දරුවන් වෙනුවෙන් කොළඹ විවෘත යි

දරුවන් වෙනුවෙන් කොළඹ විවෘතයි

කුණු ආසියාවේ දරුවන් ගැන අවධානය යොමු කරන සාර්ක් ළමා සමුළුවක් ඊයේ කොළඹ දී ආරම්භ විය. සාර්ක් සංවිධානය ළමයින් පිළිබඳ කතිකා ව ආරම්භ කළේ 1986 දී ඉන්දියාවේ සිට ය. 1992 දී දෙවන සමුළුව ශ‍්‍රී ලංකාවේ දී පැවැත්විණි. 1996 දී තෙවන සමුළු ව පාකිස්තානයේ දී පැවැත් වූ අතර නැවත සිව්වන සමුළුව කොළඹ ට පැමිණ තිබේ. වසර දහතුනක ට පසු ව පැවැත්වෙන මේ සමුළු ව ශ‍්‍රී ලංකාව ට අතිශයින් ම වැදගත් වේ.

යුද්ධයෙන් පසු ව අප ගේ අනාගතය හෙවත් දරුවන් ගැන සංවාද කිරීමටත් අවශ්‍ය වැදගත් තීන්දු ගැනීමටත් අවකාශය දැන් උදා වී තිබේ. එය අප ට මෙන්ම දකුණු ආසියා කලාපයට ම තීරණාත්මක බලපෑමක් කරනු ඇත.මනුෂ්‍යයාට ඇති වැදගත් ම වස්තුව දරුවා යැයි බුදුන් වහන්සේ වදාළ හ. අල්ලා දෙවියන් ගේ නාමයෙන් දරුවන් ට ඉගැන්වීමට කැප වෙයල්ලා යැයි ඉස්ලාම් ආගම උගන්වයි. දරුවන් අප ගේ අනාගතය බවත් ඔවුන් ට හොඳ ම දේ ලබා දිය යුතු බවත් බොහෝ දෙනා කියති. එහෙත් ලෝකය පුරා දරුවන් ගේ තත්ත්වය අප හිතන තරම් යහපත් නැත.

ඉතියෝපියාවේ දරුවෝ කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙති. ආසියාවේ දරුවන් අතර මන්දපෝෂණය ශීඝ‍්‍රයෙන් පැතිර යයි. එක් වාර්තාවකින් කියැවෙන්නේ දකුණු ආසියාවේ දරුවන් ගේ පෝෂණ මට්ටම ඉතා පහළ බැස ඇති බව ය. ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, බංගලිදේශය, නේපාලය, ඇෆ්ගනිස්තානය, මාලදිවයින හා ශ‍්‍රී ලංකාව ඊට අයත් වේ.සාර්ක් කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට මෙරට දරුවන් ගැන යම් තරමකින් හෝ සතුටු විය හැකි ය. ශ‍්‍රී ලංකාවේ උපතේ දී මිය යන දරුවන් ගේ ගණන දහසකට හතළිහක් විය. අද එය පහ දක්වා අඩු වී ඇත. පාසල් හැර යන්නන් ගේ ප‍්‍රමාණය අඩු වී ඇත. යුද්ධයක් පැවැති රාජ්‍යයක් වුව මෙරට දරුවන් ගේ මන්ද පෝෂණය දකුණු ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව ගන්නා විට සතුටුදායක ය.

ඉන්දියාවේ දරුවන් අතර මන්ද පෝෂණය පැතිර යෑම ශීඝ‍්‍ර ව්‍යාප්තියක් දක්වයි. ඉන්දියාවේ, බංගලිදේශයේ හා නේපාලයේ වීදි දරුවන් ගේ ප‍්‍රමාණය ඉහළ යමින් පවතී. ශ‍්‍රී ලංකාවේ එය පහළ යමින් පවතී. දරුවන් ට සැබෑ ලෙස ම ආදරය කරන රාජ්‍ය නායකයකු යටතේ ඒ තත්ත්වය තවත් සතුටුදායක විය යුතු ය.අප ට බලපාන ප‍්‍රධාන ප‍්‍රශ්න දෙකක් වන්නේ දරුවන් සම්බන්ධ අපරාධ ඉහළ යමින් පැවතීම හා දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ගැනීමේ වර්ධනයක් දක්නට ලැබීම ය. ළමා හා යෞවන ප‍්‍රඥප්තිය ට අනු ව වයස අවුරුදු දාහතරට අඩු අය දරුවන්සේ සලකති. එම වයස් කාණ්ඩයේ දරුවන් අතරින් සැලකිය යුතු ප‍්‍රමාණයක් මෙහෙකාර සේවයේ යොදා ගෙන තිබේ.

දුප්පත්කම ඊට ප‍්‍රධාන හේතු ව වන අතර පවුලක විශාල දරුවන් ප‍්‍රමාණයක් සිටීම තවත් හේතුවක් ලෙස සලකනු ලැබේ. විශේෂයෙන් මෙර ට වතු අංශය ආශ‍්‍රිත දරුවන් ගේ තත්ත්වය කනගාටුදායක ය. මේ අතර බාල – වයස්කාරයන් ලිංගික අපයෝජනයෙහි තබා ගැනීමේ ප‍්‍රවණතාවක් ද අප රටෙහි දක්නට ලැබේ.ඉතා කනගාටුදායක තත්ත්වයක් වන්නේ පාසල් දැරියන් කෙලෙසා ඝාතනය කිරීමේ අපරාධ දිනෙන් – දින අසන්නට ලැබීම ය. පිරිමි ළමයින් ලිංගික කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රකට රාජ්‍යයක් ලෙස අප‍්‍රසන්න ප‍්‍රසිද්ධියක් මීට කලකට පෙර ශ‍්‍රී ලංකාව ට තිබිණි. ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ට අදාළ ප‍්‍රසිද්ධියක් ද එල්. ටී. ටී. ඊ. සංවිධානය හේතුවෙන් මෙරටට ලැබී තිබිණි.

කොටි සංවිධානය විනාශ කර ඇතත් දරුවන් සම්බන්ධ අපරාධවල අඩුවීමක් දක්නට නො ලැබේ. වැඩිහිටියන් ගේ ලිංගික ගැටලු මත දරුවන් මරා දැමූ අවස්ථා ද අප රටෙන් වාර්තා වී තිබේ. එක්තරා මවක් තම අනියම් පුරුෂයා ලවා තම පුත‍්‍රයා මැර වූ ආකාරය මීට මාස කිහිපයක ට පෙර රට ම කැල ඹූ ප‍්‍රවෘත්තියක් විය.හෝඩියේ සිට විශ්ව විද්‍යාලයය දක්වා ම නොමිලේ අධ්‍යාපනය ලබාදීමේ ක‍්‍රමයක් ශ‍්‍රී ලංකාවේ පවතී. නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ට අනු ව අප ගේ දරුවන් ට තවත් අධ්‍යාපන පහසුකම් රැසක් ලැබේ. එහෙත් දරුවකු පාසලක ට ඇතුළත් කර ගැනීමේ දී බලපාන ප‍්‍රශ්න අතිශය සංකීර්ණ ය. වරකාපොළ ප‍්‍රදේශයේ පියෙක් තම දරුවා පාසලකට ඇතුළත් කර ගැනීම ට නො හැකි ව වස පානය කොට දිවි නසා ගත්තේ ය.

1945 නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කරන විට මෙරට ධනපති පන්තිය ඊට විරුද්ධ විය. ශ‍්‍රී ලංකාවේ දිළිඳු දරුවන් ගේ අධ්‍යාපන අයිතිය ට එරෙහි ව කටයුතු කරන අය අදටත් කි‍්‍රයාත්මක වෙති.විසිවන සියවසේ ආරම්භයත් සමග දරුවන් පිළිබඳ ලෝක සංවාදයක් ඇරැඹිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමයින් ට අදාළ ප‍්‍රඥප්ති ගණනාවක් සම්මත කර ගත්තේ ය. තව ද ළමයින් මූලික කරගත් අන්තර්ජාතික වැඩසටහන් ගණනාවක් කි‍්‍රයාත්මක කළේ ය. එහෙත් ශ‍්‍රී ලංකාව වැනි රටවලට මේවා ගලා ආවේ ඉතා සෙමින්ය.

නිදසුනක් ගතහොත් ළමයින් සඳහා අයිතිවාසිකම් ඇති බව ද වෙන ම නීති පද්ධතියක් ඇති බව ද අප ගේ වැඩිහිටියෝ නො දනිති. තව ම දරුවන් ගේ අයිතිය ඇත්තේ වැඩිහිටියන් වෙත යැයි කල්පනා කරන ඔව්හු දරුවන් තමන් ගේ පදයට නැටවීමට වෑයම් කරති. දරුවන් ගේ ස්වාධීනත්වය හා නිදහස ආරක්ෂා කිරීමට අප ගේ මාපියෝ කල්පනා නො කරති.දකුණු ආසියා පැසිපික් බියුරෝව 1990 දී රටවල් දාහතරක් සම්බන්ධ කර ගෙන සැමට අධ්‍යාපනය යන තේමාව යටතේ වාර්තාවක් ඉදිරිපත් කළේ ය. මේ රටවල් ගොන්නට ශ‍්‍රී ලංකාව ද ඇතුළත් විය. වසර කිහිපයක ඇවෑමෙන් බියුරෝ ව සමීක්ෂණයක් කළේ ය. එහි දී ශ‍්‍රී ලංකාව ට විශිෂ්ට සාමාර්ථයක් ලැබිණි.

අනෙකුත් රටවල් දහ තුනට වඩා මැනැවින් අධ්‍යාපන අරමුණු ජය ගන්නට ශ‍්‍රී ලංකාව සමත් වී තිබිණි. අදටත් අප ගේ අධ්‍යාපනය නරක නැත. එහෙත් ප‍්‍රශ්න පවතී. එක් අතකින් ගම හා නගරය අතර පාසල් වල පහසුකම් පිළිබඳ ප‍්‍රශ්නයක් පවතී. ගුරුවරුන් පහසුකම් සහිත පාසල් හි රැඳෙන අතර දුෂ්කර පාසල් වල ගුරු හිඟය සදාකාලික ගැටලුවක් බව ට පත් ව තිබේ.දරුවන් පිළිබඳ ජාතික සංවාදයක් ඇති කිරීම ඉතා වැදගත් ය. කලාපීය මට්ටමේ තීන්දු – තීරණ ඒ ඔස්සේ සාකච්ඡාවට ගත හැකි ය. අප ට හැඟෙන පරිදි පළමු ව සිදු විය යුත්තේ දරුවා ගේ ලෝකය මැනැවින් වටහා ගැනීම ය. ඔවුන් වැඩිහිටි සමාජයෙන් ඉවත් ව හුදෙකලා ලෝකයක තනි නො විය යුතු වුව දරුවාට අනන්‍ය සිතිවිලි ලෝකයක් ඇති බව අමතක නො කළ යුතු ය.

වැඩිහිටියා කි‍්‍රයාත්මක විය යුත්තේ ළමයා ගේ මාර්ගෝපදේශකයා ලෙස ය. අපේ රටේ වැඩිහිටියන් ගේ වැරැදි ආකල්ප දෙකක් පවතී. පළමුවැන්න දරුවා වැඩිහිටියකු ලෙස සලකා ඔවුන්ගෙන් වැඩ කරවා ගැනීම ය. දෙවැන්න වැඩිහිටියා ද ළමා ලෝකයට ඇතුළත් ව දරුවකු සේ කටයුතු කිරීම ය. මේ ක‍්‍රම දෙක ම ළමයින් සඳහා ගැළපෙන්නේ නැත.දරුවන්ට බෙහෙවින් ආදරය කරන රාජ්‍ය නායකයකු අප ට සිටී. එතුමා දකුණු ආසියානු සහයෝගීතා සංවිධානයේ සභාපතිවරයා ද වේ. මේ අනුව ඊයේ ආරම්භ කළ ළමා සමුළුවෙන් ප‍්‍රයෝජන රැසක් ලැබිය හැකි ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා