මාතලෙන් හා පුත්තලමෙන් එජනිසට දැවැන්ත ජයක්

මාතලෙන් හා පුත්තලමෙන් එජනිසට දැවැන්ත ජයක්

ස්වාධීන විද්වත් සමීක්ෂණයකින් හෙළි වේ

මාතලේ හා පුත්තලම දිස්ති‍්‍රක් පාදක කැර ගනිමින් සිදුකරන ලද ස්වාධීන සමීක්ෂණ වාර්තාවක් අනුව මධ්‍යම හා වයඹ පළාත්සභා ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට නියත ජයක් හිමිවන බව ප‍්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ සිසුන් එක්ව සිදුකැර ඇති මේ සමීක්ෂණ වාර්තාව අනුව මාතලේ දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සියයට හැට නවයක ඡන්ද ප‍්‍රතිශතයක්ද පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් සියයට හැට හයයි දශම එකක්ද (66.1%) හිමිවන බව ඇමැතිවරයා පැවැසීය.

එම සමීක්ෂණ වාර්තාව අනුව එක්සත් ජාතික පක්ෂයට මාතලේ දිස්ති‍්‍රක්කයෙන් 25.33% ඡන්ද ප‍්‍රතිශතයක් හිමිවන අතර පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් 24.5% ක ඡන්ද ප‍්‍රතිශතයක් එජාපයට හිමිවන බවත් ඇමැතිවරයා පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණට මාතලේ දිස්ති‍්‍රක්කයෙන් 2.49% ක ඡන්ද ප‍්‍රතිශතයක්ද පුත්තලමෙන් 1.7% ඡන්ද ප‍්‍රතිශතයක්ද හිමිවන බවත් හෙතෙම පැවැසීය.

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කෙළේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය මඟින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අලහප්පෙරුම මහතා සඳහන් කළේ මේ සමීක්ෂණය පවත්වන අතරතුරදීත් කවර පක්ෂයකට සිය ඡන්දය ප‍්‍රකාශ කරන්නේද යන්න තීරණය කර නොමැති පිරිසක්ද සිටින බවයි.

මධ්‍යම හා වයඹ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට පෙර 12 – 13 යන දෙදින අතරතුරදීත් මේ සමීක්ෂණය නැවත පැවැත්වීමට තීරණය කැර ඇති අතර උතුරුමැද සහ සබරගමුව ආශ‍්‍රිතවත් මෙවැනිම සමීක්ෂණයක් පැවැත් වූ බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

එම සමීක්ෂණය මගින්ද ඉදිරිපත් වූ දත්ත මෙන්ම මැතිවරණයේ ප‍්‍රතිඵල සමාන වූ බවත් හෙතෙම පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා