පාකිස්තානයේ ෂියා මුස්ලිම් පල්ලියකදී මරාගෙන මැරෙන බෝම්බයකට 22ක් බිලි

පාකිස්තානයේ ෂියා මුස්ලිම් පල්ලියකදී මරාගෙන මැරෙන බෝම්බයකට 22ක් බිලි

හතළිහකට තුවාල : බෝම්බකරු බාලවයස්කරුවෙක්

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරින් කි.මී. 60ක් දුර චක්වාල් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියකදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු පෙරේදා සිය බෝම්බය පුපුරුවාගැන්මෙන් 22 නකු ජීවිතක්ෂයට පත්වී තවත් 40 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය ප‍්‍රකාශ කෙළේය.

1200 ක පමණ පිරිසක් මුස්ලිම් පල්ලියේ ආගමික කටයුතුවල නියැලී සිටියදී බෝම්බකරු එහි දොරටු අබියසදී බෝම්බය පුපුරුවාගෙන තිබේ.

මෙහිදී තුවාලලත්තවූන්ගෙන් 17 දෙනකු ඊයේ වන විටත් රෝහල්ගතව සිටි අතර ඉන් 10 දෙනකු බරපතළ තුවාල ලබා ඇති බව සඳහන්ය.

පොලිස් ප‍්‍රධානියා පැවැසුවේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවය.

බෝම්බකරු වයස අවුරුදු 15ක ළමයකු බව පෙනී ගොස් තිබේ.

පිපිරුම් භූමියේ තිබී ඔහුගේ දෙපා හා දැඩි ලෙස හානියට පත් මුහුණ සහිත හිස හමුවී ඇත.

බෝම්බකරුට පල්ලියට ඇතුළුවීමට ඉඩ නොදීම නිසා එහි දොරටුවේදීම බෝම්බය පුපුරුවා ගෙන ඇත. එසේ නොවීනම් මහා මිනිස් ඝාතනයක් සිදුවීමට ඉඩ තිබුණු බව පැවැසී තිබේ.

බෝම්බ පිපිරුමෙන් පල්ලියට හානියක් සිදුව නැත. එහෙත් එය වටා පිහිටි පවුර අසල මෝටර් රථ හා යතුරු පැදි විනාශයට පත්ව තිබේ.

ජනාධිපති අසිෆ් අලි සර්දාරි මේ කි‍්‍රයාව දැඩිසේ හෙළා දැක ඇත. මීට කලින් ඉකුත් සිකුරාදා මරාගෙන මැරෙන ප‍්‍රහාර දෙකකින් 15 දෙනකු මියගොස් තිබිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා