අන්තිම සටන!

අන්තිම සටන!

අමෙරිකාවේ “වර්ල්ඩ් ස්ටී‍්‍රට් ජර්නල්” පුවත්පත මීට මාස කිහිපයකට පෙර ලෝක ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් අපූරූ ප‍්‍රකාශයක් නිකුත් කෙළේ ය. ඒ පුවත්පතෙහි කතුවැකිය මගිනි. ත‍්‍රස්තවාදය අවි බලයෙන් මර්දනය කළ නො හැකි යැයි කිසිවකු අදහස් කරන්නේ නම්, ඔහු ශ‍්‍රී ලංකාව දෙස බැලිය යුතු යැයි ඒ කතුවැකිය කියා සිටියේ ය.

ත‍්‍රස්තවාදය මර්දනය කළ හැකි ය යන්නට හොඳම නිදසුන ශ‍්‍රී ලංකාව බවත්, එහි ගෞරවය ශ‍්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට හිමිවන බවත් අමෙරිකාවේ ජනාධිපති බැරක් හුසේන් ඔබාමා මහතා ත‍්‍රස්තවාදය මර්දනය කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවෙන් උගත යුතු බවත් ඒ කතුවැකිය කියා සිටියේ ය.

මේ ව්‍යායාමයට සහාය දුන් තවත් පුවත්පතක් තිබේ.ඒ “හින්දු” පුවත්පත ය. එහි කර්තෘ එන්.රාම් මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ ඉතා නිවැරැදි හා සාර්ථක එකක් බව පෙන්වා දුන්නේ ය.

ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ අලුත් න්‍යායයක් ශ‍්‍රී ලංකාව විසින් ලෝකයට හඳුන්වා දී තිබේ. ඒ වනා හී ඕනෑ ම ලෝක නායකයකු ගේ විමර්ශනයට ලක්විය යුතු කාරණයෙකි. ත‍්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ මත මගින් මෙතෙක් හෙළිදරව් වූයේ ඊට එක ම විසැඳුම සාකච්ඡාව හා සාම කි‍්‍රයාපද්ධතිය බව ය. නැතහොත් බලය හුවමාරු කිරීම බව ය.

මේ මගින් ත‍්‍රස්තවාදය උත්සන්න වූවා මිස ගැටුමට සාර්ථක විසැඳුමක් ලැබුණු බවක් පෙනෙන්නට නැත. ශ‍්‍රී ලංකාව ගත් කි‍්‍රයාමාර්ගය ඊට වෙනස් ය. එහි කැපී පෙනෙන ලක්ෂණ දෙකක් තිබේ. පළමුවැන්න ත‍්‍රස්තවාදයට ගොදුරු වන ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට ගැනීම ය. දෙවැන්න ත‍්‍රස්තවාදය අවි බලයෙන් විනාශ කිරීම ය.

මීට වසර තුනකට පෙර ශ‍්‍රී ලංකාවේ කොටි සංවිධානය සතු මුළු භූමි ප‍්‍රමාණය වර්ග කි.මී.15,000කට අධික විය. අද ඔවුන් ගේ අණසක පැතිරගිය එක බිම් අඟලක්වත් ඉතිරි වී නැත. පෙරේ දා වන විට ශ‍්‍රී ලංකාවේ මුළු භූමිය ම ත‍්‍රස්තවාදියාගෙන් මුදාගෙන තිබිණි. දැන් ත‍්‍රස්තවාදියා ජීවත්වන්නේ යුද මුක්ත කලාපයේ සිවිල් ජනතාව සමඟ වෙස් වළාගෙන ය.

ජනතාව යුද මුක්ත කලාපයෙන් දුරස්වන කල්හි ඉතිරි ත‍්‍රස්තවාදීන් Qක දෙනා ආරක්ෂක අංශවල ග‍්‍රහණයට නතු වනු ඇත. කොටි ත‍්‍රස්තවාදීන් ගේ අවසන් බළකොටුව වූ උතුරු පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශය අල්ලාගත්තේ ත‍්‍රස්තයන් හාරසිය ගණනක් මරා දමමින් ය.

ත‍්‍රස්තවාදය අවි බලයෙන් පරාජය කළ නොහැකි ය යන මතය බටහිර අධිරාජ්‍යවාදී සංකල්ප ඔස්සේ නිර්මාණය කරන ලද්දෙකි. ත‍්‍රස්තවාදය නිර්මාණය වූයේ අධිරාජ්‍යවාදීන් ගේ යටත් විජිත පාලන ක‍්‍රම – විධි ඔස්සේ ය.

අප‍්‍රිකාව හා ආසියාව ඊට නිදසුන් ය. මේ මහාද්වීප දෙක පුරා බොහෝ රටවල ත‍්‍රස්තවාදී ව්‍යාපාර කි‍්‍රයාත්මක වේ. ඒ රටවල ආණ්ඩු මෙන් ම නායකයන් ද බොහෝ අසීරුවට පත් ව සිටින අයුරු අපට දක්නට ලැබේ. එහෙත් කිසිවෙක් නිර්භීත හා නිවැරැදි වැඩසටහනක් ඔස්සේ ත‍්‍රස්තවාදය මර්දනය කළ බවක් අපට දක්නට නොලැබේ. ඊට ඇති සාර්ථක අත්දැකීම වාර්තාවන්නේ ශ‍්‍රී ලංකාවෙන් පමණි.

කොටි ත‍්‍රස්තවාදීන් ගේ අවසන් බළකොටුව පෙරේදා ආරක්ෂක හමුදා අතට පත් විය. එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ 58 – 53 බළසේනා වලට හා අටවන කාර්ය සේනාංකයට ය. ඉරණපලෙයි ඇතුළු උතුරු පුදුකුඩිඉරිප්පු මුළු ප‍්‍රදේශයම හමුදාව අතට පත්වූයේ දරුණු සටනකින් පසු ය.

මි.මී.130 වර්ගයේ කාල තුවක්කු තුනක් හා තවත් බර අවි ආයුධ රැසක් ද පෞද්ගලික ආරක්ෂාවට යොදාගත් සියුම් ආයුධ සිය ගණනක් ද හමුදාව අතට පත් විය. 2009 – මාර්තු - 03 දා පුදුකුඩිඉරිප්පු නගරය අල්ලා ගැනීමෙන් පසු කි‍්‍රයාත්මක වූ දුෂ්කර ම මෙහෙයුම මේ යැයි කියති. මේ ප‍්‍රහාරයේ දී නාගේශ්, දුර්ගා, තීපන්, ගඩාෆි, පංජන්, මහින්දන්, නගුලේෂන් යන කොටි නායකයෝ රැසක් මිය ගියහ. කොටි නායකයන් රැසක් එකවර මියගිය ප‍්‍රථම අවස්ථාව ද මෙය වේ.

ශ‍්‍රී ලංකාවට ආධාර සපයන සම සභාපති රටවල් මේ මෙහෙයුම අනුමත කර තිබේ. ඒ පමණක් නොව සිවිල් ජනතාව වහා නිදහස් කරන්නැ’යි කොටි සංවිධානයට තරයේ අවවාද කර තිබේ. ඉතා යහපත් තත්ත්වයෙකි. අන්තර්ජාතික ප‍්‍රජාව අද ශ‍්‍රී ලංකාව දෙස බලා සිටින්නේ එක්තරා විස්මයක් සහිතව ය. ත‍්‍රස්තවාදය මර්දනය කොට සිවිල් ජනතාව ඒ ග‍්‍රහණයෙන් සාර්ථකව මුදාගත් රටකට ආදර්ශයක් ලොව කොතැනකවත් නැත.

එය සටහන් විය යුත්තේ ශ‍්‍රී ලංකාවෙන් පමණි. දැන් කොටියා සිටින්නේ සිවිල් ජනයාට මුවාවෙමින් ය. පිරිබාහරන් ඇතුළු ඒ සුළු පිරිස හිමින් සීරුවේ එළියට ගැනීම ආරක්ෂක අංශවල උපාය මාර්ගය විය යුතු ය. ඒ අනුව කොටි නායකයා විනාශ කිරීමට වැඩි හදිස්සියක් අවශ්‍ය නැත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා