විස්සයි – 20 ලෝක සූරයන්ගේ අභිමානය පතාන් සොහොයුරෝ ඉන්දියාවට රැක දෙති

විස්සයි – 20 ලෝක සූරයන්ගේ අභිමානය
පතාන් සොහොයුරෝ ඉන්දියාවට රැක දෙති

ශී‍්‍ර ලංකා දඟ පන්දු බළඇණිය එල්ල කර තිබූ ප‍්‍රබල පීඩනයෙන් මිදී තරගය ජයග‍්‍රහණය කරාගෙන ගිය පතාන් සොහොයුරෝ ඕවර් විස්සයි – 20 ලෝක සූරයන්ගේ අභිමානය තව දුරටත් රැක ගත්හ.

කොළඹ ආර්. පෙ‍්‍ර්මදාස කී‍්‍රඩාංගණයේ ඊයේ විදුලි ආලෝකය මැද පැවැති ඕවර් විස්සයි – 20 තරගයේ ජය කඩුලු 3 කින් ඉන්දියාව සතු විය. ශී‍්‍ර ලංකාව කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දී ලකුණු 171 ක් රැස් කළ අතර ඉන්දියාව ජයග‍්‍රාහී ඉලක්කය ඕවර 19.2 කදී පසු කෙළේ ය.

ඉන්දීය ජය මාවතේ පෙර ගමන් කරුවන් වූ ඉර්ෆාන් පතාන් පන්දු 16 කදී හතරේ පහර 2 ක් හා හයේ පහර 2 ක් ද සමග නොදැවී ලකුණු 33 ක් ලබාගත් අතර යුසුප් පතාන් පන්දු 10 කදී හතරේ පහරක් හා හයේ පහර 2 ක් සමඟ නොදැවී ලකුණු 22 ක් ලබා ගත්තේ ය.

ඉන්දීය ඉනිමේ කැපී පෙනෙන පිතිහරඹයක් පෙන්වූ යුවරාජ් සිංගේ දැවී යාමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා දඟ පන්දු යවන්නන්ගේ පීඩනය දැඩි ලෙස ඉන්දියාවට එල්ල විය.

යුවරාජ් ගේ කඩුල්ල ජෙහාන් මුබාරක් 15 වැනි ඕවරයේ දී ලබා ගත් අතර එවිට ඉන්දියාව කඩුලු 3 කට ලකුණු 81 ක් ලබා තිබුණි.

යුවරාජ් පන්දු 21 කදී හතරේ පහර 3 ක් හා හයේ පහර 2 ක් සමග ලකුණු 35 ක් ලබා ගත්තේ ය. අනතුරුව රෙයිනා, දෝනි, හා ජඩේජා පිළිවෙළින් දැවී ගියේ මාලිංග බණ්ඩාර එවු පන්දු හමුවේ අසරණ වෙමිනි. ජයසූරියගේ පන්දුවකට මුබාරක් අතට උඩ පන්දුවක් දී රෝහිත් ෂර්මා ලකුණු 4 කට දැවී ගියේ ය.

ඉන්දීය ඉනිමේ දහ වැනි ඕවරය යැවූ මාලිංග බණ්ඩාරගේ පන්දුවකට රෙයිනා ලබාදුන් උඩ පන්දුව කඩුලු රකින කී‍්‍රඩක ඩිල්ෂාන් අතින් ගිලිහී යෑම තීරණාත්මක සාධකයක් විය. ඔහු ඊළඟ පන්දුවට මිඩ් විකට් හරහා දැවැන්ත හයක් එල්ල කෙළේ ය.

සනත් ජයසූරිය පන්දු යැවීම ආරම්භ කෙළේ ඉන්දීය ඉනිමේ එකොළොස් වැනි ඕවරයේ දීය. සනත් ඕවර් 3 ක් යවා ලකුණු 10 ක් ලබා දී එක් කඩුල්ලක් බිඳ හෙලීමට සමත් විය.

අවසන් ඕවර් දෙකේදී ලකණු 18 ක් ලබාගත යුතු අවස්ථාවකට තරගය එළැඹෙද්දී දිල්හාර ප‍්‍රනාන්දු යැවූ 19 වැනි ඕවරයට ලකුණු 14 ක් ලබා ගැනීමට පතාන් සොහොයුරෝ සමත් වූහ. ඉර්ෆාන් පතාන් මිඩ්විකට් හරහා චවැන්ත හයක් එල්ල කළ අතර එය ඉන්දියාවට ප‍්‍රබල අස්වැසිල්ලක් විය.

අවසන් ඕවරයේ ලකුණු 5 ක් ලබාගත යුතුව තිබූ අතර ලසිත් මාලිංග ගේ ප‍්‍රථම පන්දු දෙකේදී එම ඉලක්කය පසු විය.

පතාන් සොහොයුරෝ පන්දු 25 කදී ලකුණු 52 ක් ලැබීම මේ තරගයේ කැපී පෙනෙන සිදුවීම විය.

ශී‍්‍ර ලංකා ඉනිමේ ප‍්‍රථම ඕවරයේදීම ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් යූෂුප් පතාන් වෙත පහසු උඩපන්දුවක් ලබාදුන්නද එය රැකගැනීමට අපොහොසත්වීමේ ප‍්‍රතිවිපාකය දරුණු එකක් විය.

ඩිල්ෂාන් ඉන්පසුව දිගට හරහට පහරපිට පහර එල්ල කෙළේය. පලපුරුදු පිතිකරු සනත් ජයසූරියද හතර වටේට පහර පිට පහර එල්ල කිරීම ශී‍්‍ර ලංකාවට ප‍්‍රබල ආරම්භයක් විය. ඕවර් 4.5ක් ගතවෙද්දී ශී‍්‍ර ලංකා පිලට ලකුණු 50ක් එක්විය.

ශී‍්‍ර ලංකා ඉනිමේ ප‍්‍රථම කඩුල්ල ලෙස සනත් ජයසූරිය දැවීගියේය. පන්දු 17කදී හතරේ පහර 3ක් හා අලංකාර හයේ පහර 2ක් සමඟ සනත් ලකුණු 33ක් ලබා ගත්තේය.

ඔහු කඩුල්ලේ රැදී සිටි මිනිත්තු 28ක කාලය ශී‍්‍ර ලංකා පේ‍්‍රක්‍ෂකයන් අමන්දානන්දයට පත්කිරීමට තරම් ආශ්වාදජනක එකක් විය. සනත් එල්ල කළ පහරකින් ලැබුණු අපහසු උඩපන්දුව ඉෂාන් ෂර්මා රැකගැනීම ශී‍්‍ර ලංකා පිලේ වේගවත් ලකුණු රටාවට යම් බාධාවක් එල්ල කෙළේය. සනත් දැවීයද්දී ශී‍්‍ර ලංකා ඉනිමට ලකුණු 59ක් එක්ව තිබුණි.

ඩිල්ෂාන් සමඟ එක්වූ ජෙහාන් මුබරක් පන්දු 19කදී ලකුණු 19ක් ශී‍්‍ර ලංකා ඉනිමට එක් කෙළේය. ශී‍්‍ර ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලකුණු 87දී බිදවැටුණි. චාමර කපුගෙදර වේගයෙන් ලකුණු රැස්කිරීමට උත්සහ ගනිමින් සිටියදී ෂෙවාග් වෙත උඩපන්දුවක් දී දැවී ගියේය.

ඔහු ලකුණු 16ක් ලබාගත්තේ පන්දු 9කදී හතරේ පහර 3ක් එල්ල කරමිණි. ශී‍්‍ර ලංකා තුන්වැනි කඩුල්ල ලකුණු 109දී බිද වැටුණි. ඩිල්ෂාන් සමඟ චාමර සිල්වා එක්වූ අතර ශී‍්‍ර ලංකා ඉනිම ලකුණු 152ක්ව තිබියදී ඩිල්ෂාන් ලකුණු 61 කට දැවීගියේය. පන්දු 47කදී හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් ඩිල්ෂාන් එල්ල කෙළේය.

චාමර සිල්වා ලකුණු 21ක් හා කෞෂල්‍ය වීරරත්න ලකුණු 10ක් ලබා නොදැවී සිටියහ.

ශී‍්‍ර ලංකා ඉනිමේ ලකුණු සියය ඕවර් 13 කදී වාර්තාවූ අතර 150 වැනි ලකුණ ඕවර 16.5 කදී වාර්තා විය. ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට අවසන් ඕවරය යැවූ ඉෂාන් ෂර්මා දක්‍ෂ ලෙස පන්දු යවා ප‍්‍රබල පීඩනයක් එල්ල කිරීම කැපී පෙනුණි. එම ඕවරයේදී ශී‍්‍ර ලංකාවට එකතුවූයේ ලකුණු 4ක් පමණි.

මේ තරගයේදී ඉන්දියාවේ රවින්ද්‍ර ජඩේජා හා ශී‍්‍ර ලංකාවේ ඉන්දික ද සේරම් ඕවර් 20යි විස්ස අන්තර් ජාතික කි‍්‍රකට් වරම් හිමිකර ගත්හ.

තරගයේ වීරයා සම්මානය යුසුප් පතාන්ට හිමි විය.

ශ‍්‍රී ලංකාව
ටී. එම්. ඩිල්ෂාන් ඇ. රෙයිනා ප. ඉෂාන් ෂර්මා 	61
එස්. ජයසූරිය ඇ. ඉෂාන් ෂර්මා . ඉර්ෆාන් පතන් 	33
ජේ. මුබාරක් ඇ. සහ ප. යුෂුප් පතන් 		13
සී. කපුගෙදර ඇ. ෂෙවාග් ප. යුෂුප් පතන් 		16
සී. සිල්වා නොදැවී 				21
කේ. වීරරත්න නොදැවී 			10
අතිරේක 					17
එකතුව (කඩුලු 4 කට ඕවර් 20 තුළදී) 		171

කඩුලු බිඳ වැටීම: 1 – 59, 2 – 87, 3 – 107, 4 - 152
පන්දු යැවීම: සහීර් 4 – 0 – 34 – 0, ෂර්මා 4 – 0 – 40 – 1, ඉර්ෆන් පතාන් 4 – 0 – 34 – 1, 
යුෂුප් පතාන් 4 – 0 – 23 – 2, ජඩේජා 4 – 0 – 29 - 0

ඉන්දියාව

ජී. ගාම්බීර් ඇ. වීරරත්න ප. තුෂාර 		13
වී. ෂෙවාග් දුවද්දී දැවී ගියා (කපුගෙදර) 		01
එස්. රෙයිනා ඇ. සේරම් ප. බණ්ඩාර 		35
වයි. සිං ඇ. ඩිල්ෂාන් ප. මුබාරක් 		32
එම්. එස්. දෝනි ප. බණ්ඩාර 			13
ආර්. ෂර්මා ඇ. මුබාරක් ප. ජයසූරිය 		04
ආර්. ජඩේජා ප. බණ්ඩාර 			05
වයි. කේ. පතාන් නොදැවී 			22
අයි. කේ. පතාන් නොදැවී 			33
අතිරේක 					16
එකතුව (කඩුලු 7 කට ඕවර් 19.2 කදී) 		174

කඩුලු බිඳ වැටීම: 1 – 14, 2 – 14, 3 – 81, 4 – 99, 5 – 108, 6 – 110, 7 - 115
පන්දු යැවීම: මාලිංග 3.2 – 0 - 38 – 0, තුෂාර 3 – 0 – 27 – 1, ප‍්‍රනාන්දු 4 – 0 – 44 – 0, 
වීරරත්න 1 – 0 – 12 – 0, මුබාරක් 1 – 0 – 9 – 1, බණ්ඩාර 4 – 0 – 32 – 3, ජයසූරිය 3 – 0 – 10 - 1
 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා