ත‍්‍රස්තවාදයට දුන්න විසැඳුම හරියට ම හරි

ත‍්‍රස්තවාදයට දුන්න විසැඳුම හරියට ම හරි

නො පිළිගන්න අය එක්කෝ කුහකයෝ නැතිනම් මෝඩයෝ

ඩිලාන් පෙරේරා - වරාය සංවර්ධන අමාත්‍ය

* උතුරේ මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර වීරෝදාර ආරක්ෂක හමුදා ජයග‍්‍රාහීව සම්පූර්ණ කරමින් සිටිනවා. එල්. ටී. ටී. ඊ. ය නිසා වැඩිම පීඩාවට පත් දෙමළ ජනයාත්, සමස්ත රට වැසියාත් අලුත් හුස්මක් ගන්නා මේ මොහොත ඔබට දැනෙන්නේ කොහොමද ?

ලාංකීය ඉතිහාසයේත් විශේෂයෙන් දෙමළ ජනයාගේ පැත්තෙන් බලන විටත් ජාතික ප‍්‍රශ්නයට අදාළවත් මෙය සන්ධිස්ථානයක්, දෙමළ භාෂාව කතා කරන නිසාමත්, යම් යම් දේශපාලන තීන්දු නිසාත් එම ජනතාවට අඩු සැලකිල්ලක් තිබුණා. වේලුපිල්ලේ ප‍්‍රභාකරන් කියන මිනීමරු ත‍්‍රස්තවාදියා ඔහු ගේ සංවිධානය ගොඩනැගීමට මේ කාරණය පාවිච්චි කළා.

ප‍්‍රභාකරන් දෙමළ ජනයාගේ විමුක්තිය වෙනුවෙන් කි‍්‍රයා කරන බව කියමින් ඔවුන් කබලෙන් ළිපට තල්ලු කරන එකයි කෙළේ. අන්තිමේදී මේ මිනිසුන්ට යන එන මං නැති වුණා. ඉස්කෝලෙ යන දරුවන්ට පාසල් පොත අතට දෙනවා වෙනුවට ටී – 56 අතට දීලා බෙල්ලෙ සයනයිඩ් කරලක් එල්ලුවා.

නැගෙනහිරදී කළාත් මෙන්ම උතුරේ මානුෂීය මෙහෙයුමේදීත් අපේ වීරෝදාර රණවිරුවන් ප‍්‍රභාකරන් සහ එල්. ටී. ටී. ඊ. ය ඇති වෙන්න බලපෑ හේතු වලට නොව එම ඵලයට පිළියම් යෙදුවා.

එම ඵලය සම්පූර්ණයෙන් විනාශ කිරීමේ කාර්යයට රණවිරුවන් ඉතාම නිවැරැදිව මැදිහත් වුණා. මේ වැඩේදී කොන්ද කෙළින් තියාගෙන සේනාධිනායකයා ලෙස ජනාධිපතිතුමා නිවැරැදිව නායකත්වය දුන්නා. මේ කාරණය කාට හරි පිළිගන්න බැරි නම් එක්කො ඔහු මහා කුහකයෙක්, නැත්නම් මන්දබුද්ධික තැනැත්තෙක්.

නැගෙනහිර පිල්ලෙයාන් මහ ඇමැති වුණා වගේ කරුණා අම්මාන් ආයුධ බිම තියල ඇවිත් ඇමැති කෙනෙක් වුණා වගේ උතුරෙත් ජනතාවට තමන්ගේ මහ ඇමැතිවරු මැති ඇමැතිවරු තෝරා පත් කර ගැනීමේ අයිතිය ලබා දිය යුතුයි.

හැබැයි එහෙම හදන පළාත් සභාව බෝඩ් ලෑල්ලකට පමණක් සීමා කිරීම කළ යුතු වන්නෙත් නැහැ. 13 වෙනි සංශෝධනයේ තියෙන පළාත් සභා බලතල සියල්ල ක‍්‍රම ක‍්‍රමයෙන් ඒ පළාතට දුන්නොත් ප‍්‍රභාකරන්ව දේශපාලන වශයෙනුත් පරාජය කරන්න පුළුවනි.

කවුරුහරි පළාත් සභා වලට බලය බෙදන්න එපා කියනවා නම් ඒ අය කරන්නෙ ප‍්‍රභාකරන්ට උඩ ගෙඩි දෙන එක.

* එහෙත් 13 වෙනි සංශෝධනයෙ සඳහන් පරිදි මුළුමනින් බලතල ලබාදීම ගැනත් 13 වෙනි සංශෝධනය ගැනම පවාත් රට තුළ විවිධ මත තිබෙනවා. ප‍්‍රවේශයක් හැටියට මේ පවතින බලතල මත පදනම් වූ විසැඳුමක් කරා එළැඹීම ගැන එකඟවෙන්න බැරිද ?

හැම දේකටම පටන් ගැන්මක් තියෙන්න ඕන. දැනට 13 වෙනි ව්‍යවස්ථාව කියල දෙයක් අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරල ඒක ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිහින්.

එම ආණ්ඩුක‍්‍රම සංශෝධනය රටේ ඒකීයභාවයටත් හානිකර නොවන එකක් හැටියට පිළිගැනී තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට එපිටින් ලංකාවේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්න ආයතනයක් නැහැ. ඒ නිසා ඒ තීන්දුව වැරැදියි කියල කවුරු හරි කියනවා නම් ඒක ඒ අයගේ දේශපාලන මතය මිසක් මේ රටේ ව්‍යවස්ථානුකූල මතය නෙවෙයි.

දැන් පළාත් සභා කියන මේ බලය බෙදාහැරීම රටේ ඒකීයභාවයටත් එකඟ බලය බෙදා හැරීමක් බව පිළිගන්නවා. ඒක රටේ මූලික නීතියට ඇතුළත්. නමුත් අවුරුදු විසි ගණනක් තිස්සේ හරියාකාර කි‍්‍රයාත්මක වෙලා නැහැ.

මේ නිසා එතැනින් පටන් ගන්න පුළුවනි. එතකොට අනෙක් පළාත්වල දැනට කි‍්‍රයාත්මක නොවෙන පොලිස් බලතල, ඉඩම් බලතල, වගේ ඒවා එකපාරට කි‍්‍රයාත්මක කරන්න ගියොත් ප‍්‍රශ්න ඇති වෙයි. එහෙම නම් දැනට තියෙන විදියට පටන්ගන්න වෙනවා. හැබැයි ඊළඟට ඉඩම් බලතල, පොලිස් බලතල වගේ ඒවාටත් යන්න ඕන.

ඒ බලහත්කාරයෙන් නෙවෙයි. කොටින්ට අහුවුණොත් ඉස්සරලාම මරණ කෙනෙක්, දේවානන්ද මහත්තයා, මමත් රාජිත ඇමැතිතුමා, ඩිව් ඇමැතිතුමා පිල්ලෙයාන් මහ ඇමැතිතුමා වැනි අයත් එක්ක පළාත් සභා බලතල 100 % කි‍්‍රයාත්මක කිරීමේ ව්‍යාපාරයක ඉන්නවා. දේවානන්ද ඇමැතිතුමා අට වතාවක්ම කොටින්ගෙන් මැරුම් නොකා බේරුණා.

ඒ නිසා කොටි නොවන දෙමළ නායකයො 13 වෙනි සංශෝධනය යටතේ බලය ඉල්ලනවා. එහෙත් විනයාගමූර්ති මුරලිදරන් ඇමැතිතුමා එහෙම කියන කොට අපි ඊට කන් දිය යුතුයි. නැතුව අපි ඒවා බලෙන් දෙන්න යන්න ඕන නැහැ. පළාතේ ජනතා නියෝජිතයන්ට ඇහුම් කන් දෙන්න ඕන.

* පසුගියදා රාජ්‍ය සේවා කොමිෂම නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිසා රාජ්‍ය සේවයේ විශාල කලබැගෑනියක් ඇති වුණා. මේ කාරණයත් එක්ක යළිත් 17 වෙනි ආණ්ඩුක‍්‍රම සංශෝධනය ගැන සංවාදය අලුත් වෙලා. ඔබ කොහොමද මේ ස්වාධීන කොමිෂන් සභා දකින්නේ ?

ඕකට හොඳම උත්තරයක් මැතිවරණ කොමසාරිස්තුමා දීලා තිබුණා. 17 වෙනි සංශෝධනය යටතේ මැතිවරණ කොමිෂම හදන්න කලින් තමාගෙන් විමසුවේවත් නැතැයි එතුමා කිව්වා. ඒ නිසා 17 වෙනි සංශෝධනය හරහා මේ රටේ මැතිවරණ කි‍්‍රයාපද්ධතිය සම්බන්ධ ප‍්‍රශ්න වලට විසැඳුම් ලැබෙන්නේ නැහැ. ඒක අවුලක් බව පේනවා.

හැබැයි 17 වෙනි සංශෝධනය අවුලක් වුණත් අඩු පාඩු තිබුණත් යම් ආකාරයක ප‍්‍රගතිශීලී පැතිත් එහි තිබුණා. ඒත් ප‍්‍රශ්නය මේකයි. අපි උදාහරණයක් ගනිමු.

කේක් ගෙඩියක් බිත්තර දාන්නෙ නැතුව හැදුවොත් ඒක කේක් එකක් නෙවෙයිනෙ. හදල ඉවර වෙලා බිත්තර එකතු කරමු කිව්වාට ඒක කේක් ගෙඩියක් වෙන්නෙත් නැහැනෙ.

17 වෙනි සංශෝධනය හරහා රාජ්‍ය සේවා කොමිෂමට ලැබුණ බලය පාවිච්චි කරල ඔවුන් යම් යම් නියෝග දීලා ඒවායින් වෙන්න ගියේ රාජ්‍ය සේවයේ විශාල කප්පාදුවක් වෙන එක. රාජ්‍ය සේවකයන්ට තිබුණු අයිතිවාසිකම් යටපත්කරන එක.

රාජ්‍ය සේවා කොමිෂම මේ නියෝග දාන කොට දැන් ජේ. වී. පී. ඒකත් පාරට බැහැලා. එහෙම කරන ගමන් අනෙක් පැත්තෙන් 17 වෙනි සංශෝධනය කි‍්‍රයාත්මක කරන්න කියලත් පාරට බහිනවා. මොකක්ද මේකෙ තේරුම. 17 වෙනි සංශෝධන අවුලෙන් ගොඩ එන්න බැරිද ?

මම නම් දකින්නෙ වඩා යෝග්‍යම කි‍්‍රයාමාර්ගය තමයි, ඩිව් ගුණසේකර ඇමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඇති පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ නිර්දේශ කරා යොමු වීම. මේ කමිටුවේ හැදුවෙ සංශෝධනයෙ තියෙන අඩු පාඩු සම්පූර්ණ කරලා නැවත එය ගේන්න. මේ වාර්තාවත් දැන් සම්පූර්ණයි. ඒ වාර්තාව අපි 17 වෙනි සංශෝධනය කි‍්‍රයාත්මක කරන්න පාවිච්චි කරමු. එතකොට අපිට බිත්තරත් දාපු කේක් ගෙඩියක් ලැබෙනවා.

මේ වගේ ප‍්‍රශ්න මතු වෙන්න ගත්තාම 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ නැති බව අපට පේනවා. ඒ නිසා දැන් අපි කරන්න ඕන 17 වෙනි සංශෝධනය ගැන ඩිව් ගුණසේකර ඇමැතිතුමාගේ සභාපතිත්වයෙන් හදපු තේරීම් කාරක සභාවේ වාර්තාව මෙහිදී පාවිච්චි කරන එකයි.

* බස්නාහිර පළාත් සභා මැතිවරණය ආසන්න වෙමින් තිබෙනවා. ලොකු මැතිවරණ සටනක් පෙනෙන්න නැතත් කොළඹ කියන්නෙ සම්ප‍්‍රදායික එජාප බළ කොටුවක්. ඒත් අනෙක් පැත්තෙන් එජාප නායකත්ව අවුල තවම හරියාකාර ලිහිලත් නැති බවයි පෙනෙන්නෙ. ඇත්තටම ඡන්දය කොහොම වෙයිද ?

එක්සත් ජනතා නිදහස් සන්ධානය ශ‍්‍රීලනිප ප‍්‍රධාන පක්ෂ ගණනාවකින් සැදුම් ලත් එකක්. එය එක් පාටකට විතරක් අයිති එකක් නෙවෙයි. විශේෂයෙන් කොළඹ දිස්ති‍්‍රක්කය ගත්තාම අපට පේනවා එජාපයට හෙලිකොප්ටර් අරන් ගිහින් වැඩ කරපු අය එජාපයෙන් තරග කරලා මනාප ගෝනි ගණන් ගත්ත අය අද ජනාධිපතිතුමාගේ නායකත්වය පිළිඅරගෙන, අපි එක්ක ඉන්නවා.

මේ රටේ ත‍්‍රස්තවාදය පරාජය කරලා දෙමළ ජනතාවගේ ගැටලු වලට ජාතික ප‍්‍රශ්නයට විසැදුමක් සොයන කාරණයේදී ජනාධිපතිතුමාගේ නායකත්වය වැදගත් බව.

ඒ වගේ තත්ත්වයක් තුළ එජාපයේ රාශියක් එතුමාගේ නායකත්වය පිළිගනිමින් ඉන්නවා. ඒකයි ජනාධිපතිවරණයෙදි ලක්ෂ 2 කට වැඩියෙන් මධ්‍යම පළාත දිනපු රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මේ පළාත් සභා ඡන්දයේදි ලක්ෂ 02 කට වැඩියෙන් පැරැදුණේ.

කොළඹත් වෙන්නෙ ඒක. මැද කොළඹ, උතුරු කොළඹ, බටහිර කොළඹ, එජාපය බලවත් කියල බලාගෙන හිටියට අද එහෙම ඉන්න බැරි වෙලා. මෙවර යූඑන්පී බළකොටු බලු කොටු වෙලා තියෙන හැටි පේනවා. මේ ඡන්දයේදි එජාප මැතිවරණ ප‍්‍රචාරයක්වත් හරියාකාර පේන්න නැහැ.

සමහර එජාප අපේක්ෂකයන්ගේ කතා ඇහුවම අපට හිනා යනවා. උපදින දරුවට මවු කිරි නොදී සත්ත්ව තෙල් කලවම් වෙච්ච, පිටරටින් එන පිටි කිරි දෙන්න කියල කෑ ගහපු නෝනලා දැන් බස්නාහිර ඡන්දයෙදි දරුවො වෙනුවෙන් කතා කරනවා.

දූෂණය වංචාව ගැන කතා කරන්න ඇවිත් ඉන්නෙ සුනාමියෙන් විනාශ වුණ කි‍්‍රකට් පිටි හදන්න දීපු විදේශාධාර ව්‍යාපෘති වලින් ලක්ෂ ගණනින් වැටුප් ලබපු ලංකාවේ කි‍්‍රකට් ගැහුව මහත්වරු සුනාමියට අපි ස්වේච්ඡාවෙන් වැඩ කරද්දි සුනාමි ආධාර වලිනුත් පඩි ගත්ත මහත්හොරු අද මහත්වරු වෙලා ඡන්දය ඉල්ලනවා.

මිලේනියම් සිටි මහාපාවාදීම වෙලේ අපේ බුද්ධි අංශ වල අය පාවාදුන් පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඒ කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටි නීතිඥ මහත්වරුන් අද එජාපයෙන් ඡන්දෙ ඉල්ලනවා. මේ වගේ ඉතිහාසය පුරා මහවිකාර කරපු අය තමයි අද යූඑන්පී යේ අපේක්ෂකයො.

ජනතාවගෙන් ලැබෙන සන්ධානය දිනවන තීන්දුව මිලිටරි ජයග‍්‍රහණධ වලට විතරක් ලැබෙන එකකුත් නෙවෙයි. එය යුදමය වැඩපිළිවෙළ අනුමත කරන අතර නැගෙනහිර කළා වගේ උතුරේ ජනතාවගේ දේශපාලන විසැඳුමක් ලබාදීම වෙනුවෙනුත් ලැබෙන තීන්දුවක්.

අනෙක එජාපය තවම ඉන්නෙ බස්නාහිර පළාත් සභා සටනෙ නෙවෙයි. පක්ෂය තුළම ඇති නායකත්ව සටනෙ. අවසානයෙ මේ සටන රනිල් වික‍්‍රමසිංහ මහත්තයා දිනල බව පේනවා. සමහරු වික‍්‍රමසිංහ මහත්තය දිනල කිව්වත් මම කියනවා අවසානයෙ දිනන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයා කියල.

වික‍්‍රමසිංහ මහත්තයා තව අවුරුදු 10 – 15 ක් එජාප නායකයා කියන්නෙ රාජපක්ෂ මහත්තයා දිනනවා කියන එකනෙ. ඊළඟ ජනාධිපතිවරණයෙදිත් රාජපක්ෂ මහත්තයාගෙ ප‍්‍රතිවාදි අපේක්ෂකයා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා.

මේ දෙන්නා ඡන්දෙ ඉල්ලන කොට අපට මේ පළාත් සභාවල වෙච්ච මහන්සියවත් වෙන්න ඕන නැහැ. ඇඩ‍්‍රස් නැති වෙන්න තමයි රනිල් වික‍්‍රමසිංහ මහත්තය පරදින්නෙ මෙතැන තියෙන්නෙ හාවයි ඉබ්බයි වගේ රේස් එකක්.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා