කඩුව ජනසතු කිරීම!

කඩුව ජනසතු කිරීම!

කඩුව හෙවත් ඉංගී‍්‍රසිය බමුණු කුලයේ ආබරණයක් ලෙස පැවැතිණි. එහෙත් ගෝලීය ගනදෙනු පුළුල්වෙත් ම තවදුරටත් එය සම්භාව්‍ය මට්ටමෙන් රැකගත නො හැකි ය.

අධ්‍යාපනයට, වෙළෙඳ්‍රමට මෙන් ම රැකියාවටත් ඉංගී‍්‍රසි භාෂාව අත්‍යවශ්‍ය වන යුගයක අපි ජීවත් වෙමු. ඒ අනුව සැමට ඉංගී‍්‍රසි අවශ්‍ය වේ. හෙවත් ඉංගී‍්‍රසි භාෂාව ජනසතු කළ යුතු වේ 1950 ගණන්වල ඉංගී‍්‍රසි පිළිබඳ සාක්ෂරතාව 14% තරම් අඩු මට්ටමක පැවැතිණි. මෙය 60% 70% දක්වා වර්ධනය කර ගතහොත් ශී‍්‍ර ලංකාවට මීට වඩා වේගවත් ගමනක් යා හැකි ය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ මහින්ද චින්තන අත්පොතෙහි මෙසේ සඳහන් වේ.

විශ්ව ගම්මාන සංකල්පය තුළ බරපතළ අපහසුතාවකට පත් ව සිටින අපේ දරු පරපුර ඉන් මුදා ගැනීම සඳහා ඉංගී‍්‍රසි භාෂාවෙන් සන්නද්ධ කිරීම ජාතික අවශ්‍යතාවෙකි. එහෙයින් ඉංගී‍්‍රසි භාෂා ප‍්‍රවීණතාව වර්ධනය කිරීමට ඉහළ ම පුමුඛත්වය ලබා දෙන්නෙමි. සෑම ශී‍්‍ර ලාංකික දරුවකුම ඉංගී‍්‍රසි බසෙහි ප‍්‍රවීණයකු කිරීම සඳහා ඉදිරි දස වසර පෙළගස්වනු ලැබේ.

ඉහත ඡේදය යථාර්ථයක් බවට පත්කරමින් ජීවන කුසලතාවක් ලෙස ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලබාදීමේ ජාතික වැඩසටහන පෙරේදා ආරම්භ විය. එය ඉතා කාලෝචිත පියවරක් බව පළමුව කිව යුතුය.

ඉංගී‍්‍රසි භාෂාව හා පරිගණක තාක්ෂණය උගත් කෙනකුට රැකියාවක් සපයා ගැනීම ඒ හැටි අපහසු නැත. මෙරටින් බැරි වුවහොත් පිටරටින් හෝ රැකියාවක් සොයා ගත හැකි ය. උපාධිධාරීන්ට නව රැකියා ලබාදීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය මත වැඩසටහනක් කි‍්‍රයාත්මක විය. ඒ මීට වසර කිහිපයකට පෙර ය. එහෙත් ඉංගී‍්‍රසි භාෂාවේ ප‍්‍රවීණත්වයක් නොතිබීම නිසා බොහෝ උපාධිධාරීන්ට පෞද්ගලික අංශයේ රැකියා නො ලැබිණි.

පරිගණක තාක්ෂණය නොදැනීමත්, ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳ ශක්‍යතාවක් නොවීමත් අද තරුණයකු මුහුණ දෙන බලවත් ගැටලුව වේ. දසක ගණනාවක සිට ම ඉංගී‍්‍රසි ඉගැන්වීමේ කටයුතු සිදුවුව ඒවා නිසි ඉලක්ක කරා ගමන් කළේ නැත.

පාසල් දරුවා පන්ති කාමරයේ දී ඉංගී‍්‍රසි ව්‍යාකරණය ඉගෙන ගත්ත ද සාහිත්‍යය ඉගෙන ගත්ත ද වෙළෙඳ ලෝකයේ දී ශිෂ්‍යයෝ අමාරුවේ වැටෙති. ඔවුනට චතුර ලෙස ඉංගී‍්‍රසි කතා කිරීමේ හැකියාව නැත. එවන් පුහුණුවක් ද අත්දැකීමක් ද නැත. භාෂාව මෙවලමක් ලෙස ගැනීමේ දී පළමුවෙන් කළ යුත්තේ කතා කිරීමය හෙවත් සජීවී ලෙස අදහස් හුවමාර කරගැනීම ය.

පොතේ ඉංගී‍්‍රසි හා කටේ ඉංගී‍්‍රසි අතර පරතරයක් පවතී. ජීවන කුසලතාවක් ලෙස ඉංගී‍්‍රසිය ගත් විට කටේ ඉංගී‍්‍රසි වඩා වැදගත් ය. පාසලේ අවුරුදු ගණනාවක් ඉංගී‍්‍රසි භාෂාව ඉගෙන ගන්නා සිසුන් ඉන් එළියට යන්නේ ඉංගී‍්‍රසියට හෙවත් කඩුවට බය පුද්ගලයන් ලෙසය. ඉංගී‍්‍රසි පිළිබඳ භීතිකාවක් අපගේ තරුණ පරපුර තුළ තිබේ.

මේ භීතිකාව තුරන් කිරීමට නම්; ඉංගී‍්‍රසියෙන් කතා කළ හැකි සමාජයක් ගොඩනැඟිය යුතුවේ. ඊට අදාළ හොඳ පසුබිමක් පෙරේදා ආරම්භ කළ ජාතික වැඩසටහන ඔස්සේ ගොඩනැගේ.

භාෂා අධ්‍යයනයට මුල් තැනක් දුන් ඉන්දියාවේ විශ්වවිද්‍යාල කිහිපයක දී අපේ ඉංගී‍්‍රසි ගුරුවරු පුහුණු කරනු ලැබේ. ඉනික්බිති ඉන්දියාවේ පුහුණුව ලත් පිරිස වෙතින් අනෙකුත් ඉංගී‍්‍රසි ගුරුවරුන් ද පුහුණු කෙරේ. ආණ්ඩුවේ එම පිළිවෙත ඉතා අගය කළ යුතු ය. ඉන්දියාව, චීනය, ජපානය, වියට්නාමය වැනි රටවල් ඉංගී‍්‍රසි අධ්‍යාපනය සඳහා මහත් පරිශ‍්‍රමයක් දරයි. එහි ප‍්‍රතිඵල අද ඔව්හු භුක්ති විඳිති.

අපි පෙරළා ගමට යමු. ගම නැතිව මේ රට සංවර්ධනය කිරීමේ ක‍්‍රමෝපායක් කිසිවකුටත් නිර්මාණය කළ නොහැකි ය. හේතුව වන්නේ ශී‍්‍ර ලංකාව පිටිසර ගම්මානවලින් සමන්විත රාජ්‍යයක් වීම ය.

ගමට ලෝකයේ අලුත් ම තාක්ෂණය කාන්දුවන්නේ ඉතා සෙමින් ය. ගමට භාෂා කුසලතා ගමන් කරන්නේ ඉතා මන්දගාමීව ය. ප‍්‍රශ්නය වන්නේ ගම පිළිසකර නොකොට රට හැදිය හැකි ද යන්න ය. ඊට පැහැදිලි පිළිතුරක් තිබේ. ගම පරිවර්තනයකට ලක් නොකොට රට ඉදිරියට ගෙන යා නො හැකිය. එසේ නම්; කළ යුත්තේ ගම හැදීම ය. ගමට අලුත් ඥානය පොම්ප කිරීම ය.

කොළඹට කිරි අපට කැකිරි යැයි සටන් පාඨයක් නිර්මාණය වූයේ මේ රටේ නායකයෝ ගම අත්හැර නගරය බදාගෙන කටයුතු කළ නිසා ය. මහින්ද චින්තනය යටතේ ඊට අනුබලයක් නොලැබේ.

නගරය ද ගම ද එක ම රේඛාවක සිට රට සංවර්ධනය කිරීමේ උපාය මාර්ග මහින්ද චින්තනයට ඇතුළත්ය. ඒ ගමන් මඟෙහි ගියොත් අපට ජයග‍්‍රහණය ලද හැකි ය.

ඉංගී‍්‍රසි පිළිබඳ පාඩම ඊට ආදර්ශයක් ලෙස ගත හැකි ය. ඉංගී‍්‍රසි භාෂාව රටේ සංවර්ධනයට යොදා ගැනීම මහින්ද චින්තනයේ අරමුණ ය. ඊට පෙර ධනපති ආණ්ඩු විසින් එය සකස් කරන ලද්දේ ඉහළපන්තියේ හැඩරුව ආරක්ෂා කිරීම සඳහා යොදාගත් මෙවලමක් හැටියට ය. අද එය මුළුමනින් ම වෙනස්කර තිබේ. ඉංගිරිසිය අප පාවිච්චි කරන්නේ ද දැනුම ලබා ගැනීම හා අලුත් ඥානය අතින් පෝෂණය වීමේ මෙවලමක් හෙවත් මාධ්‍යයක් විදියට පමණි.

ඉංගී‍්‍රසි පමණක් නොව වෙනත් අන්තර්ගත භාෂා ඉගෙන ගැනීමත් වැදගත් ය. ලතින් අමෙරිකාවට යන අය ස්පාඤ්ඤ භාෂාව උගත යුතු ය. අපි‍්‍රකාවට යන අය ඉංගී‍්‍රසි හා ප‍්‍රංශ භාෂාව උගත යුතුය. අරාබියට යන අය අරාබි හෝ පර්සියන් හෝ උගත යුතුය. එසේ නොවුණනොත් අදාළ රටවල පවතින නියම හැඟීම් තේරුම් ගැනීම දුෂ්කර වේ.

අප ගේ විශ්වාසයට හා දැනුමට අනුව ඉංග‍්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන උනන්දුව ඉතා වැදගත් ය. එබදු උනන්දුවක් මීට පෙර ආණ්ඩුවල තිබුණේ නැත. දැන් සිදුවිය යුත්තේ ආණ්ඩුවේ සහයෝගය ද ලැබ ශී‍්‍ර ලාංකේය සමාජය ඉංගී‍්‍රසිය අතින් පොහොසත් කිරීම ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා