පරාජය දරාගන්න බැරිව විපක්ෂය අද නන්දොඩවනවා

පරාජය දරාගන්න බැරිව විපක්ෂය අද නන්දොඩවනවා

දොස්තර රාජිත සේනාරත්න - ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය

ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා හා විරුද්ධ පක්ෂය ආණ්ඩුවට එල්ල කරනු ලබන චෝදනා පිළිබඳ ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමඟ කරන ලද සාකච්ඡාවක් පහත දැක්වේ.

ජනපතිවරණයේ ජය සමරන බව ප්‍රකාශ කරමින් ආණ්ඩුව විරුද්ධ මත දරන පුද්ගලයන් දැඩි ලෙස මර්දනය කිරීමේ ක්‍රියාවලියක් අරඹා ඇති බවට විපක්ෂය චෝදනා නගනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ඒකාධිපති පාලනයකට ආණ්ඩුව ක්‍රමානුකූලව ගමන් කරන බවයි.

ඒකාධිපති ක්‍රමයකට යන්න ඕනෑනම් ජනාධිපතිවරණයක් පවත්වන්න ඕනෑ නැහැ. ජනාධිපතිවරණය පැවැත්වීමත් ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. ඉදිරියේදී මහ මැතිවරණය පවත්වන්නේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යන නිසයි.

නමුත් යම් යම් බලපෑම් ඕනෑම ආණ්ඩුවකින් ඇතිවෙන්න පුළුවන්. එවැනි සිද්ධියක් දෙකක් ඇතිවූ පමණින් රජය ඒකාධිපති පාලනයකට යනවයි කියලා කාටවත් කියන්න බැහැ.

එහෙත් එවැනි එක් සිද්ධියකින් හෝ දෙකකින් ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රබල අභියෝගයක් ඇතිවෙන්න පුළුවන් නේද?

නැහැ. එහෙම වෙන්නේ නැහැ. ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් මේ රටේ ඕනෑම කෙනෙකුගේ නිදහස ආරක්ෂා කරලයි තියෙන්නේ. එක තැනක යම් පහරදීමක් වූ පමණින් මුළු රටේම ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙන්නේ නැහැ.

නමුත් අපි උත්සාහ ගන්න ඕනෑ, එක සිද්ධියක්වත් නොවන තැනට වැඩකරන්න. ඕනෑම ආණ්ඩුවක් යටතේ සුළු සුළු සිද්ධි ඇතිවෙන්න පුළුවන්. නමුත් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් ජනාධිපතිතුමා හෝ වත්මන් ආණ්ඩුව හෝ අනුමත කරන්නේ නැහැ. ඒවා සම්බන්ධයෙන් නීත්‍යනුකූලව ක්‍රියා කළ යුතුයි.

මෙතනදී තවත් කාරණයක් කියන්න වෙනවා. විපක්ෂයේ අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කළා නම් මේ රටේ විශාල ලේ වැගිරීමක් වීමට හොඳටම ඉඩ තිබූ බැව් පැහැදිලි වෙනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අත්අඩංගුවට ගැනීම, ජනාධිපතිතුමාගේ සහෝදරයන් හා ඥාති හිතමිත්‍රාදීන් සිරභාරයට ගැනීම වගේ සැලැසුම් සරත් ෆොන්සේකා මහතා ළඟ තිබිලා තියෙනවා. ඊට අමතරව ඝාතනය කිරීම සඳහා තවත් විශාල පිරිසකගේ නාම ලේඛනයක්ද සකස් කර තිබුණු බවට තොරතුරු වාර්තා වෙනවා.

දේශපාලනය නොදන්නා හිටපු යුධ හමුදාපතිවරයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචණ්ඩත්වයට කැමති පිරිස් එක්වීම යන කරුණු නිසා කුමන්ත්‍රණකාරී පරිසරයක් සකස්වෙමින් තිබුණා.

නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව සෑම ක්‍රියාවකටම සමාන ප්‍රතික්‍රියාවක් තිබෙන බව අප මතක තබාගත යුතුයි. ක්‍රියාව දරුණු වෙනකොට ඊට සාපේක්ෂව ප්‍රතික්‍රියාවත් දරුණු වෙනවා.

ඔබ කියන්නේ විපක්ෂය ඕනෑවට වඩා දැඟලුවොත් එය මට්ටු කිරීමට ආණ්ඩුව සූදානම් කියන අනතුරු ඇඟවීමද?

මං කියන්නේ විපක්ෂය මර්දනය කරනවයි කියන කතාවක් නොවෙයි. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්ෂයට තම මතය ඉදිරිපත් කිරීමේ අයිතිය තිබිය යුතුයි. මේ රටේත් එහෙමයි. විපක්ෂයේ මතයට එකඟ නොවූවාට, විපක්ෂයට සිය මතය ඉදිරිපත් කිරීමේ අයිතිය ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිනවා.

නමුත් මං මේ කියන්නේ මෙවර විපක්ෂයේ තිබුණු සැලසුම් සහගත කුමන්ත්‍රණකාරී සැලැස්මක් පිළිබඳවයි. මං ඒක උදාහරණයකින් පෙන්වා දෙන්නම්. 2005 ජනාධිපතිවරණයේ දී තියුණු තරගයකින් පසුව මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළා. නමුත් මෙවැනි තත්ත්වයක් එදා ඇතිවුණේ නැහැ.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ සහෝදරයන් අත්අඩංගුවට ගන්නවා. ඇතැමුන් ඝාතනය කරනවා, යනුවෙන් මනඞකල්පිත කතාවක් ගොතලා ඒ හරහා විපක්ෂය මර්දනය කිරීමට උත්සාහ ගන්නා බවකුයි විරුද්ධ පක්ෂය පෙන්වා දෙන්නේ.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කතාවලින්ම මේ කරන්න සැලසුම් කළ භීෂණය ගැන ඉඟි විටින්විට පළවුණා. බෝගම්බර, වැලිකඩ සිරගෙවල් පුරවන හැටි ෆොන්සේකා මහතා කිව්වා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වහලා ජනතා නියෝජිතයන් අත්අඩංගුවට ගන්නා හැටිත් ෆොන්සේකා මහතා කිව්වා. තමන්ට බැනවැදුණු කට්ටියගේ කටු සූප්පු කරවන හැටිත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කිව්වා.

 “පාහරයා, වලත්තයා, කලවැද්දා” කියලා තර්ජනාත්මකව කතා කළේත් සරත් ෆොන්සේකා මහත්තයා. අපේ රටේ කිසිම ජනාධිපති අපේක්ෂකයෙකු මෙවැනි තර්ජනාත්මක කරුණු ප්‍රකාශ කරලා නැහැ.

ඒ විතරක් නොවෙයි, ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහත්තයා කිව්වා, 27 වැනිදාට මහින්ද රාජපක්ෂ මහතාට පයින් ගසන්නේ පයේ සලකුණ ජනාධිපතිතුමාගේ පිටේ සටහන් වෙන ලෙසයි කියලා. සෝමවංශ අමරසිංහ මහතා මේ ප්‍රකාශය සිදුකළේ ප්‍රසිද්ධියේ. මෙහෙම කී කට්ටිය දැන් කියන්නේ මොන කතාද?

ආණ්ඩුව ක්‍රියාත්මක කර තිබෙන ප්‍රචණ්ඩත්වයට එරෙහිව සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ඇරඹීමට විරුද්ධ පක්ෂය සූදානම් වෙනවා.

සත්‍යග්‍රහ කළ යුත්තේ මහජනතාව යි. හිංසනය මූලික කරගෙන පැමිණි මිනිස්සු තමන්ට හිංසනය එල්ල වෙනකොට සත්‍යග්‍රහ කරන්නේ කොහොමද මේව මොන විහිළු කතාද?

ඡන්ද ප්‍රතිඵල නිකුත් කෙරෙන විට විපක්ෂයේ අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා කොළඹ ප්‍රසිද්ධ හෝටලයක කොටුකර තබාගන්න හැදුවේ ඇයි?

කවුරුත් සරත් ෆොන්සේකා මහත්තයා කොටුකරගෙන හිටියේ නැහැ. නිවාස අඩස්සියේ ඉන්නේ කියලා ඔහුම සිතාගෙන හෝටලයට වෙලා හිටියා. ඊට පස්සේ කිසි කරදරයක් නැතුවම ෆොන්සේකා මහත්තයා ගෙදර ගියානේ.

තමන් වටකරලා අත්අඩංගුවට ගන්න හදනවා, මරන්න හදනවා කියලා සරත් ෆොන්සේකා මහත්තයා කෑගැහුවට එහෙම කිසිම දෙයක් සිදුවුණේ නැහැ. ඔහු බය වැඩි කමටයි නිකරුණේ කෑගහලා තියෙන්නේ.

සරත් ෆොන්සේකා මහතා සමඟ සිටි කිහිපදෙනෙක්ම හමුදාවෙන් පැනගිය සෙබළුන්. ඔවුන් විශාල කලබලයක් ඇතිකරන්න සූදානම් වන බවට ආරක්ෂක අංශවලට තොරතුරු වාර්තාවෙලයි තිබුණේ.

ඒ ආකාරයෙන් හෝටලයේ සිටි නීති විරෝධී පිරිස අත්අඩංගුවට ගැනීමටයි ආරක්ෂක අංශ සාමාජිකයන් හෝටලය අසල සිටියේ.

සරත් ෆොන්සේකා මහතාගේ නිවස අවට ඇති ආරක්ෂක රැකවල් තවමත් යොදා ඇති බවට විරුද්ධ පක්ෂය පෙන්වා දෙනවා. ෆොන්සේකා මහතාගේ කාර්යාලයට හා නිවසට යන එන රථවාහන දැඩි පරීක්ෂාවකට ලක්කළා. ත්‍රස්තවාදය පරාජය කිරීමට වෙහෙසුණු රණවිරුවෙකු මෙසේ මානසික වශයෙන් පීඩාවකට ලක්කිරීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නොමැතිබව විරුද්ධ පක්ෂය පවසනවා.

ඔය කතාව කියන්නේ ජනතා විමුක්ති පෙරමුණයි, තමන්ගේ ගෙදරට එන රථවාහන පරීක්ෂා කරනවා කියලා සරත් ෆොන්සේකා මහත්තයා කියලා නැහැ. ඒ නිසා ෆොන්සේකා මහත්තයවත් නොදන්න පරීක්ෂා කිරීමක් ගැන ජනතා විමුක්ති පෙරමුණ කතාකරන්නේ කොහොමද? ෆොන්සේකා මහත්තයාගේ නිවසේ ආරක්ෂක කටයුතු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණද? කියලා මං නම් හරියට දන්නේ නැහැ.

ෆොන්සේකා මහතාගේ කාර්යාලය පරීක්ෂා කළබව ඇත්ත. නමුත් ඔහුගේ නිවසට යන රථවාහන කිසිවක් පරීක්ෂා කළේ නැහැ. කාර්යාලය පරීක්ෂා කළේ නිශ්චිත කරුණක් සොයාගැනීම සඳහායි.

රජයේ නිලධාරීන් පිරිසකට මරණ තර්ජන ලිඛිතවම එවලා තිබුණේ එම කාර්යාලයේදී. ඒවා සකස් කිරීමෙන් අනතුරුවයි වහාම ඉල්ලා අස්වෙන්න නැත්නම් ජනවාරි 27 වැනිදාට කරන දේ බලාගන්නවයි කියමින් මේ තර්ජනාත්මක ලිපි එවලා තිබුණා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට දායකවෙලා හිටිපු කැපීපෙනෙන පුද්ගලයන් රැසකටම මේ තර්ජනාත්මක ලිපි එවලා තිබුණා.

ඒවගේම මැතිවරණ ප්‍රතිඵල නිකුත්වන විට ව්‍යාජ එස්. එම්. එස්. (ඉර්ඉ) පණිවිඩ රැසක් නිකුත් කරලා තිබුණා. එම ව්‍යාජ එස්. එම්. එස්. නිකුත් කළ පිරිසක්ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ වෙලා.

තමන් ළඟ හිටපු ආරක්ෂක අංශ නියෝජිතයන් හමුදාවෙන් පැනගිය සෙබළුන් සේ අ¼ඟවා ඔවුන්ට අපහාස කෙරෙන ලෙසටත් රණවිරුවන්ට අගෞරව නොකරන ලෙසටත් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඕක බොරු කතාවක්. මේ නිලධාරීන් බොහෝමයක් හමුදාවෙන් පැනගියා කියලා සරත් ෆොන්සේකා මහතාමයි ලිපියකින් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම්දීලා තියෙන්නේ.

9 දෙනෙක් හමුදාවෙන් පැනගිය සෙබළුන් කියලා දැනුම්දුන් විට ඒ වෙනුවට ආරක්ෂක නිලධාරීන් 9 දෙනෙක් ලබාදෙන්න කියලා මැතිවරණ කොමසාරිස්වරයා දැනුම්දීලා තිබුණා. ඒ අනුවයි ෆොන්සේකා මහතාට ආරක්ෂක නිලධාරීන් ලැබුණේ. හමුදාවෙන් පැනගිය සෙබළුන් තමයි හෝටලයේ ඉඳලා අත්අඩංගුවට ගත්තේ.

මැතිවරණ වේදිකාවල ජනගඟ ගැලුවේ සරත් ෆොන්සේකා මහතාගේ රැස්වීම්වලට වූවත් ඡන්දය ගණිනකොට මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබෙන බව පවසන විරුද්ධ පක්ෂය ප්‍රකාශ කරන්නේ නියම ජනරැල්ල අනුව එසේ විය නොහැකි බවයි.

සරත් ෆොන්සේකා මහතාගේ රැස්වීම් තිබුණේ හන්දි ගානේ. ප්‍රධාන ක්‍රීඩාංගණවල ඒ මහතාගේ රැස්වීම් තිබුණේ නැහැ. එවැනි ක්‍රීඩාංගණයක සෙනඟ පුරවන්න නම් අඩුම ගණනේ 25000 ක් 50,000 ක් පමණ සෙනඟ ඉන්න ඕනෑ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හැම රැස්වීමක්ම පැවැත්වුණේ ප්‍රධාන ක්‍රීඩාංගණවල. ඒ වගේම විශාල සෙනඟක් ඒ රැස්වීම්වලට පැමිණියා. හන්දියක් පිරෙන්න සෙනඟ අවශ්‍යවෙන්නේ තුන්හාරදහසක් පමණයි.

මාධ්‍යවල වාර්තා කරනකොට රැස්විම තිබුණේ හන්දියකද ක්‍රීඩාංගණයකද ඒවායේ දිග පළල වාර්තා කරන්නේ නැහැනේ. ෆොන්සේකා මහතාගේ පානදුරේ රැස්වීම තිබුණේ හන්දියේ. ගාලු පාර වැහෙන්න සෙනඟ හිටියේ හංදියේ තිබුණු නිසයි.

මං එතනින් යනකොට රැස්වීම දක්කා, 4000 ක් පමණ සෙනඟ ඉන්න ඇති. නමුත් අපේ රැස්වීම්වලට 25,000 කට වැඩියෙන් සෙන¼ඟ හිටියා. එම ජනතා ප්‍රතිචාරය ඡන්ද ප්‍රතිඵලවලිනුත් මැනවින් පෙන්නුම් කෙරෙනවා.

ෆොන්සේකා මහතා ජීවිතේ ප්‍රථමවරට සෙනඟ ඉස්සරහට යනකොට ඔහුට පෙනෙන්නේ මුළු ලංකාවම ඔහුත් එක්ක ඉන්නවා කියලයි. නමුත් යථාර්ථය ඒක නෙවෙයි. 70 දශකයේදී රැස්වීම්වල සෙනඟ දැක්කම මටත් හිතුණේ ම්‍රළු ලංකාවම ඉන්නේ අපිත් එක්ක කියලයි.

1977 දී රැස්වීම්වල සෙනඟ දැක්ක විදියට නම් මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ සමාජවාදී එක්සත් පෙරමුණ වෙන්න ඕන. නමුත් ජන්ද ගණිනකොට අපි පරාදයි. සෙනඟ ආවේ වාමාංශික අපේ කතා අහන්න විතරයි. හොඳ සංගීත බජව්වක් අහල යනව වාගේ මිනිස්සු ඇවිල්ලා අපේ කතා අහලා සද්ද නැතුව යනවා.

අපිත් දේශපාලනයේ ආරම්භක කාලෙ දි හිතුවේ සරත් ෆොන්සේකා මහතා දැන් හිතනව වගෙයි. ඒක නිසා පහුවෙනකොට සරත් ෆොන්සේකා මහතා දේශපාලන යථාර්ථය තේරුම් ගනීවි.

 මැතිවරණ කොමසාරිස්වරයා නිවාස අඩස්සියේ තබාගෙන බලපෑම් කරලා ඡන්ද ප්‍රතිඵල වෙනස් කළ බවට විරුද්ධ පක්ෂය බරපතළ චෝදනාවක් එල්ල කරනවා.

ඔය කටකතා විපක්ෂය හැමදාම කියන දේ. මාධ්‍ය හමුවක් පවත්වලා විපක්ෂයේ අසත්‍ය චෝදනාවලට මැතිවරණ කොමසාරිස්වරයා නියම උත්තරයක් ලබාදීලා තියෙනවා.

 ඒක නිසා වසර ගණනාවක් තිස්සේ නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වූ මැතිවරණ කොමසාරිස්වරයා මහජනතාවට විශ්වාස කළ හැකි ආකාරයේ මැතිවරණයක් පවත්වා තිබෙනවා. ඡන්ද කොල්ලයක් සිදුනොවූ බවට මැතිවරණ කොමසාරිස්වරයා සහතිකවෙනවා නම්, තවත් මොන කතාද?

මංගල සමරවීර කියන්නේ මේ රටට මඩ හා පච ව්‍යාපාර නවතාවකින් ඉදිරිපත් කරපු පුද්ගලයා. මංගලගේ ඒ ඒ පච හා මඩවලට අවශ්‍ය පිළිතුරු අපිත් ලබාදුන්නා. මැතිවරණ කොමසාරිස්වරයා තවත් වැදගත් කතාවක් කිව්වා. මැතිවරණයට කලින් කොමසාරිස්වරයා කිව්වා. ඡන්දේ පරාද වුණාම හේතු කියන්න එන්න එපැයි කියලා.

මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව අධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට විරුද්ධ පක්ෂය තීරණය කරලා. ඔවුන් ප්‍රකාශ කරන්නේ මැතිවරණ පෙත්සම තුළින් ඔවුන් ජයග්‍රහණය ලබන බවයි.

වැඩි ඡන්ද ලක්ෂ 18ක් වෙනස් කරන්න තීන්දු දෙන්නේ ලෝකයේ මොන රටේ අධිතරණයද? මෙතරම් විශාල පරාජයක් සිදුවුණාට පසුව ඒක දරාගන්න බැරිව විපක්ෂය නන්දොවනවා. ඡන්ද විමසීම අවසන් වු පසුව මේ මැතිවරණය සාමකාමී බව ප්‍රකාශ කෙළේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි.

දෙස් විදෙස් පරීක්ෂකයන් ගණනාවක් පැමිණ කරන ලද නිරීක්ෂණවලින් පසුවත් කිව්වේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වුණා කියලයි. පැරදුණාම පස්සේ මේ කතා කියන්නේ රට අස්ථාවර කිරීමට වෙර දරන උදවියයි. ඉදිරි මහ මැතිවරණයේදී ඔවුන්ට තියෙන ඡන්ද ටිකත් නැති වෙනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා