කොටි පිම්බුවේ එජාපයයි මහනුවර 8000 ක මුස්ලිම් ප‍්‍රජාවක් සන්ධානයට ආවා

කොටි පිම්බුවේ එජාපයයි මහනුවර 8000 ක මුස්ලිම් ප‍්‍රජාවක්
සන්ධානයට ආවා

ෆයිසර් මුස්තාපා
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය

මධ්‍යම පළාත යනු සිංහල, දෙමළ හා මුස්ලිම් ජනකොටස් ති‍්‍රත්වයම ජීවත්වන ප‍්‍රදේශයකි. මෙහි සුළු ජාතික ඡන්ද ප‍්‍රමාණය දේශපාලන පක්ෂයක ජයග‍්‍රහණය හෝ පරාජය තීරණය කිරීමට බෙහෙවින් බලපාන බව පසුගිය මැතිවරණ ප‍්‍රතිඵල නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වෙයි. බොහෝ විට එජාපයට වැඩි නැඹුරුතාවක් දක්වන සුළු ජාතිකයන් මෙවර එම තත්ත්වය වෙනසකට ලක්කර ඇති බව පෙනෙන්නට තිබේ. පසුගියදා 8000 ක පමණ ඓතිහාසික මුස්ලිම් ජන සංඛ්‍යාවක් මහනුවර ජනපති මන්දිරයට කැඳවාගෙන ඒමට සමත් වූ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙවර මධ්‍යම පළාත් සභා ඡන්දය පිළිබඳ දක්වන අදහස් මෙසේයි.

මධ්‍යම පළාත සාමාන්‍යයෙන් කවුරුත් හඳුන්වන්නේ එජාප බලකොටුවක් ලෙසයි. අති විශාල සුළු ජාතික ඡන්ද ප‍්‍රමාණයක් මේ පළාතේ පවතින අතර ඉන් බහුතරය මෙතෙක් හිමිවුණේ එජාපයටයි. එය ඔවුන්ගේ ජයග‍්‍රහණ සඳහා බෙහෙවින් බලපෑවා. මෙවර එම තත්ත්වය වෙනස්වීමට ඉඩක් තිබෙනවාද ?

පසුගිය ජනාධිපතිවරණය පවත්වන අවස්ථාව වන විට ඔබ පැවැසූ ආකාරයට මධ්‍යම පළාතේ සුළු ජාතික ඡන්ද පදනම පැවැතියේ එජාපටයි. ඒත් අද ඒ සියල්ල වෙනස් වෙලා. ඒ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වූ අවස්ථාවේ සිට පැවැත් වූ මැතිවරණවල ප‍්‍රතිඵල සැලැකීමේදී එජාපයේ පිරිහීමක් අපට පැහැදිලිව පෙනෙනවා.

මහනුවර දිස්ති‍්‍රක්කයේ පමණක් මුස්ලිම් ඡන්ද 160000 ක් තිබෙනවා. මින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයට ලැබුණේ හැමදාම ඡන්ද 25000 ක් විතර ප‍්‍රමාණයක්. එජාපය හැමදාම හිතුවා ඔවුන් ගේ මේ ඡන්ද පදනම ඒ ආකාරයට තිබේවී කියලා.

අද එය ඔවුන් ගේ මිථ්‍යාවක් පමණයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙස ජනාධිපතිවරණයට පෙර මේ රටේ සුළු ජනතාව බැලුවේ එතුමා සිංහල ජාතිකයන්ගේ නායකයා කියන හැඟීමෙනුයි.

අද ඒ සියල්ල වෙනස් වෙලා. රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීම සඳහා අවංකව කැපවෙමින් නගරයට කේන්ද්‍රව පැවති සංවර්ධනය එතුමා ගමට ගෙනගියා. සියලු ජාතීන්ට සාමයෙන් සමඟියෙන් ජීවත්විය හැකි රටක් බිහිකරන්න එතුමා ගන්නා උත්සාහය අද සෑම ජාතියක්ම අගය කරනවා.

මේ නිසා එතුමා සමස්ත ශී‍්‍ර ලාංකිකයන්ගේම නායකයා කියලා අද සුළු ජාතිනුත් පිළිගන්නවා. ඒ බව ඔවුනට දැනෙනවා. එජාප නායකත්වයත් එම පක්ෂයේ ප‍්‍රතිපත්තීත් මේ රටේ අති බහුතර ජනතාව අද පැහැදිලි ලෙස ප‍්‍රතික්ෂේප කරනවා.

එජාපය එදා සිටම කළේ ශී‍්‍රලනිප ය සුළු ජාතීන්ගේ අයිතීන් පිළිගන්නේ නැහැ කියන එක රටපුරා පතුරුවන එකයි. මෙමඟින් සුළු ජාතික ඡන්ද දිනා ගැනීම ඔවුන්ගේ අරමුණ වුණා. අද ඒ සියල්ල වෙනස් වී ඇති බව පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල තුළින් සන්ධානය ලබන විශිෂ්ට ජයග‍්‍රහණය ඔස්සේ කාටත් අවබෝධ වේවි.

මධ්‍යම පළාත් සභාව පසුගිය වර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මුස්ලිම් අපේක්ෂකයකු තේරී පත්වුණේ නැහැ. ඔබ කියන පරිදි මෙවර මුස්ලිම් අපේක්ෂකයකුටම පළාත් සභාවේ දොරටු විවරවේවිද ?

අනිවාර්යයෙන්ම මුස්ලිම් අපේක්ෂකයකු සන්ධානය යටතේ මහනුවර දිස්ති‍්‍රක්කයෙන් පළාත් සභාවට යනවා. පසුගියදා මහනුවර දිස්ති‍්‍රක්කයේ 8000 ක් පමණ වූ මුස්ලිම් ප‍්‍රජාවක් මහනුවර ජනපති මන්දිරයට පැමිණියා.

ඉතිහාසයේ කෙදිනකවත් ජනපති මන්දිරයට මෙතරම් විශාල ජනකායක් නොපැමිණි බව ජනපතිතුමා පැවැසුවා. අද මහනුවර මුස්ලිම් ජනතාව රජය සමඟ බව මෙයින්ම පැහැදිලි වෙනවා.

මුස්ලිම් කාන්තාවන් 2000 ක් පමණ මේ අතර සිටියා. ඔවුන් අද ජනපතිතුමා සමඟ එකතු වෙලා ඉන්නේ රජයේ වැඩපිළිවෙළ ඔවුන් එක හ¾ඩින් පිළිගන්නා නිසයි. අද වේගයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මුස්ලිම් ජනපදනම වැඩිවෙනවා.ඒත් සමඟ කන්ද උඩරට එජාප මුස්ලිම් නායකත්වය ක‍්‍රමයෙන් පිරිහෙමින් පවතිනවා. මම අභියෝග කරනවා. ඒ අයට පුළුවන් නම් මුස්ලිම් ජනතාව 8000 ක් නොව 1000 ක් එකතැනකට රැස්කරලා පෙන්වන්න කියලා.

මේ ආණ්ඩුව ජනතාවට සමීප වීමට තිබෙන එකම ක‍්‍රමය යුද ජයග‍්‍රහණ පමණක් බවද රණවිරු ජයග‍්‍රහණවලින් ආණ්ඩුව ලකුණු දා ගැනීම වැරැදි බවද එජාපය පවසනවා.

යුද්ධයක් කරන්න දේශපාලන නායකත්වයක් අවශ්‍යයයි. එජාපය එදා කෙළේ සාම ගිවිසුම් ඇතිකරලා නිල වශයෙන් මේ රටේ කොටසක් එල්.ටී.ටී.ඊ. යට දීපු එකයි. ත‍්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ අපේ මවුබිමේ කොටසක් පවතින බව ලෝකයම එදා පිළිගත්තේ මේ ගිවිසුම නිසයි.

ටේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගනිමින් කොටි ත‍්‍රස්තවාදය දිගින් දිගටම පරාජය කරමින් අද ඔවුන් වර්ග කිලෝමීටර 200 ක පමණ භූමි ප‍්‍රමාණයකට සීමා කෙළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ සටන් කළ රණවිරුවොයි.

මේ ලකුණු ජනාධිපතිතුමාටයි ආණ්ඩුවටයි ලැබෙන්නේ නැත්නම් කාටද ලැබෙන්නේ. එජාපය අද මේ පිළිබඳ දැඩි ඊර්ෂියාවෙන් හා වෛරයෙන් පසුවන්නේ. මේ රටේ රණවිරුවෝ එදා ජීවිත පූජා කළේ දේශපාලකයින් කරපු සෙල්ලම් වලටයි. යුද්ධ කරනවා කියලා නියෝග දීලා ආපහු නවත්වන්න කියලා බලපෑම් කරනවා.

අද හමුදාවට කිසිම දේශපාලන බලපෑමක් නැහැ. ආරක්ෂක ලේකම්තුමාට කිසිම ආකාරයෙන් දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව මානුෂිය මෙහෙයුම් මෙහෙයවන්න ජනාධිපතිතුමා අවකාශ සලසා තිබෙනවා. ජනපතිතුමා හා රජය අවශ්‍ය සියලු පහසුකම් ඔවුනට ලබාදෙනවා. මේ රජය හැම මොහොතකම රණවිරුවන් ධෛර්මත් කැර ඔවුනට අවශ්‍යය ගෞරවය ලබාදෙනවා.

එදා එජාපය කෙළේ කොටි ලවා අපේ හමුදාවට සමච්චල් කරපු එකයි. සටන් විරාම ගිවිසුම තියෙද්දී කොටි ත‍්‍රස්තවාදීන් ඇවිත් අපේ රණවිරුවන්ට ගහලා යද්දී ආණ්ඩුව නිහඬයි. අපේ හමුදා කෑම්ප් ආසන්නයට ඇවිත් කුණුහරුපයෙන් බැණලා මුත‍්‍රා කරලා යන තරමට කොටි පිම්බුවේ එජාපයයි.

ජනතාවට මේවා අමතක වෙන්න ඔවුන් මැරිලා ඉපදිලා නැහැ. යුද ජයග‍්‍රහණ ගැන ආණ්ඩුව ජනතාවට කියා ඡන්දය ඉල්ලන්න ඕන නැහැ. ජනතාව ඒ බව දන්නවා. කිලිනොච්චි , මුලතිව් අල්ලන කොට අපේ මිනිස්සු පාරට බැහැලා රතිඤ්ඤා පත්තු කරලා සතුටු වුණේ ආණ්ඩුව කියලාද කාටත් කරන්න බැරි වුණ දෙයක් ජනාධිපතිතුමා කරන්නේ.

යුද්ධයත් සංවර්ධනයත් දෙකම හරියට නොකරන එජාපයට මේවා දකිද්දී අද ඔවුන්ගේ ඇස්වලට කටු අනිනවා වගෙයි. ඒකයි ඔය වගේ ප‍්‍රකාශ කරන්නේ.

දෙමළ ජාතික සංවිධානයේ මන්තී‍්‍රවරු කිහිපදෙනෙකු විදේශ ගතවෙලා. සෙසු අය බොහෝ නිහඬයි. එල්.ටී.ටී.ඊ. ය විනාශය සමඟ දෙමළ ජාතික සංවිධානයත් අහෝසිවෙලා යයිද ?

දෙමළ ජාතික සංවිධානය පිටුපස ඉඳලා ඔවුන් මෙහෙය වූයේ කවුද කියලා කවුරුත් දන්නවා. සමහර වෙලාවට මේ මන්තී‍්‍රවරු එල්.ටී.ටී.ඊ. රූකඩ බවට පත්වුණා.

මේ මන්තී‍්‍රවරු අතර සමහරු තමන්ගේ හෘද සාක්ෂියටත් එරෙහිව කොටි වෙනුවෙන් කතා කළේ තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්නයි. ජනතා නියෝජිතයන් ලෙස ඔවුනට උතුරේ අහිංසක දෙමළ ජනතාවගේ හඬ පාර්ලිමේන්තුව තුළට ගේන්න බැරි වුණා.

එල්.ටී.ටී.ඊ. ය රටින් තුරන් වෙනකොට මේ අයට අද කතා කරන්න දෙයක් නැහැ. කොටි සංවිධානය ශී‍්‍ර ලංකාවේ තහනම් කරලා තියෙද්දී ඔවුනට කොටි හිතවතුන් ලෙස ප‍්‍රකාශ කරන්න පුළුවන්කමක් නැහැ. ඔවුන් රටින් බැහැර වෙනවා නැත්නම් නිහඬව ඉන්නවා.

ආණ්ඩුවේ වංචා දූෂණ සියල්ල රණවිරු ජයග‍්‍රහණවලින් වසා ගැනීමට රජය කි‍්‍රයාකරන බවට එජාප චෝදනා කරනවා. අද රජයට යුද්ධය හැර කියන්න කිසිම දෙයක් නැති බවත් ඔවුන් කියනවා.

කළු කොටි, මුහුදු කොටි ගැන කියල එල්.ටී.ටී.ඊ. ය පුම්බපු එජාපය එදා කිව්වේ එක කොටියෙක් අපේ සෙබළු 10 කට සමානයි කියලා. ඔවුන් යුදමය වශයෙන් පරාජය කරන්න බැහැ කිව්වා. අද මොකද වෙලා තියෙන්නේ. එජාපයට මේවා දැන් දිරවගන්න බැරුවයි ඉන්නේ. මාවිල්ආරු සිද්ධිය වනතුරු ආණ්ඩුව සාකච්ඡා මගින් මේ ප‍්‍රශ්නය විසඳගන්න උත්සහ කළා.

ජනාධිපතිතුමා සේනාධිනායක ලෙස නියම නායකත්වය ලබාදීපූ නිසාමයි රණවිරුවෝ මේ ජයග‍්‍රහණ ලැබූවේ. යුද ජයග‍්‍රහණ පිළිබඳ අනික් කාරණය ජනාධිපතිතුමා තමන්ගේ දරුවකු යුද බිමට යවලා තියෙනවා. ලෝකයේ කිසිම නායකයෙක් මෙහෙම ආදර්ශයක් දීලා තියෙනවද රණවිරුවන්ට නායකත්වය දීලා අනික් අය සටන් පෙරමුණට යවන එකයි සාමාන්‍යයෙන් වෙන්නේ. මේ සියල්ල ගත්තම ජනාධිපතිතුමාට යුද්ධය ගැන කතා කරන්න හැම අතින්ම හේතු තිබෙනවා.

මධ්‍යම පළාතේ එජාප මහ ඇමැති අපේක්ෂක එස්. බී. දිසානායක මහතායි. ඔහු යම් ජනපදනමක් ඇති ජාතික තලයේ දේශපාලනඥයෙක් ඔහුගේ ආගමනය සන්ධානයට අභියෝගයක් නොවේද ?

එස්. බී. දිසානායක මහතා දේශපාලන ගමන් මගේ ඉදිරියට ආවේ ශී‍්‍රලනිපයේ සිටියදීයි. මේ පක්ෂයේ දක්ෂතා ඇති අයට ගමෙන් ආවත් නගරයෙන් ආවත් ඉදිරියට යා හැකියි.

ඒත් එජාපය තුළ මෙම පසුබිම නැහැ. කොළඹ හතේ කිහිප දෙනෙක් තමයි පක්ෂය මෙහෙයවන්නේ. එස්. බී. වගේ ගමෙන් ආ අයෙකුට එජාපය තුළ අනාගතයක් නැහැ. ඔවුන් ඔහුට තැනක් දෙන්නේ නැහැ.

අද මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහි පැමිණ මධ්‍යම පළාතේ අපේ ඡන්ද සටනට ශක්තියක් දෙනවා. එජාප මහලේකම් තිස්ස අත්තනායක මහනුවර දිස්ති‍්‍රක්කයේ වෙලත් අද එස්.බී.ගේ ඡන්ද සටනේ නැහැ. එජාපය තුළ අද තියෙන්නේ තනතුරු පොරයක්.

එජාප ඉහළ නායකත්වයට අවශ්‍ය එස්. බී. පරාජය කරන්නයි. ඔහුගේ දේශපාලන ගමන නතර කර අනාගතයේ ඇතිවිය හැකි අභියෝගයක් දැන්ම ඉවත් කර ගැනීම තමයි මේ අයගේ අරමුණ. මං හිතන්නේ එස්.බී. ත් මේක දන්නවා. ඉතින් එස්. බී. කොහොමද අපට අභියෝගයක් වන්නේ.

ඔබගේ අමාත්‍යංශය හරහා මධ්‍යම පළාතට සිදුකර ඇති මෙහෙවර පිළිබඳ සඳහන් කළොත්

මහනුවර නගරය සංචාරක සන්ධිස්ථානයක් ලෙසයි අප සලකන්නේ. වැඩි සංචාරකයන් පිරිසක් මහනුවරට පැමිණෙන්නේ ශී‍්‍ර දළදා මාලිගාව දැක ගන්නයි. අප අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ 100 ක වියදමින් මාධ්‍ය මධ්‍යස්ථානයක් දළදා මැදුරට ලබාදී තිබෙනවා.

මෙයට අමතරව රජමහ විහාරස්ථාන දියුණු කිරීමටත් අප මුදල් ප‍්‍රතිපාදන ලබාදුන්නා. නගර සභාව වැඩි අවධානයක් යොමු නොකිරීම නිසා ක‍්‍රමයෙන් අභාවයට යමින් තිබූ මහනුවර මධ්‍යම වෙළෙඳපොළ වැඩි දියුණු කිරීමට රුපියල් ලක්ෂ 40 ක් වෙන්කර දුන්නා.

ඔබ නිතරම මුස්ලිම් ජනතාවගේ අධ්‍යාපනය පිළිබඳ කතා කරනවා. මෙරට විශ්ව විද්‍යාල ප‍්‍රවේශයට සුදුසුකම් ලබන පිරිස අතර මුස්ලිම් තරුණ තරුණියන් සිටිනුයේ ඉතා අඩු ප‍්‍රතිශතයක් බවද ඔබ නිතර සඳහන් කරනවා. මේ සඳහා කුමන ආකාරයේ පියවරක් ගන්නද බලාපොරොත්තු වෙන්නේ.

මගේ දේශපාලන තේමා පාඨය තරුණ අභිවෘද්ධියයි. මුස්ලිම් ප‍්‍රජාව බොහෝ විට තරුණ අවධියේම ව්‍යාපාරික අංශයට යොමු වෙනවා. බහුතර පිරිසක් පාසල් අධ්‍යාපනය අතර මග නවතා තම පියාගේ හෝ ඥාතීන්ගේ ව්‍යාපාර කටයුතු වල නිරත වෙනවා. ගෝලීයකරණය තුළ අද ලෝකයේ වෙනස්කම් මහා පරිමාණ ව්‍යාපාරිකයාට මෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාරිකයාටත් බලපානවා.

අන්තර්ජාතිකය සමඟ ගනුදෙනු නොකර අද ව්‍යාපාර කරන්න අමාරුයි. අන්තර් ජාතිකය සමඟ ගනුදෙනු කරන්නනම් අධ්‍යාපනය අවශ්‍යයයි. මේ නිසයි මම කියන්නේ මුස්ලිම් ප‍්‍රජාව අතර අධ්‍යාපන මට්ටම ඉහළට ගෙන ආ යුතු බව.

මේ රටේ සමස්ත ජනගහණයෙන් 8% ක් පමණ මුස්ලිම් වුණත් අද විශ්ව විද්‍යාල වරම් ලබන පිරිස අතර මුස්ලිම් නියෝජනය 1% ක් පමණයි. මෙම ගැටලුව පිළිබඳ මා ජනපතිතුමන් දැනුවත් කළා. මහනුවරට මුස්ලිම් පිරිමි පාසලක් ලබාදෙන්න එතුමා එකඟ වුණා. මෙයට අමතරව මුස්ලිම් අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග අප දැනට සැලසුම් කරමින් ඉන්නවා.

ඔබ පසුගිය මහ මැතිවරණයට තරග කෙළේ ලංකා කම්කරු කොංග‍්‍රසයේ නියෝජිතයකු ලෙස එජාපය යටතේයි. අද ඔබ එජාපයෙත් නැහැ. කම්කරු කොංග‍්‍රසයෙත් නැහැ. මෙවර කම්කරු කොංග‍්‍රසය සන්ධානය යටතේ තරඟ කළත් ඔවුන්ගේ ඡන්ද පදනම බිඳ වැටී ඇති බව එජාපය කියනවා. කම්කරු කොංග‍්‍රසයේ හිටපු සාමාජිකයෙක් ලෙස ඔබ මේ ගැන මොකද කියන්නේ.

ඇත්තටම මම පාර්ලිමේන්තුවේ ඉන්නේ ජනතාව නිසාත් ආරුමුගන් තොණ්ඩමන් මහතා නිසාත් කියලා මම අවංකවම කියනවා.

පසුගිය මහ මැතිවරණයේදී මට නාම යෝජනා නොදුන්නොත් කම්කරු කොංග‍්‍රසය එජාපය එක්ක තරග නොකරන බව තොණ්ඩමන් මහතා එජාප නායකත්වයට කිව්වා. ඒ ගැන මම අදත් එතුමාට ස්තුතිවන්ත වෙනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා