ලාහෝර් වීරයාට ශී‍්‍ර ලංකාවේදී මහත් හරසර

ලාහෝර් වීරයාට ශී‍්‍ර ලංකාවේදී මහත් හරසර

ජනාධිපති රාජපක්ෂ ත‍්‍රස්තවාදයට මුහුණ දිය හැකි කලාපයේ හොඳම නායකයෙක් - පාකිස්තාන මහ කොමසාරිස්

ත‍්‍රස්තවාදය කී‍්‍රඩකයන්ට එල්ලවේ යැයි හිතුවේ නෑ - සංගක්කාර

ටෙස්ට් තත්ත්වය යෝජනා කළ පාකිස්තානය හැමදාම අපේ මිතුරෙක් - කී‍්‍රඩා ඇමැති

කලීල් නොසිටින්නට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් අද නෑ - මහේල

ලාහෝර් ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක් වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල ගමන් කළ බස්රථයේ රියැදුරු ලාහෝර් වීරයා නමින් ප‍්‍රකට මුහමුද් මෙහෙර් කලීල් මහතා පිළිගැනීමේ නිල උත්සවය ශී‍්‍ර ලංකා කි‍්‍රකට්හිදී ඊයේ පැවැත්වුණි.

සතර දෙසින් වෙඩි වරුසා එල්ල වෙද්දී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ ජීවිත බේරා ගැනීමට වික‍්‍රමාන්විත මෙහෙවරක යෙදුණු කලීල් මහතා සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ ආරාධනාවෙන් ශී‍්‍ර ලංකාවට පැමිණි අතර පිළිගැනීමේ උත්සවයේදී පමණක් ලක්ෂ 27 කට අධික මුදල් තෑගි පිරිනැමුණි.

කී‍්‍රඩා අමාත්‍යංශයෙන් ලක්ෂ 5 ක්, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වෙතින් ඇ. ඩො. 10000 ක්, ටෙලිකොම් මොබිටෙල් වෙතින් ලක්ෂ 5 ක් හා ටාජ් ටී. වී. වෙතින් ඇ. ඩො. 2500 ක් ප‍්‍රදානය කෙරුණි.

මේ සම්භාවනීය උත්සවයේදී අදහස් දැක් වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක කුමාර සංගක්කාර පැවැසුවේ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය මැද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් අසරණව බස්රියේ වැටී සිටියදී ආරක්ෂක ස්ථානයකට රැගෙන ගිය කලීල් වීරයා උණුසුම් ලෙස මුළු රටම පිළිගන්නා බවයි.

“දෙවියන් වහන්සේ මිනිසාව මැවුවා. රිවොල්වරය හැදු සැමුවෙල් කෝල්ගේ සිට මිනිසා විනාශකාරී ආයුධ හැදුවා. 1971 මියුනිච් ප‍්‍රහාරයෙන් පසුව ත‍්‍රස්තවාදය හා ප‍්‍රචණ්ඩත්වය කී‍්‍රඩකයන්ට එල්ලවේ යැයි හිතුවේ නෑ.

ඒ ආකල්පය වෙනස් වුණේ ලාහෝර් ප‍්‍රහාරයෙන් පසුවයි. ත‍්‍රස්තවාදයෙන් හා ප‍්‍රචණ්ඩත්වයෙන් අද බොහෝ පිරිස් පීඩාවට ලක්වෙලා. ලාහෝර් ප‍්‍රහාරයෙන් පසුව අපට වැටහුණා කී‍්‍රඩාවටත් මේ තර්ජනය ඇති බව. අප විශේෂ පුද්ගලයන් නොවන බව හොඳින් තේරුම් ගියා යැයි සංගක්කාර පැවැසීය.

ලාහෝර් ප‍්‍රහාරයේදී මියගිය පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ට කනගාටුව පළ කළ සංගක්කාර විසින් හෙලිකොප්ටර් මගින් කී‍්‍රඩකයන්ව හමුදා කඳවුරකට ගෙන ගොස් ප‍්‍රතිකාර කළ ගුවන් හමුදාවට ස්තුතිය පුද කෙළේය.

තිලාන්, තරංග, අජන්තට ගොඩක් තුවාල වෙලා තිබුණා. අප ලංකාවට එන මොහොත දක්වාම පාකිස්තාන වෛද්‍යවරු මූලික ප‍්‍රතිකාර කළා. එම රජයට ස්තුති කරනවා. ඉක්මනින් මැදිහත් වී අපව ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීමට කි‍්‍රයාකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයට හා කී‍්‍රඩා ඇමැතිතුමාට විශේෂයෙන් ස්තුති කරනවා. ශී‍්‍ර ලංකාවේදී සාර්ථක ප‍්‍රතිකාර කළ වෛද්‍ය පිංටෝ හා ගීතාංජන මෙන්ඩිස් යන මහත්වරුන්ට වෛද්‍ය කාර්ය මණ්ඩලයටද ස්තුතිය පුද කෙළේය.

කී‍්‍රඩා ඇමැති ගාමිණී ලොකුගේ මහතා කලීල් මහතා පිළිගත් අයුරු. ලේක් හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර , ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපති ඩී. එස්. ද. සිල්වා. කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් එස්. ලියනගම යන මහත්වරු , ශ‍්‍රී ලංකාවේ පාකිස්තාන තානාපතිවරයා සහ ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිනි ලීෂා චන්ද්‍රසේන ද සිල්වා මහත්මිය ද මෙහි වෙති. ඡායාරූප සුදත් මලවීර.

කලීල් ඔබ එදා කළ වීර කි‍්‍රයාවට අපේ ආචාරය පුද කරනවා. එය මනුස්සකමට එහා ගිය පියවරක් වුණා. අපි ලෝකය දෙස තවත් දවසක් බලන්නේ ඔබගත් එඩිතර කි‍්‍රයාව නිසයි. අද අප ඔබට ස්තුති කරනවා.

ඒ වගේම ඔබේ ජීවිතයේ වැදගත් සෑම සිදුවීමකදීම කි‍්‍රකට් කී‍්‍රඩකයන් ඔබත් සමඟ සිිටිනවා. යුද හමුදා පුහුණුව නැති කෙනෙක් වූ කලීල් කළ සේවය අමරණීයයි සංගක්කාර කීවේය.

සාර්ථක මනුෂ්‍යයෙකුගේ පිටුපස බිරියගෙන් ලැබෙන ආදරය සෙනෙහස දැවැන්ත සෙවණැල්ලක් වගේ තිබෙනවා. බිරිය නසීයාට දරුවන්ට ආරම්බර විය හැකි ස්වාමිපුරුෂයෙක්, පියෙක් කලීල්. ඔබේ ජීවිතාන්තය දක්වා සිටින සහකරු කලීල් ගැන අද ලෝකයම උදම් අනනවා යැයි සංගක්කාර ඉදිරිපෙළ ආසනයක වාඩිවී සිටි කලීල්ගේ බිරිය අමතා පැවැසීය.

මෙහිදී කතා කළ ශ‍්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් ෂහාහීන් ඒ ගිලානී මහතා පැවැසුවේ ශ‍්‍රී ලංකාව හා පකිස්තානය ඉතා හොඳ මිත‍්‍ර සබඳතා ඇති රටවල් දෙකක් බවයි. ලාහෝර් ප‍්‍රහාරය ගැන කනගාටු වෙනවා.

ශ‍්‍රී ලංකා රජය හා පාකිස්තානය අවබෝධයෙන් යුතුව කි‍්‍රයා කරනවා. ත‍්‍රස්තවාදයට සාර්ථකව පිළිතුරු දිය හැකි කලාපයේ හොඳම නායකයෙක් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හඳුන්වාදිය හැකි බව මහ කොමසාරිස්වරයා සඳහන් කෙළේය.

ලාහෝර් වීරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කලීල් වීරයෙකුටත් වඩා ත‍්‍රස්තවාදයට එඩිතරව මුහුණදුන් ආරක්ෂකයෙක් යැයි පැවැසීය.

තිලාන්ගේ දියණිය සමඟ කලීල් හා බිරිය නසීයා ...තිලාන්ගේ හා සංගක්කාරගේ බිරින්දෑවරුද සිටිති

“එදා ශ‍්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය දිය යුතු යැයි යෝජනා කෙළේ පාකිස්තානයයි. පාකිස්තානය හා අප අතර කිට්ටු සබඳතා තිබෙනවා. අපේ ජාතික වස්තුවක් සේ සලකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් බේරාදීම ගැන ස්තුතිවන්ත වෙනවා.

ජනාධිපතිතුමා ත‍්‍රස්තවාදය තුරන් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන මොහොතක ඔබ පැමිණීම ගැන වඩාත් සතුටු වෙනවා” අමාත්‍යවරයා සඳහන් කෙළේය.

ශ‍්‍රී ලංකා හිටපු කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන පැවැසුවේ කලීල් නොසිටින්නට අද කි‍්‍රකට් කී‍්‍රඩකයන්ද නොමැති බවයි. ත‍්‍රස්තවාදය ආරක්ෂක අංශවල අයට පුදුම දෙයක් නොවුනත් කී‍්‍රඩකයන් වන අපට අලුත් දෙයක්.

සිද්ධියෙන් පසුව කි‍්‍රකට් කී‍්‍රඩකයන් නැවැත කී‍්‍රඩාපිටියට ඇවිත් සිටිනවා. මේ වගේ සිද්ධියකට අනාගතයේ මුහුණ දෙන්න සිදු නොවේවා කියා ප‍්‍රාර්ථනා කරනවා යැයි ජයවර්ධන පැවැසීය.

මේ උත්සවයේදී කලීල් මහතා විසින් පාකිස්තානයෙන් ගෙන ආ තෑගි කිහිපයක්ද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට පරිත්‍යාග කෙළේය.ශ‍්‍රී ලංකා ටෙලිකොම් සභාපතිනී ලීෂා ද සිල්වා චන්ද්‍රසේන මහත්මිය හා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අතුරු කමිටු සභාපති ඩී. එස්. ද සිල්වා යන මහත්ම මහත්මීහුද කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා