සැබෑ නිදහස උදා වූ වගයි!

සැබෑ නිදහස උදා වූ වගයි!

අදසමරන නිදහසෙහි වැදගත්කම කුමක් ද? හෙවත් එහි විශේෂත්වය කුමක් ද? මේ ප‍්‍රශ්නයට ලැබෙන පිළිතුර අනුව ශී‍්‍ර ලංකාවේ අනාගතය පිළිබඳ දළ සටහනක් නිර්මාණය කළ හැකි ය.

ඉතා සරල ව දක්වතොත් අද සමරන නිදහස දෙවැනි නිදහස් අරගලයේ කඩඉමක් හෙවත් සන්ධිස්ථානයක් වන්නේ ය. පළමු නිදහස් සැමරුම 1948 පෙබරවාරි 04 දා ආරම්භ වූයේ ය.

එලෙස ම දෙවන නිදහස් අරගලයේ සමාරම්භය 2009 පෙබරවාරි 04 දා හෙවත් අද සනිටුහන් වන්නේ ය. ඒ වනා හී දසක තුනක් හෙවත් වසර තිහක් රට හා ජාතිය පීඩාවට පත් කළ සීතල අධිරාජ්‍යවාදය හෙවත් ගෝලීයකරණයේ බලපෑමෙන් හා එහි ම ප‍්‍රතිඵලයක් වූ ත‍්‍රස්තවාදී බලපෑමෙන් නිදහස් වීම ය.

ගෙවී ගිය වසර හැටකට ආසන්න කාලයෙහි ශී‍්‍ර ලංකාවේ ප‍්‍රගති සටහන විකෘති කළ ප‍්‍රධාන බලවේග දෙකක් තිබේ. පළමුවැන්න අධිරාජ්‍යවාදයේ බලපෑම ය. ගෝලීයකරණය, සීතල යුද්ධය, අන්තර්ජාතික වෙළෙඳ්‍රම, භූ දේශපාලනික බලපෑම යනා දී සියලු අහිතකර බලපෑම් ඊට අයත් වේ.

දෙවැන්න ත‍්‍රස්තවාදය යි. එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදය, බෙදුම්වාදය, පෙඩරල් විසැඳුම, දෙමළ ජාතිවාදය, බටහිර ධනපති රටවල බලපෑම යනා දී සියල්ල ඊට අයත් වේ.

මේ කි‍්‍රයාවලීන් දෙකෙහි ම බලපෑම නිසා රටේ දේශපාලන ස්ථාවරත්වය කඩා වැටිණි. ආර්ථිකය පහළට වැටිණි. ජාතීන් අතර සමගිය ද බිඳ වැටිණි.

අප දන්නා ඉතිහාස කතාව අනුව 1505 සිට යුරෝපා ජාතීන් ගේ වෙළෙඳ අධිකාරයට අපි යටත් වීමු. එකල ස්පාඤ්ඤය, හොලන්ඩ් රාජ්‍යය (ඕලන්ද හෙවත් නෙදර්ලන්තය) පෘතුගාලය හා මහා බි‍්‍රතාන්‍යය අතර ලෝක වෙළෙඳ්‍රම පිළිබඳ බල අරගලයක් පැවැතිණි.

එහි ප‍්‍රතිඵලයක් වූයේ ආසියාවේ, අපි‍්‍රකාවේ හා ලතින් අමෙරිකානු රටවල දුප්පත් රාජ්‍යයයන් අධිරාජ්‍යවාදයට යටත් වීම ය.

නිදසුනක් කිවහොත් 1815 ගණන්වල සිට ශී‍්‍ර ලංකාව මුළුමනින් ම යටත් කර ගැනීමට බි‍්‍රතාන්‍ය ජාතිකයෝ සමත් වූහ. එහි ප‍්‍රතිඵලය වූයේ ජාතීන් අතර භේදය ප‍්‍රසාරණය වීම හා දේශීය ස්වයංපෝෂිත ආර්ථිකය කඩා වැටීම ය. එහි ප‍්‍රතිඵල ශී‍්‍ර ලංකාවේ සියලු ජනතාව විසින් අදටත් අත් විඳිනු ලැබේ.

මේ ව්‍යසනයෙන් රට හා ජාතිය ගලවා ගැනීම සඳහා 1948 න් පසු විවිධ උත්සාහයන් දරා තිබේ. නිදසුනක් කිවහොත් 1972 ව්‍යවස්ථා සංශෝධනය වනා හී ශී‍්‍ර ලංකාවේ දේශපාලන නිදහස යථාර්ථවාදී ව ලැබූ අවස්ථාව වන්නේ ය.

1978 ව්‍යවස්ථා සංශෝධනය දේශපාලන නිදහස ලබා දෙනු වෙනුවට දේශපාලන විභේදන මතු කරන ලද අවස්ථාවක් වන්නේ ය.

ඉන් පෙනී යන්නේ ජාතික නිදහස් අරගලයේ දී වරෙක අපට වැරැදී ඇති අතර තවත් වරෙක අප ඉතා නිවැරැදි වී ඇති බව ය.

කෙසේ වුව 2006 අගෝස්තු 10 දා මාවිල් ආරු සොරොව්වෙන් ආරම්භ වූ මෙහෙයුම් පද්ධතිය මේ වන විට කිලිනොච්චි, මුලතිව් වැනි ප‍්‍රදේශ දක්වා ද ඉදිරියට ගමන් කර තිබේ. කොටි ත‍්‍රස්තවාදය මුලතිව් ව. කි. මී. තිහකටත් අඩු ප‍්‍රදේශයකට සීමා කර තිබේ.

1980 ගණන් වන විට කොටි සංවිධානය ආණ්ඩුවට වඩා මැනැවින් විදේශීය සම්බන්ධ ගොඩ නඟා ගත්තේ ය. එහි කූට – ප‍්‍රාප්තිය වූයේ යුරෝපා සංගමයට අයත් ප‍්‍රබල රටවල් ඔවුන් ගේ ඉදිරි ගමන සඳහා ආධාරකයන් ලෙස යොදා ගැනීම ය.

එදා ශී‍්‍ර ලංකා ආණ්ඩුවට එරෙහි ව කොටි සංවිධානය විසින් ප‍්‍රචාරක ජාලයක් පවත්වාගෙන යන ලදී. ඒවා කිසි කලෙක දුර්වල වූයේ නැත.

1990 ගණන් වන විට කොටි සංවිධානය ට ඩොලර් උල්පත් තිබිණි. යුරෝ උල්පත් තිබිණි. මේ සියල්ල නිසා ශක්තිමත් වූ කොටි සංවිධානයට අන්තර්ජාතික ජනමාධ්‍ය මගින් විශාල ප‍්‍රචාරයක් ද ලැබිණි.

2005 අවසන් කාර්තුවේ බලයට පත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කොටින් ගේ ප‍්‍රධාන බලවේග එකි’නෙක උපාය මාර්ගික ව පරාජය කළේ ය.

පිරිබාහරන් යුදමය වශයෙන් පරාජය කරනවා සේ ම ඔවුන් අන්තර්ජාතික දේශපාලනයෙන් ඉවතට තල්ලු කරන ක‍්‍රමවේදයක් ද මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අනුගමනය කරන ලදී.

ඒ වනා හී හිතුවක්කාරී සේ ම අනාගතය දෙස බලා ගන්නා ලද ඉතා වැදගත් තීන්දුවක් සේ සැලකිය හැකි ය. ආණ්ඩුව කොටි සංවිධානයට එරෙහි ව සටන් කරන්නට පටන් ගත්තේ ඉහත කී බලවේග එකින් – එක පරාජය කිරීමත් සමඟ ය.

අද අපට නිදහසේ හුස්ම ගන්නට හැකියාව ලැබී තිබේ. ඒ -9 මාර්ගය දිගේ උතුරේ හා දකුණේ දේශීය වෙළෙඳ්‍රම පටන් ගෙන තිබේ. ශී‍්‍ර ලාංකේය දෙමළ දරුවන් ගේ අධ්‍යාපනය නැවත ප‍්‍රබෝධවත් ව ඉදිරියට ගමන් කරනු දක්නට ලැබේ.

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ බෝම්බ තර්ජනයෙන් මිදී ඇත. එමෙන් ම රටේ ආර්ථිකය 6% ක වාර්ෂික වෘද්ධියක් සටහන් කරගෙන තිබේ.

ඒ වෘද්ධිය අඛණ්ඩ ව පවත්වා ගෙන යෑමට ද ආණ්ඩුව සමත් ව තිබේ. උද්ධමනය පහළ බැස ඇතිවා පමණක් නො ව රැකියා සම්පාදනය ද වෙනදා ට වඩා ඉහළ අගයක් ගනී. එහි වැදගත්කම පෙනෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා ගේ ආණ්ඩු කාලය සමඟ අද තත්ත්වය සංසන්දනය කිරීමෙන් ය.

ශී‍්‍ර ලංකාවේ ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේ කි‍්‍ර. පූ. 544 දී විජය කුමාරයා ශී‍්‍ර ලංකාවට ගොඩ බැසීමත් සමඟ ය. එතෙක් - මෙතෙක් රජවරුන් සිය ගණනක් රාජ්‍යය කර තිබේ.

1815 මාර්තු 02 දා උඩරට ගිවිසුම මගින් ශී‍්‍ර ලංකාව සුද්දාට පවරන ලදී. එහෙත් අරගලය නිමා වූයේ නැත. රටෙහි ස්වාධිපත්‍යය හා ජාතියේ නිදහස වෙනුවෙන් විවිධ අරගල කි‍්‍රයාත්මක වී තිබේ.

ඒ අතරින් සාර්ථක ම නිදහස් අරගලය ගෙන යන ලද්දේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි. අප ට දැන් නිදහස තිබේ යැයි කට පුරා කිව හැකි ය. ඊළඟට කි‍්‍රයාත්මක ආර්ථික අරගලයත් සමඟ ශී‍්‍ර ලංකාවේ සැබෑ නිදහස අර්ථ පූර්ණ වන්නේ ය.

ඊට මාර්ගෝපදේශකයා වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තවත් දුටුගැමුණු කෙනකු ලෙස ඉතිහාසයට එක් වන්නේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා