රණවිරු විජයග‍්‍රහණයෙන් නිදහස අර්ථවත් වුණා

රණවිරු විජයග‍්‍රහණයෙන් නිදහස අර්ථවත් වුණා

නිමල් සිරිපාල ද සිල්වා
සෞඛ්‍ය සහ පෝෂණ ඇමැති

61 වැනි නිදහස් සමරුව ශී‍්‍ර ලංකාවට සැබෑ නිදහස් දිනයක් වන්නේ ඇයි ? උතුරේ මානුෂික මෙහෙයුම් නිසා එම පළාතේ සෞඛ්‍ය සේවය අඩපණ වී තිබේද? මධ්‍යම වයඹ මැතිවරණයේදී ආණ්ඩුවට ජයග‍්‍රහණය ලැබිය හැකිද? එජාපයේ ඉරණම මේ මැතිවරණවලදී කුමන ආකාරයෙන් විසඳෙයිද ? ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ කළ සංවාද සටහනකි මේ.

මධ්‍යම, වයඹ පළාත් සභා මැතිවරණ ඉදිරි සති දෙක ඇතුළත පැවැත්වේ. මධ්‍යම පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් ලොකු තරගයක් තියෙනව කියලයි. ලක්ෂ්මන් කිරිඇල්ල මන්තී‍්‍රතුමා පුවත්පතකට ප‍්‍රකාශ කරල තියෙන්නේ?

“මොන තරගයක්ද ? අපි දැනටමත් මේ ඡන්දේ දිනල ඉවරයි. පෙබරවාරි පහළොස් වෙනිදාට තරගෙ මොකක්ද කියල රටටම තේරෙයි. මධ්‍යස්ථ සමීක්ෂණ ආයතන කරපු සමීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයට සියයට හැටකට වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ගන්නවා කියලා.”

රටේ ජනතාවට යු.ඇන්.පී. එක එපාවෙලා තියෙන්නේ. එහෙම තියෙද්දී යු.ඇන්.පී. එකට මේ ඉලෙක්ෂන් එකෙන් නෙමෙයි ඉලෙක්ෂන් දහයක් තිබ්බත් ගොඩයන්න බැහැ.

බලන්න බිම් මට්ටමේ එජාප සාමාජිකයෝ අපේ පැත්තට එන හැටි. මෙහෙම ගියොත් තව ටික කලෙකින් යු.ඇන්.පී. එකේ ඉතුරු වෙන්නේ රනිල් මහත්තයයි එයාගේ ගෝලබාලයෝ ටිකයි විතරයි. පසුගිය සතිය වෙද්දී නුවර එජාප සාමාජිකයෝ දහස් ගණනක් අපේ පැත්තට ආවා.

හඟුªරන්කෙත ජ්‍යෙෂ්ඨ එජාප නායකයකු වන රොහාන් අබේගුණවර්ධන මහත්මය අපිත් එක්ක එකතු වුණා. මේ තාම එතන පටන් ගත්ත විතරයි ඉස්සරහට තව තව අයත් එයි.

යු.ඇන්.පී. එකට මෙහෙම වුණේ් නායකයගේ තියෙන දුර්වලකම කියලයි ඒ පක්ෂයේ ඉන්න හැම දෙනාම කියන්නේ. නායකයනට ජනහද ගැස්ම අඳුනන්න බැහැ.

ඒ හින්ද තමයි රටම යුද්දෙට උදවු කරද්දී රනිල් වික‍්‍රමසිංහ මහත්මයා යුද්දේ කඩාකප්පල් කරන්න රණවිරුවෝ අපහසුතාවට පත් කරන්න තමයි හැමදේම කෙළේ. එයාට අද මෙහෙම වෙලා තියෙන්නේ එ් නිසා. අන්තිමට යුද්දේ දිනන කොට දිනන අතට හෝයිය කියල හමුදාවට ජනාධිපතිතුමාට බොරුවට සුබපැතුවා කියල මිනිස්සු රවට්ටන්න බැහැ. ඒත් ජනාධිපතිතුමා එහෙම කෙනෙක් නෙමෙයි ජනතා හදගැස්ම තේරුම් අරගෙන වැඩකරන කෙනෙක්. ඒ හින්ද තමයි යෂුෂි අකාෂි වගේ මහත්වරුන් ජනාධිපතිතුමා ත‍්‍රස්තවාදය පරාජය කරන්න කළ අධිෂ්ඨානශීලී කි‍්‍රයාව ගැන අගය කළා.

මේ වෙලාවේ රටේම ජනතාව ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ සටන ගැන බලාගෙන ඉන්නේ කොටි ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට තව මාස කිහිපයයි තියෙන්නේ. ඒ හින්ද සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම ආණ්ඩුවත් එක්ක ඉන්නේ. ජනතාව යු.ඇන්.පී. එකත් ඒකෙ නායකයනුත් දරන මතය අනුමත කරන්නේ් නැහැ. මධ්‍යම පළාත් සභාවත්, වයඹත් යු.ඇන්.පී. එකට දිනන්න හම්බ වෙන්නේ නැහැ. ගමේ විතරක් නෙමෙයි නගරයේ ඡන්ද පදනමක් යු.ඇන්.පී. එකෙන් අතහැරිලා තියෙන්නේ. බස්නාහිර පළාත් සභාවේ ඡන්ද තිබ්බහම එයාලට කොළඹ තියෙනවයි කියලා කයිවාරු ගහන ඡන්ද පදනමට වෙනදේ බලාගන්න පුළුවන්.

පළාත් සභා මැතිවරණ එක පිට එක පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරල තියෙනවා. මේ ඡන්ද වැලේ අවසානය මහ ඡන්දයක්ද ?

ඒ ගැන මට එහෙම එක පාරටම උත්තරයක් දෙන්න බැහැ. ඡන්ද පැවැත්වීමේ අයිතිය සහ බලය තියෙන්නේ ජනාධිපතිතුමා අතේ. ඉදිරි මාසවලදී පළාත් සභා ඡන්ද, ජනාධිපතිවරණ,

මහ මැතිවරණ එන්න පුළුවන්. ඒත් නියමාකාර විදිහට නම් මහ ඡන්දේ තියෙන්න ඕනෑ තවත් මාස පහළොවකින්.

හැබැයි සන්ධානය ඕනෑම ඡන්දයකට මුහුණ දීමටත් ඕනෑම ඡන්දෙකින් ජය ගැනීමටත් හොඳ හැකියාවක් තියෙනවා.

ජනාධිපතිතුමා මේ වෙලාවේ උපරිම ජනපි‍්‍රයත්වයේ ඉන්නේ. ආණ්ඩුවේ ජනපි‍්‍රයත්වයත් අඩුවෙලා නැහැ. සාමාන්‍ය තත්ත්වය නම් ආණ්ඩුවක් බලේට ඇවිල්ල අවුරුදු තුනක් යද්දී අප‍්‍රසාදයට පත් වෙනව හැබැයි මේ ආණ්ඩුව එහෙම නෙමෙයි එන්න එන්න ජනපි‍්‍රය වෙනවා.

ඒ හින්ද මේ වෙලාවේ මහ මැතිවරණයකට ගියොත් අපිට අමාරුවක් නැතුව ආසන එකසිය විසිපහක් තිහක් ගන්න පුළුවන්.

උතුරු කරය නිදහස් කර ගැනීමේ මානුෂීය මෙහෙයුම මේ වන විට සාර්ථක අවසානයකට ඇවිල්ල තියෙනවා ඒත් මේ දක්වා දෙමළ ජනතාවට දියයුතු දේශපාලන විසඳුමක් ගැන ආණ්ඩුවේ අවසානය යොමුකරලා නැහැ ?

මානුෂීය මෙහෙයුම්වල ජයග‍්‍රාහී අවසානය දැන් ආරම්භ වෙලා තියෙනවා. ඉතාමත් මෑතකදී අපිට කොටි සංවිධානයේ පාලනයේ තියෙන අන්තිම බිම් තීරයත් අපිට දිනාගන්න පුළුවන්. එහෙම යුද ජයග‍්‍රහණය ලබා ගන්නව කියලා ආණ්ඩුව දේශපාලන විසැඳුමක් ලබාදීම අමතක කරලා නැහැ.

ආණ්ඩුව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දේශපාලන ස්ථාවරයත්වයක් අපි ඇති කරගෙන තියෙන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම දෙමළ ජනතාවට සාධාරණ දේශපාලන විසැඳුමක් දෙනවා. එහෙම නැතිව ස්ථිරසාර සාමයක් රටේ ඇති කරන්න අපහසුයි කියල ආණ්ඩුව තීරණය කර තියෙනවා.ජනාධිපතිතුමා උත්සහ කරන්නේ සාධාරණ දේශපාලන විසැඳුමක් මගින් සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය ඇති කිරීමටයි.

දෙමළ ජනතාවට ලබාදෙන දේශපාලන විසැඳුමට අපි පුළුල් ජනසභාගීත්වයක් ඇති කිරීමට කටයුතු කර තියෙනවා. ඒකට තමයි අපි සර්ව පාක්ෂික සමුළුව ආරම්භ කර තියෙන්නේ. මේ සමුළුවට සියලු දේශපාලන පක්ෂ වල සහයෝගය සහ සහභාගීත්වය අවශ්‍ය කරනවා.

ජනාධිපතිතුමා හෝ අපි දේශපාලන විසැඳුමක් ලබාදෙන එක අඩාල වෙන්න ඉඩ දෙන්නේ නැහැ.

යුද්ධය ජය ගැනීමෙන් පසු දේශපාලන විසඳුමක් සඳහා නායකත්වය දෙන්න අපේ ආණ්ඩුව සූදානමින් ඉන්නේ.

දැන් කි‍්‍රයාත්මක වෙන පළාත් සභාවලට වත් හිමිවෙලා තියෙන බලතල දෙන්නෙ නැතිව අලුත් දේශපාලන විසඳුමක් දෙන්නෙ කොහොමද ?

එහෙම දෙයක් නැහැ. අපි පළාත් සභාවලට ලැබෙන්න ඕනෑ බලතල විශාල ප‍්‍රමාණයක් ලැබිල තියෙන්නෙ. මේ බලතල පුළුල් විදිහට ලබාදීම ගැනයි අපි ඉදිරියේදී සාකච්ඡා කළ යුත්තෙ. ඒ ගැන කිසිම සැකයක් තියා ගන්න ඕනේ නැහැ.

අපි අනිවාර්යෙන්ම සුදුසුම දේශපාලන විසඳුම ඉදිරියේදී දෙනව.

මම හිතන විදිහට දහතුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීමක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

වන්නියේ මුදා නොගත් ප‍්‍රදේශවලට නිසි පරිදි බෙහෙත් නොලැබී යාම නිසා රෝගීන්ගේ ජීවිත අනතුරට පත්ව තිබෙන බවට විදේශ ජනමාධ්‍ය ආයතන සඳහන් කරනව. මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද ?

මුලතිව්. කිලිනොච්චි දිස්ති‍්‍රත්කවලට අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය අපි එදා ඉඳන්ම යැව්ව. ත‍්‍රස්තවාදී තර්ජන ගර්ජන තිබුණ කියල අපේ මානුෂිය සේවා නැවැත්වූවේ නැහැ. ඒත් එදා ඉඳන් වුණෙ අපි කොළඹින් යවන බෙහෙත් කොටි ත‍්‍රස්තවාදීන් පැහැර ගත්ත. අහිංසක දෙමළ මිනිස්සුන්ට බෙහෙත් ලැබුණෙ නැහැ. හැබැයි ඔබ සඳහන් කළ මාධ්‍ය ආයතන මේ ගැන කතා කරන්නෙ නැහැ.

උතුරේ රෝහල් වලට ඕනෑ කරන වෛද්‍යවරු හෙදියො සාත්තු සේවකයො රජයෙන් පත් කරල තියෙනව. එයාලට අවශ්‍ය සියලු වැටුප් දීමනා ලබා දෙන්නෙ රජයෙන්. මේ අය වැඩ කරන්නෙ හමුදා ප‍්‍රදේශවලද කොටි පාලන ප‍්‍රදේශවලද කියල අපි බැලුවේ නැහැ. මේ ගැන අපි බලන්නෙ ඉතාමත් මානුෂික පදනමකින්. කොතැන හිටියත් අපි අසරණ රෝගීන්ගේ පිහිට සරණ වෙනුවෙන් කටයුතු කරන්නෙ.

සමහර විට උතුරේ එල්. ටී. ටී. ඊ. ප‍්‍රදේශවල කොටුවෙලා තියෙන රෝහල්වල බෙහෙත් කොටි සංවිධානය පැහැර ගන්නව ඇති.

රජය උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල රෝහල් අධීක්ෂණය කරන්න සෞඛ්‍ය අමාත්‍යාශයේ ලේකම්වරයා සහ හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වී. ජෙගනාදන් මහත්මයව පත් කරල තියෙනව. එම ප‍්‍රදේශවල රෝහල් අඩු පාඩු මේ අය විසින් අධීක්ෂණය කරනු ලබනවා.

අපේ රට හැට එක්වන නිදහස් උළෙල සමරණ මේ මොහොතේ රටේ අනාගතය ගැන ඔබේ අදහස මොනවගේද ?

අපේ රටට දැන් තමයි නියම නිදහස ලැබිල තියෙන්නෙ. දේශීයත්වයට මග පෙන්වන්න පුළුවන් ගමේ නායකයෙක් රටේ ජනාධිපතිවරයා බවට පත් වෙලා තියෙනව. මේදේ පමණක් වුනත් ඇති නිදහස ගැන සන්තෝෂ වෙන්න.

අද වෙද්දි රටේ ආර්ථික සමාජීය දේශපාලන නවෝදයක් ඇතිවෙලා තියෙනව.

මේ නිදහස් සමරුවත් එක්ක රටේ අලුත් පිබිදීමක් ඇති වෙලා තියෙනව. ත‍්‍රස්තවාදය පරාජය කිරීමත් එක්ක ජනතාව තුළත් විශාල බලාපොරොත්තු ඇති වෙලා තියෙනව. අපි සියලු දෙනා එකතු වෙලා මේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න පෙළ ගැහෙන්න ඕනෑ.

දේශපාලන මතිමතාන්තර මේ වෙලාවෙ අමතක කිරීම තමයි පළමුවෙන්ම කරන්න ඕනෑ. ඒකට සුදුසු දේශපාලන වාතාවරණය දැනටමත් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ගොනුවෙලා තියෙනව.

ඉදිරියේදී මේ සම්බන්ධය තවදුරටත් තහවුරු වේවි. දේශපෙ‍්‍ර්මී සියලු බලවේග දැන් කරන්න ඕනෑ රට ගොඩනැගීමේ අරමුණෙන් එකට එකතු වීමයි. එහෙම නැතිව පටු පරමාර්ථ වලින් වැඩ කරන්න හොඳ නැහැ.

නිදහස් සමරු උත්සව සඳහා රජය විශාල මුදලක් වියදම් කරනව. මේක අනවශ්‍ය වියදමක් කියල විපක්ෂය චෝදනා කරනව ?

මේ වියදම අනවශ්‍ය වියදමක් කියල කියන්නෙ විපක්ෂයේ හැම දේටම විරුද්ධ වෙන කිහිප දෙනෙකු පමණයි එහෙම නැතිව රටේ බහුතරය එහෙම කියන්නෙ නැහැ.

යුද්ධය ජයග‍්‍රාහීව අවසන් වෙන මේ මොහොතේ අපි අන්තර්ජාතිකයට පණිවිඩයක් දිය යුතුයි අපිට නැවත නැගී සිටින්න පුළුවන් රටේ දැන් දේශපාලන ස්ථාවරභාවයක් තියෙනව කියල.

එතකොට තමයි විදේශීය ආයෝජකයො වුණත් රටට එන්නෙ ජනතාවට වුනත් රට ගැන හැඟීමක් ඇති වෙන්න මේ විදිහට කටයුතු කළ යුතුයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා