බුද්ධිමත් පාරිභෝගිකයා දේශපාලන හාල්පාරුවන්ට අසුවෙන්නේ නෑ

බුද්ධිමත් පාරිභෝගිකයා දේශපාලන හාල්පාරුවන්ට අසුවෙන්නේ නෑ

බන්දුල ගුණවර්ධන - වෙළෙඳ, පාරිභෝගික කටයුතු හා සමූපකාර ඇමැති

 

වෙළෙඳ පොළේ ඇතැම් භාණ්ඩවල මිල ඉහළ යාමක් දක්නට තිබීම ගැනත් මේ පිළිබඳව විපක්ෂය නඟන චෝදනා ගැනත්, පාරිභෝගිකයා වෙනුවෙන් රජයේ ඇති වැඩපිළිවෙළ කෙසේද යන්න ගැනත්, උතුරේ අවතැන් ජනතාව උදෙසා විශේෂිත කි‍්‍රයාමාර්ග ගෙන තිබේද යන්න ගැනත්, වෙළෙඳ, පාරිභෝගික කටයුතු හා සමූපකාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ‘දිනමිණ’ සමඟ පැවැත් වූ සාකච්ඡාවකි මේ.

දශක තුනක් තිස්සේ රට විනාශ කළ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය විනාශ කරමින් ලබාගත් විජයග‍්‍රහණයට පසු ජනතාව සැනසුම් සුසුම් හෙළද්දී, භාණ්ඩ මිල ඉහළ නැඟීම පිළිබඳ කාරණය යළිත් මතුවෙලා එහි පසුබිම කුමක්ද?

බඩු මිල වැඩිවීම පිළිබඳ ඔය සටන් පාඨය විපක්ෂයේ නිර්මාණයක්. මෑත අතීතය දිහා විචක්ෂණශීලීව බැලුවොත් බොහොම පැහැදිලිව පෙනෙන දෙයක් තමයි, එල්.ටී.ටී.ඊ.යේ උපායමාර්ගය වුණේ ආණ්ඩුව කෙරෙහි ජනතා කලකිරීමක් ඇති කොට දකුණේ දැවැන්ත දේශපාලන අස්ථාවරභාවයක් නිර්මාණය වීමට සලස්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ගෙදර යැවීම බව. මොකද, ප‍්‍රභාකරන්ට ජීවත්වීමේ අයිතිය ලබාදීමට තිබූ ඒකායන මාර්ගය වුණේ එයයි.

මම නිතර පෙන්වා දෙන පරිදි නිදහසින් පසු ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුවකට මුහුණදීමට සිදුවූ දැවැන්තම අභියෝග හතරකට මේ ආණ්ඩුව මුහුණ දුන්නා. මේ අභියෝග ලෝකයේ අනෙක් රටවල් මත දැඩි පීඩනයක් ඇති කරද්දී එහි බලපෑම් අපටත් දැනුණා.

2008 ජූලි මාසයේදී බඩු මිල 28.3% කින් ඉහළ ගියා. මේ තත්ත්වය උපයෝගී කරගනිමින් මුලින් කියපු වුවමනාව සඳහා පෙනී සිටි විපක්ෂය ජීවන වියදම උහුලා ගන්න බැරි බව කියමින් සාමයේ ශාපය කියලා පාරට බහින්න, හැළි වළං පොළවේ ගහන්න වුණා.

මේ විරෝධතාවල සූක්ෂම අරමුණ වුණේ ඒ වනවිට බිත්තියට හේත්තු කර තිබූ ප‍්‍රභාකරන්ට හුස්ම ටිකක් ගන්න ඉඩ හදලා දෙන එක. මේ වැඩපිළිවෙළ තුළ සමහර මාධ්‍ය මෙන්ම මාධ්‍යවේදිනුත් හිටියා. එය කි‍්‍රයාවට නැඟීම වෙනුවෙන් ඩොලර්, පවුම්, ස්විස්ෆ‍්‍රෑන්ක් කුට්ටි පිටින් යෙදවුණා.

නමුත්, මේ සිව්මහා අර්බුදයන්ට කකුල් වෙව්ලන්නේ නැතුව, කොන්ද කෙළින් තියාගෙන මුහුණදීලා, කොතෙකුත් අපහාස උපහාස මැද මුහුණදීලා, ත‍්‍රස්තවාදය පරාජය කරමින්, ආර්ථිකය කඩා වැටෙන්නටත් නොදී නැඟී සිටින්න රජයට හැකිවුණා.

එහිදී, ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් රජයට තිබුණාද?

ඔව්. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මත පනවා තිබූ සියලු බදු ඉවත්කර විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද හඳුන්වා දුන්නේ ඒ නිසා. නමුත්, එජාප, ජවිපෙ සහ ද්‍රවිඩ සන්ධානය ඒකටත් විරුද්ධ වුණා. එයාකාර බදු සහනයක් ලබාදීම නිසා 2008 පමණක් රජයට රුපියල් මිලියන 9991/- ක ආදායමක් ඒ කියන්නේ රුපියල් බිලියන 10 ක් අහිමිවුණා. ඒ මුදල සමෘද්ධි සහනාධාරය ලබාදීමට යන මුදලට සමානයි.

ත‍්‍රස්තවාදය පරාජය කර යුද ජයග‍්‍රහණය ලබා ගැනීමට ආසන්න මාස 3 තුළ ලෝක ආර්ථික හා මූල්‍ය අර්බුදය උග‍්‍ර අතට හැරී තිබුණා. මහා භාණ්ඩාගාරයේ ආදායම රුපියල් බිලියන 50 කින් පමණ පහත වැටුණා.

ඒ අවස්ථාවේ රජයට සිදුවුණා 1% ක් වූ ජාතිය ගොඩනැගීමේ බද්ද 3% දක්වා ඉහළ දමන්න. එසේ නොකළානම් ආර්ථිකය පවත්වාගෙන යාම අසීරු වෙනවා. නමුත්, මේ අවස්ථාවේදී එල්.ටී.ටී.ඊ. හිතවාදී කුමන්ත‍්‍රණකාරයන් කිව්වේ ජාතිය ගොඩනැගීමේ බද්ද 3% ක් වනවිට බඩු මිල 300% කින් ඉහළ යනවා කියලා.

මැයි 01 දා ඉඳන් මැයි 18 දා වෙනකල් විපක්ෂයත්, ඇතැම් මාධ්‍යයත් ඔය 300% බඩු මිල කතාව අරන් ගියා. ඒකෙන් බැලුවෙත් දකුණ අස්ථාවර කරලා, අවුස්සලා අවසන් අවස්ථාවේදී හරි ප‍්‍රභාකරන්ට ඔක්සිජන් ටිකක් දෙන්න පුළුවන්ද කියලා. නමුත් ඒ කුමන්ත‍්‍රණ පරාජය වුණා. ප‍්‍රභාකරන්ගේ න්‍යාය පත‍්‍රයට අනුව දැන හෝ නොදැන කි‍්‍රයාත්මක වුණ විපක්ෂයේ හැසිරීම ගැන කවුරුහරි විද්වතෙක් ශාස්තී‍්‍රය පර්යේෂණයක් කිරීම සුදුසුයි කියලා මම යෝජනා කරනවා.

එතකොට ප‍්‍රභාකරන්ගේ ඊළාම් රාජ්‍යය ගොඩනගාදීමට විපක්ෂය හා මාධ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ පවා දැන හෝ නොදැන කි‍්‍රයාත්මක වුණ සූක්ෂම වැඩපිළිවෙළ ගැන අනාවරණ වෙන නිසා. මේ පර්යේෂණ වසර 3000 දී හරි 5000 දී හරි ඉපදෙන කෙනෙක්ට වුණත් වටිනවා. රට හමුවේ තිබූ තීරණාත්මකම අවස්ථාවක විපක්ෂයේ හැසිරීම ගැන දැනගන්නත් එයින් ඉඩ ලැබෙනවා.

විපක්ෂය නම් කියන්නේ රජයට එවැනි වැඩපිළිවෙළක් නැහැ කියලයි?

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී එජාප මහලේකම්වරයාත් කියලා තිබුණා රජය නැවතත් බඩු මිල වැඩි කරන්න යනවා කියලා. එජාප පාර්ලිමේන්තු කණ්ඩායම ඇතුළෙ, පක්ෂය ඇතුළෙ තියෙන දැවැන්ත අර්බුදය වහගන්න ඒ අය මේ විධියේ නොයෙක් කතා කියනවා. අද තියෙන්නේ තිස්ස අත්තනායක, රවී කරුණානායක වගේ තුන් හතර දෙනෙක් කෘත්‍යාධිකාරි විධියට වැඩකරන එජාපයක්.

ඒ කිහිපදෙනා ආණ්ඩු විරෝධී හුදකලා සටනක යෙදෙනවා. හැබැයි ඩී.එස්., ඩඩ්ලි උරුමය සහිත එජාප බහුතරය ඒ පුද්ගලයෝ කිහිපදෙනා සමඟ නැහැ. ඒ බහුතරය රටට හිතවත් දේශපාලනයක් නිර්මාණය විය යුතු යැයි කල්පනා කරනවා.

මේ බහුතරයේ ස්ථාවරය සහ පෙර කී කෘත්‍යාධිකාරිත්වය අතර ගැටුමක් තියෙනවා. සමහර රැස්වීම්වල ගුටි බැට පවා හුවමාරු වූ බව පුවත්පත්වල පළවුණා. ඒ ඔය දැවැන්ත අභ්‍යන්තර අර්බුදය නිසා. ඒක වහගන්න නොයෙක් දේවල් කියනවා.

 නැත්නම් ගිය වසරේ 28.3% ක් වෙච්ච බඩු මිල වැඩිවීමේ වේගය මේ මැයි මාසයේ 3.3% ට අඩුවෙල තියෙද්දිත් ජීවත්වෙන්න බැරි අර්බුදයක් ගැන කතා කරන්නේ නැහැනේ. ඒ නිසා එහෙම අර්බුදයක් ගැන කියන කාට හරි එක්කෝ මානසික ආබාධයක් තියෙනවා, නැත්නම් ස්නායු දුබලතාවක් ඇති.

නමුත්, වෙළෙඳපොළ දිහා බලද්දී යම් යම් භාණ්ඩවල මිල ඉහළ යාමක් ඇති බව ඔබ පිළිගන්නවාද?

එළවළු මිල ගණන්වල ඉහළ යාමක් දකින්න තියෙනවා. සෑම භාණ්ඩයකම මිල තීරණය කරන්නේ රජය නෙවෙයි. විශේෂයෙන් කෘෂි නිෂ්පාදනවල මිල ගණන් කොහේ වුණත් රජයක් තීරණය කරන්නේ නැහැ. ඒ වගේ දේවල්වල නිෂ්පාදනය ඉහළ ගියාම මිල පහත බසිනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් නැතිවුණාම මිල ඉහළ යනවා. මේක තමයි මූලික මිල න්‍යාය. ඒක සදාතනික දහමක්.

මාස 2 කට විතර කලින් අඹ අවාරේ නිසා අඹ ගෙඩියක් රුපියල් 150/-ට විතර ගියා. හැබැයි දැන් අඹ වාරේ. ගෙඩියක් රුපියල් 15/-යි 20/-යි. පසුගිය වකවානුවේ තක්කාලි කිලෝව රුපියල් 5/-ට විකුණගන්න බැරිව ගොවීන් අසරණ වෙලා හිටියා. ධාරාණිපාත වර්ෂාව, නායයාම් වගේ දේවල්, නිසා උඩරට ප‍්‍රදේශයේ වගා පාලු වුණා. දැන් කැරට්, බීට්, බෝංචි වගේ එළවළුවල මිල ඉහළයි.

හැබැයි ගමේ එළවළු වර්ග අඩුවට තියෙනවා. කැරට්, බීට් කෑවේ නැහැ කියලා කවුරුත් මැරෙන්නේ නැහැනේ. ඒ නිසා ආදේශක එළවළු තෝරගන්න පාරිභෝගිකයාට පුළුවනි. වෙළෙඳපොළට ගිහින් මැසිවිලි නඟනවා වෙනුවට බෝංචි ගණන් නිසා මෑකරල් ගන්න පුළුවනි. එතකොට උඩරට එළවළුවලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. එහි බලපෑම ඒ එළවළු මිල ගණන් පහත වැටීමයි.

පසුගිය කාලේ කිරිපිටිවලටත් මේ දේමවුණා. කිරිපිටි ග‍්‍රෑම් 400 රුපියල් 320/- ට ගියා. ජනතාව කීයක් හරි වැඩියෙන් ගියත් කමක් නැහැ කියලා දියර කිරි බොන්න ගත්තා. කිරිපිටි ඉල්ලුම පහත වැටුණා. පස්සේ මිලත් පහත වැටුණා.

තිරිඟු පිටි මිල ඉහළ ගියාම සහල් පරිභෝජනයට ජනතාව වැඩියෙන් පෙළඹුණා. එතැනදී වුණෙත් ඒකමයි. 70 – 77 කාලයේ මේ තත්ත්වය වඩාත් දැඩිව බලපෑවා. ලොකුලූණු වෙනුවට ලීක්ස් ගන්නත්, සීනි වෙනුවට හකුරු ගන්නත් ජනතාව පෙළඹුණා.

දැන් එවැනි ස්වභාවයක් නැහැ. නමුත්, ජනතාව තාර්කික පාරිභෝගිකයන් විය යුතුයි. මේ වගේ කාලයක තාර්කික පාරිභෝගිකයෙක් බෝංචි, කැරට්, බීට් වෙනුවට වෙනත් ගමේ එළවළු තෝරා ගනියි. මොකද මේ වැඩි මිල මේ විධියටම තියෙන්නේ නැහැ. බුද්ධිමත් පාරිභෝගිකයා තමන්ව විකුණගන්න දේශපාලන හාල්පාරුවන්ට ඉඩ තියන්නේ නැහැ.

බුද්ධිමත් පාරිභෝගිකයන්ට මේ වෙළෙඳපොළ ප‍්‍රවණතාවන්ට මුහුණදීමේදී ඔබේ පැත්තෙන් තල්ලුවක් දෙන්න බැරිද?

අපි හොඳ තල්ලුවක් දීලයි තියෙන්නේ. ඒ තමයි ලක් සතොස වගේ ආයතන ඇතිකිරීම. අද ඒවා තරගකාරී වෙළෙඳපොළේ ඉන්නවා. මීට කලින් වගේ පෞද්ගලික අංශයට අභිමත පරිදි පමණක් වෙළෙඳපොළ තීරණය කරන්න ඒ නිසා නොහැකි වෙනවා. ඉස්සෙල්ලා පෞද්ගලික අංශය ආණ්ඩු පෙරලුවා. ආණ්ඩු දණ ගැස්සුවා.

නමුත් 2007 දී මම වෙළෙඳ ඇමැති වුණායින් පස්සේ ඒ තත්ත්වය වෙනස් කළා. ප‍්‍රධාන වෙනස තමයි ආර්ථික මධ්‍යස්ථාන ජාලයක් ඇතිකිරීම. දැන් රටපුරා ආවරණය වන අන්දමේ එවැනි ජාලයක් අපට තියෙනවා.

ඉදිරියේදී කිලිනොච්චිය, මැදවච්චිය හා මඩකළපුවේත් ඒවා ඇති කරනවා. මේවා සහනයක් වෙන්නෙ පාරිභෝගිකයාට පමණක් නෙවෙයි. ග‍්‍රාමීය නිෂ්පාදකයාට අතරමැදියකුගෙන් තොරව තම නිෂ්පාදනය අලෙවි කර ගන්නත් ඉඩ සැළසෙනවා.

අනෙක ඉතිහාසයේ නොවූ විරූ පරිදි රාතී‍්‍ර වෙළෙඳසල් ජාලයකුත් මෙයින් ඇතිවුණා. පාන්දර 4.30 ඉඳන් රාතී‍්‍ර 11 දක්වා ඒවා විවෘත වෙනවා. දැන්, රාති‍්‍රයේදී ගමන් බිමන් යාමට බිය සැකක් නැති නිසා ඉදිරියේදී මේවා වඩාත් ජනප‍්‍රිය වෙයි.

අනෙක, එජාප සමයේ පෞද්ගලික අංශයට පවරලා විනාශකර දැමූ සතොස වෙනුවට ලක් සතොස ශාඛා ජාලයක් ඇතිකිරීම. දැනට ශාඛා 110 ක් විවෘතයි. ඕනෑම සුපිරි වෙළෙඳසල් ජාලයක් සමඟ තරග කරන්න තරම් අද එය පුළුල්. මේ වසර තුළදීම ලක් සතොස සුපිරි වෙළෙඳසල් ජාලයේ ප‍්‍රමුඛයා වෙයි.

ඊළඟට, සුපිරි වෙළෙඳසල් යුගයේ පසුබෑමට ලක්ව තිබූ සමූපකාරය යළි පණගන්වා උතුරු නැඟෙනහිරත් ඇතුළුව “කෝප් සිටි” වෙළෙඳසැල් 363 ක් අවුරුද්දක් තුළ විවෘත කළා. ජූනි 30 දා වනවිට “මිනී කෝප් සිටි” ගණන 1000 ක් වෙනවා. සමූපකාර ව්‍යාපාරය නගාසිටුවීමට රජය විශාල ලෙස මූල්‍යාධාර ලබාදුන්නා. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ (ඉඊඛ්) ශාඛා ජාලයත් පුළුල් කළා. ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව (ඕර්ඛ්) ප‍්‍රතිව්‍යුහගත කරනවා.

මේ විධියට වෙළෙඳපොළ තුළ ශක්තිමත් රාජ්‍ය හා සමූපකාර අංශයක් ඇතිකොට තිබෙනවා. පෞද්ගලික අංශයට වෙළෙඳපොළ තනියම හැසිරවීමට නොහැකිවන පරිදි සී/ස රාජ්‍ය වාණිජ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඇති කළා.

ඇ.ඩො. මිලියන 10 ක බැංකු ඇපකරයක් රජය ඊට ලබා දුන්නා. අසාමාන්‍ය පරිදි භාණ්ඩ මිල ඉහළ දමන්න, හිඟ ඇතිකරන්න උත්සාහ කළොත් මේ ආයතනය ඕනෑම මොහොතක මැදිහත් වෙන්න සූදානම්.

සහල් මිල ඉහළ යාමක් ගැන පසුගිය දිනවල නොයෙක් මත පළවුණා. නමුත්, රජයේ පැහැදිලි ස්ථාවරය ගොවියාට රුපියල් 30/- ක සහතික මිලක් වී කිලෝවක් සඳහා ලබාදෙන අතර සහල් කිලෝවක මිල රුපියල් 60 – 70 අතර පවත්වා ගැනීම.

ඊට පටහැනිව යන්න බැහැ. එහෙම වුණොත් රජය සහල් ගෙන්වනවා. ඒක ආණ්ඩු අතර සිදුවන ගනුදෙනුවක්. ඒ තීරණ ගන්නේ මමවත් කවුරුවත් නෙවෙයි. ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඇති ජීවන වියදම් හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කැබිනට් අනුකාරක සභාව. එහිදී ගන්නා පොදු තීරණ කි‍්‍රයාවට නංවනවා.

ආරක්ෂක හමුදා විසින් මුදාගනු ලැබූ උතුරේ අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් ඔබේ අමාත්‍යංශය යටතේ යම් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වෙනවාද?

ජනාධිපති උපදේශක බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කි‍්‍රයාත්මක වන උතුරු වසන්තය ජාතික පුනර්ජීවන වැඩපිළිවෙළ යටතේ මගේ අමාත්‍යංශයටත් වගකීම් කොටසක් පැවරුණා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඇඳුම්, බෙහෙත්, සාප්පු බඩු වගේ දේවල් සහන ගම්මානවල ජනතාවට ඉතාම සාධාරණ හා නිශ්චිත මිලකට ලබාදීම වෙනුවෙන් අපි පුළුල් වෙළෙඳ ආයතන ජාලයක් ඇති කළා.

ඒ අනුව එම සහන ගම්මාන 4 හි කෝප් සිටි 30 ක් විශාල ප‍්‍රමාණයේ ලක් සතොස ශාඛා 9 ක්, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව (ඉඊඛ්) ශාඛා 05 ක් සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඔසුසල් 5 ක් ආදී වශයෙන් එය සමන්විතයි. දැනටමත් මේ ඉලක්කයෙන් 80% සම්පූර්ණයි. ඉතිරි 20% ත් මේ මාසය තුළදීම සම්පූර්ණ වෙනවා. එවිට, මේ ජනතාවට කොළඹ මිල ගණන්වලටම භාණ්ඩ හා සේවා ලබා ගැනීමට පුළුවනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා