විශ්වමඩු - උතුරේ අසුන්දර ජවනිකාව

විශ්වමඩු - උතුරේ අසුන්දර ජවනිකාව

ගෙවී ගිය නවම් පොහොය ඉතිහාසයට එක්වන්නේ පිරිබාහරන් නමැති දාමරිකයා විසින් සටහන් කරන ලද කුණු ලේ පැල්ලමක් ද සමඟ ය. ඔහු ඒ සඳහා විශ්වමඩු උතුරු ප‍්‍රදේශය තෝරාගෙන තිබිණි. මේ වන විට යුද කලාපය වෙතින් විසි දහසකට අධික පිරිසක් නිදහස් භූමිය වෙත පැමිණ සිටිති.

කොටින් ගේ කලාපයෙන් මිදී ආරක්ෂිත ප‍්‍රදේශ කරා ඇදෙන මිනිසුන් ගේ ගණන ද ශීඝ‍්‍රයෙන් ඉහළට ගමන් කරමින් තිබේ. පිරිබාහරන් ඉන් කනස්සල්ලට පත්වන්නට ඇත. නිදහස් භූමිය වෙත එන පිරිස අතරට මරාගෙන – මැරෙන කොටි ගැහැනියක් එක් කරන්නේ දෙමළ ජනතාව භීතියට පත් කිරීමට විය යුතු ය. පිපිරීමෙන් සෙබළ - සෙබළියෝ විසි දෙනෙක් මරුමුවට පත් වූහ. කුඩා දරුවකු ද ඇතුළු ව සිවිල් ජනයා අට දෙනෙක් පරලොව ගියහ.

යන්තමින් බහ තෝරන දරුවකු ගේ සිරුරට බෝම්බයක් සවිකොට ඒ බෝම්බය දුරස්ථ – පාලකයකින් පුපුරුවා හැරීමට සමත් විමුක්තිදායකයා කවරෙක් ද? විප්ලවවාදියා කවරෙක් ද? ලොව කොතැනක හෝ එබඳු ම්ලේච්ඡ මිනීමරුවකු වෙත් ද? ඒ වේළුපිල්ලේ පිරිබාහරන් ම විය යුතුය. අල්කයිඩා සංවිධානය තම වර්ගයා ඝාතනය කරන්නේ නැත.

තලෙයිබාන් සංවිධානය ද තම වර්ගයා මරා දමන්නේ නැත. ඒ සංවිධානවලට කිසියම් දේශපාලන ආධ්‍යාශයක් තිබේ. එහෙත් කිසිදු දේශපාලන හැදෑරීමක් නැති රස්තියාදුකාර දාමරිකයකු වන පිරිබාහරන්ට දේශපාලන ශික්ෂණයක් හෝ මානුෂික හැඟීමක් හෝ නැත. ගරිල්ලා යන වචනය ද කොටි සංවිධානය සඳහා ගැළපෙන්නක් නො වේ.

පිරිබාහරන්ට ගරිල්ලා නායක පදවිය ලබාදෙන්නේ නම්; අර්නස්ට් චේ ගොවේරා නම් අන්තර්ජාතිකවාදියා ගරිල්ලා නායකයකු විය නො හැකි ය. ඔහුට ඉතිහාසය විසින් ලබාදෙන ලද ගරිල්ලා නායක යන යෙදුම වහා ඉල්ලා අස්කර ගත යුතු ය. පිරිබාහරන් හා චේ ගොවේරා කිසිකලෙකත් සමාන නැති බැවිනි. ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයා ගේ එක ම නියෝජිතයා යැයි කියාගන්නා පිරිබාහරන් වැඩි ම හානිය සිදුකර ඇත්තේ ද දෙමළ ජනයාට ම ය.

දොරේඅප්පා ගේ සිට අමිර්තලිංගම් දක්වා ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලකයන් ඔහු විසින් මරා දැමිණි. නීලන් තිරුචෙල්වම් ගේ සිට ලක්ෂ්මන් කදිර්ගාමර් දක්වා අන්තර්ජාතික දේශපාලනයෙහි කැපී පෙනුණු දෙමළ දේශපාලන චරිත ඔහු විසින් විනාශ කරන ලදී. දැන් ඔහු අහිංසක දෙමළ ජනතාව ගේ ද බෙල්ල මිරිකන්නට පටන්ගෙන තිබේ.

වේළුපිල්ලේ පිරිබාහරන් යනු රස්තියාදුකාර දාමරිකයකු මිස දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයෙක් නො වේ. එහෙත් ශ‍්‍රී ලංකාවේ ඇතැම් දෙමළ පත්තරවලට ද තමිල්නාඩුවේ සමහරක් දෙමළ පත්තරවලට ද ඔහු කි‍්‍රෂ්ණ දෙවිඳු ලෙස පෙන්වාදීමේ වුවමනාවක් තිබේ. බටහිර ජනමාධ්‍යවලින් කිහිපයක් ද මේ මිනීමරුවාට සුදුහුනු පිරියම් කරන බවක් පෙනෙන්නට තිබේ.

රාජ්‍ය නො වන සංවිධාන මත යැපෙන මාධ්‍යකරුවන් ද ඔහු වෙනුවෙන් කඩේ යන බවක් පෙනෙන්නට තිබේ. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පොහොය දා සිද්ධිය හෙළා දැක්කේ ය. අමෙරිකාව මෙන් ම ඉන්දියාව ද මේ මිලේච්ඡ කි‍්‍රයාව දැඩි ලෙස හෙළා දැක තිබේ. දකුණු අප‍්‍රිකාව, කැනඩාව, නෝර්වේ, ස්විස්ටර්ලන්තය, මහා බි‍්‍රතාන්‍යය යන රටවල් ද ඉහත තත්ත්වය වටහාගන්නේ නම් මැනැවි.

පිරිබාහරන් විසින් සිදු කරනු ලබන වර්ගයා නැසීමේ කි‍්‍රයාවලිය ගැන හිලරි ක්ලින්ටන් නෝනා පෞද්ගලික මතයක් ප‍්‍රකාශ කරන්නේ නම් අපි අගය කරමු. මහා බි‍්‍රතාන්‍යයේ විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් මහතාට ද ඒ ගැන යමක් කියන්නැ'යි අපි ගෞරවයෙන් ආරාධනය කරමු. අන්තර්ජාතික රතු කුරුස සංවිධානයේ ප‍්‍රධානී පෝල් කැස්ටෙ‍්‍රා්ල් මහතා පිරිබාහරන් ගේ තත්ත්වය තේරුම් ගත යුතු යැයි අපි ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමු.

ද්‍රවිඩ සන්ධානයේ සිවාජිලිංගම්ලා, ආර්. සම්බන්ධන්ලා දැන් නිහඬ ය. ඒ ගැන පුදුම විය යුතු නැත. කොටි හඬ දුර්වල වෙත් ම දෙමළ සන්ධානයේ දේශපාලන කෝලාහලය ද අවසන් වනු ඇත. තමිල්නාඩුවේ සිදුවන දෑ ගැන කිසිවක් කිව නො හැකි ය. අපට අදාළ වන්නේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ තීන්දු තීරණ නිසා ය.

ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ප‍්‍රණාබ් මුඛර්ජි මහතා දින කිහිපයකට පෙර ඉතා වැදගත් අදහසක් ප‍්‍රකාශ කෙළේ ය. ඉන් උපුටාගත් කොටසක් මෙසේ ය.'කොටි සංවිධානය ගැන කිසිදු කැක්කුමක් අපට නැත. ඉන්දියාව කොටි සංවිධානය තහනම් ලැයිස්තුවට දමා තිබේ. ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් ද එල්. ටී. ටී. ඊ. සංවිධානය තහනම් කර තිබේ.

අපට ත‍්‍රස්තවාදීන් සමඟ ගනුදෙනුවක් නැත. අප වසරක් පාසා ඉල්ලා සිටින්නේ පිරිබාහරන් ජීවග‍්‍රහයෙන් ගෙන ඉන්දියාවට බාරදෙන ලෙස ය. 'කිසිවකුට ඉන්දියාව ගැන සැකයක් ඇතොත් ඒ සැකය දුරුකරගැනීමට ඉහත ප‍්‍රකාශය හොඳට ම ප‍්‍රමාණවත් ය. මුඛර්ජි මහතා කියන ලෙස පිරිබාහරන් ඉන්දියාවට බාරදීමට හැකිවේ දැ'යි ස්ථිරව ම කිව නො හැකි ය. එහෙත් ඔහුගේ ජීවිත ඉරණම තීන්දු කිරීමේ කාලය නම් ළඟාවෙමින් තිබේ.

දකුණේ සිංහල සමාජය දැන් පිරිබාහරන් හඳුන්වන්නේ බංකර් තම්බි නමින් ය. ඔහු සැඟව සිටි භූගත බංකර්වල තිබී සොයාගත් ආම්පන්නවලින් පෙනීයන්නේ පිරිබාහරන් අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව ය. 'කාට‍්‍රස්' වර්ගයේ මිල අධික බ‍්‍රැණ්ඩි, මාර්ක් ස්පෙන්සර් වර්ගයේ මිල අධික කමිස, වායුසමීකරණයෙන් යුතු ආරක්ෂිත නිවාස, සැප පහසු ජීප් රථ හා තවත් බොහෝ දෑ පිරිබාහරන්ගේ භූ-ගත බංකර්වලින් සොයාගෙන තිබේ.

අහිංසක දෙමළ ජනයා ආණ්ඩුවේ ආහාර මල්ල එනතුරු හූල්ලමින් බලා සිටින අතර ඔවුන්ගේ එක ම නියෝජිතයා හා ඔහු ගේ සගයන් ගෙවනුයේ අධි - සුඛෝපභෝගී ජීවිත ය. මින් අවධාරණය කළ යුතු එක ම කාරණයක් තිබේ. එනම්; පිරිබාහරන් නම් රස්තියාදුකාර දාමරිකයා විනාශ කරනතුරු ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවට නිදහසක් උදා නො වන බව ය. ඒ දිනය ළඟදී ම උදාවේවා!

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා