හත්වැනි කොටි ගුවන් පථයත් පුදුකුඩුඉරිප්පුවෙන් සොයා ගැනේ

හත්වැනි කොටි ගුවන් පථයත් පුදුකුඩුඉරිප්පුවෙන් සොයා ගැනේ

පුදුකුඩුඉරුප්පු තිරිමිනාද ප‍්‍රදේශයේ ඝන කැලෑවක පිහිටුවා තිබූ කොටින් ගේ හත්වැනි ගුවන් පථය 58 වැනි සේනාංකය විසින් පෙරේදා (2) සවස අත්පත් කර ගන්නා ලදී. එය දිගින් කිලෝමීටර් දෙකක් වන අතර මීටර් 350 ක ප‍්‍රමාණයක් දක්වා තාර දමා සකස් කර තිබේ.

එය පළලින් මීටර් 50 ක් බව ද යුද හමුදාව පවසයි. එහි ගුවන් යානා රඳවනයක් ද තිබී ඇත.

පුදුකුඩුඉරුප්පු පිරිමනාථකුලම් ඊසාන ප‍්‍රදේශයේ සුන්දරම් හි තිරිමිනාද ප‍්‍රදේශයේ වනයක සකස්කර තිබී ඇත.

ත‍්‍රස්තවාදීන්ගේ පළමු ගුවන් පථය පසුගිය වසරේ සැප්තැම්බර් නව වැනිදා මාන්කුලමෙන් සොයා ගැනිණි. එය 57 වැනි සේනාංකය අත්පත්කර ගත්තේ ය.

දෙවැන්න 58 සේනාංකය විසින් පුනරින් පරන්තන් අතර නිවිල්හි දී ඉකුත් වසරේ නොවැම්බර් 20දා සොයා ගන්නා ලදී. එම 23 දා තුන්වැනි කාර්ය සේනාංකය අම්පකාමම් ප‍්‍රදේශයෙන් තෙවැනි ගුවන් පථය සොයා ගත්තේ ය.

සිවුවැන්න මුලතිව් බටහිර ප‍්‍රදේශයේ කළපුව ආසන්නයේ තිබී මේ වසරේ ජනවාරි 9 දා 59 වැනි සේනාංක භට පිරිස් සොයා ගත්හ.

ඉරණමඩු ධර්මපුරම් ප‍්‍රදේශයේ තිබූ පස් වැනි කොටි ගුවන් පථය තෙවන කාර්ය සේනාංකය විසින් සොයා ගනු ලැබුවේ ජනවාරි 15 දාය.

57 සේනාංකය විසින් එම 16 දා හයවැනි ගුවන් පථය සොයා ගනු ලැබුවේ ද ඉරණමඩු ප‍්‍රදේශයෙනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා