් ප්‍රියදර්ශන 3 - 0 කින් ඉන්දියාවට පරාජය වූහ.

වූෂු රිදී පදක්කම්

වූෂු කි. ග්‍රෑ 52ට අඩු බර පන්තියෙන් තරග කළ වසන්ති ලක්මාලි රිදී පදක්කම දිනාගත්තාය.

ෂැන්ෂු කි. ග්‍රෑ 60ට අඩු බර පන්තිය යටතේ තරග කළ ඒ. ටී. ශ්‍රියාන්ජන් ,ටයිකොන්ඩෝ කි. ග්‍රෑ 68ට අඩු බර පන්තිය යටතේ තරග කළ සුගත් වීරදේවගේ , මල්ලවපොර කි. ග්‍රෑ 66ට අඩු බර පන්තිය යටතේ රොෂාන් ඉන්දික ලියනගේ ලෝකඩ පදක්කම දිනා ගත්හ.

ස්කොෂ් කණ්ඩායම් තරගයේ ලෝකඩ පදක්කම නවීන් සමරසිංහ , එරංග අල්විස් හා ගිහාන් සුවාරිස් දිනා ගත්හ.

මී 50 රයිෆල් වෙඩි තැබීමේ කණ්ඩායම් තරගයේ ලෝකඩ පදක්කම කේ. ජී. ඩී. ප්‍රදීපිකා , පී. රමණී හා බී. අයි. ආර්. එස්. බුත්පිටිය දිනාගත්හ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා