අද නැඟෙනහිර ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තියෙනවා

අද නැඟෙනහිර ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තියෙනවා

උසස් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය
විශ්වා වර්ණපාල

ටට විදේශ ආධාර නො ලැබීමේ අවදානමක් පවතින බවට මතවාදයක් පැතිර යද්දී උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය වෙනුවෙන් ලෝක බැංකුවෙන් පසුගියදා සැලකිය යුතු ආධාර මුදලක් ලැබිණි. එම මුදල් සංවර්ධනය සඳහා යෙදෙවෙන ආකාරය හා කාලීන දේශපාලනය පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය විශ්වා වර්ණපාල සමඟ කළ කතාබහ ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

* විදේශීය ආධාර නොලැබීම් පිළිබඳ ඇතැම් අය මැසිවිලි නගද්දී උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය වෙනුවෙන් මෑතකදී ලෝක බැංකුවෙන් සැලකිය යුතු ආධාර මුදලක් ලැබුණා. ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ විශේෂයෙන් ම උපාධි අපේක්ෂක අධ්‍යාපනය තුළ ගුණාත්මකභාවය වර්ධනය කරලීම සඳහා ලෝක බැංකුව හරහා පළමුවන අදියරේදී අපට ඩොලර් මිලියන පනස් එකක ආධාර මුදලක් ලැබුණා. ඇත්තටම ඒක අප ලැබූ ජයග‍්‍රහණයක්.

සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය තුළ අධ්‍යාපනය ලබන හැත්තෑ දෙදහසක් පමණ වන ශිෂ්‍ය ප‍්‍රජාවගේ අධ්‍යාපන කටයුතු ගුණාත්මක වශයෙන් නංවාලීමට එමගින් හැකියාව ලැබෙනවා. රටේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි විශ්වවිද්‍යාල ආරම්භ කරමින් සාපේක්ෂ වශයෙන් විශාල ශිෂ්‍ය ප‍්‍රජාවකට උපාධිය ලබා ගැනීමේ අවස්ථාව උදාවීම නිසා උපාධියේ ගුණාත්මකභාවය පිරිහී ඇති බවට මතයක් ගොඩනැගී තියෙනවා.

තවත් අතිවිශාල ශිෂ්‍ය ප‍්‍රජාවක් බාහිර උපාධි අපේක්‍ෂකයින් ලෙස ලියාපදිංචි වී උසස් අධ්‍යාපනය ලැබීම නිසා මේ තත්ත්වය වඩාත් තීවුර වෙලා. එක් අතකට ඒක ලංකාවට පමණක් සුවිශේෂී වූ තත්ත්වයකුත් නෙවෙයි. එංගලන්තයේ පවා රතු ගඩොලින් තැනූ විශ්වවිද්‍යාල (red brick) ක‍්‍රමය ව්‍යාප්ත වූ අවධියේ මේ ආකාරයේම මතයක් ගොඩනැඟුණා. ඒ වෙලාවේත් එංගලන්තය පවා කි‍්‍රයා කළේ පැවති විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අධ්‍යාපනය ඉතා ඉහළ මට්ටමට ගෙන ඒමට කි‍්‍රයා කිරීමයි.

* රටේ පොදු සංවර්ධන කි‍්‍රයාවලියේදී උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට වැඩි වැදගත්කමක් හිමිවනු ඇතැයි ඔබ විශ්වාස කරනවාද?

අනිවාර්යයෙන්ම මුළු ලෝකයේම සංවර්ධනයට දායක කරගත හැකි මෙවලම උසස් අධ්‍යාපනය බව අද වෙද්දී ලෝක බැංකුව පවා පිළිගන්නවා. උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය පළල් කිරීම හා දියුණු කිරීම තුළින් ආර්ථික සංවර්ධන වේගය වැඩිකරන්නට පුළුවන්. දරිද්‍රතාවය අවම කරන්නට පුළුවන්. සමාජ සංවර්ධනය වඩා විධිමත් කරන්නට පුළුවන්. විසිඑක්වන සියවසට ගැළපෙන අධ්‍යාපන ක‍්‍රමයක් නිර්මාණය කිරීම මගින් සමාජ ආර්ථික පරිසරය ගුණාත්මක වශයෙන් වෙනස්කරන්නට පුළුවන්.

* විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල්වීමත්, බාහිර උපාධි අපේක්‍ෂකයන්ගේ සංඛ්‍යාව ඉහළයාමත් නිසා උසස් අධ්‍යාපනයේ ප‍්‍රමිතිය හා ගුණාත්මකභාවය පිළිබඳ සැක සංකා මතුවී ඇතත් විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට හැක්කේ තාමත් සුළු ශිෂ්‍ය ප‍්‍රතිශතයකට නෙවෙයිද?

පසුගිය අවුරුද්දේ අ. පො. ස. උසස්පෙළ විභාගයට පාසල් නවදහස් ගණනකින් එක්ලක්ෂ අනූඅටදහස් අටසිය අනූහයක් පෙනී හිටියා එයින් එක්ලක්ෂ තිස් එක්දහසක් පමණ විභාගය සමත්. ඒත් සමත් ශිෂ්‍ය ප‍්‍රමාණයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අප ඇතුළත් කරනු ලබන්නේ විසිදෙදහසක් පමණයි. ඒ නිසා ම උසස් අධ්‍යාපනය සඳහා වරම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ලක්ෂයකටත් වැඩි පිරිසක් ඒ සඳහා අවස්ථාව නොලැබී සිටින බවක් පෙන්නුම් කරනවා.

ඒ නිසාම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නේ ඉතා සුළු පිරිසක් බව පැහැදිලියි. ඒත් විශ්වවිද්‍යාල සඳහා ඇතුළත්වීමට සුදුසුකම් නොලැබූ උසස් පෙළ සමත් පිරිසෙන් අති බහුතරයක් අදවෙද්දි බාහිර උපාධි අපේක්ෂකයින් ලෙස ලියාපදිංචි උපාධිය ලබා ගැනීමේ ප‍්‍රවණතාවක් පෙන්නුම් කරනවා. ඒ කොහොම වෙතත් උසස්පෙළින් පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් නොලබන ශිෂ්‍ය ප‍්‍රජාවට වෙනත් විකල්ප මගක් පෙන්වාදීමට අප කටයුතු කරනවා.

ශී‍්‍ර ලංකා උසස් තාක්ෂණ ආයතනය එයින් එකක්. 1995 දී මං උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදී මේ ආයතනය පිහිටෙව්වේ විසිඑක්වෙනි සියවසට තාක්ෂණික දැනුමෙන් යුත් පුරවැසියන්ගේ අවශ්‍යතාවය වඩා තදින් දැනෙන නිසයි. එහි අගය වඩාත් දැනෙන්නේ දැන්. මේ ආයතනය සතුව දැනට රටපුරා විද්‍යාල 18ක් තියෙනවා. එම විද්‍යාල සංඛ්‍යාව 23ක් දක්වා වැඩි කිරීමට දැන් කටයුතු සූදානම්. ඒ නිසා ඉදිරි කාලය තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් නොලැබූවන් තවදුරටත් තාක්ෂණික විද්‍යාල හරහා උසස් අධ්‍යාපනය ලැබීමේ හැකියාව පුළුල් වෙනවා.

* එල්. ටී. ටී. ඊ. ය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව උතුරේ ලක්‍ෂ තුනකට ආසන්න ජනතාවක් සහන ගම්මානවල වාසය කරනවා. මේ අයගේ දරුවන්ට මෙම ප‍්‍රතිලාභ ලබාදීමට පියවර ගෙන ඇත්තේ මොන ආකාරයෙන්ද?

ලෝක බැංකුවේ නියෝජිතයන් සමඟ අප පැවැත්වූ සාකච්ඡාවේදීත් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කෙරුණා. යාපනය විශ්වවිද්‍යාලයට මිලියන හතළිහක්, වව්නියාවේ විශ්වවිද්‍යාල මණ්ඩපයට මිලියන හැටක්, වව්නියාවේ තාක්ෂණික විද්‍යාලයක් පිහිටුවීම සඳහා තවත් මිලියන හැටක් ආදී වශයෙන් අතිවිශාල මුදල් ප‍්‍රමාණයක් ලබාදීමට ලෝක බැංකුව කැමැත්ත ප‍්‍රකාශ කළා. මේසා මුදල් සම්භාරයක් උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ලැබුණු පළවෙනි අවස්ථාව මේකයි.

යාපන අර්ධද්වීපය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉතාමත් දියුණුව පැවති ප‍්‍රදේශයක්. ඒත් එල්. ටී. ටී. ඊ. යේ ත‍්‍රස්තවාදී කි‍්‍රයාමාර්ග නිසා ආර්ථික හා සමාජීය ක්ෂේත‍්‍රය වගේම අධ්‍යාපන ක්ෂේත‍්‍රයත් බිඳවැටුණා. දැනට මා සතුව ඇති තොරතුරුවලට අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ සිසුසිසුවියන් 340ක් මෙන්ම පාසල් අධ්‍යාපනය ලැබූ දරුවන් 66,000ක් අවතැන්වී සිටිනවා.

මේ අය හා පවුලේ අය පිළිබඳ තොරතුරු එක්රැස් කර, මේ අයගේ අධ්‍යාපනය නඟාසිටුවීමට කළයුතු ප‍්‍රතිකර්ම පිළිබඳ කරුණු සොයා බැලීමට යාපනය විශ්වවිද්‍යාලයෙන් හා වව්නියාව විශ්වවිද්‍යාල පරිශ‍්‍රය නියෝජනය වන පරිදි ආචාර්යවරුන් දෙදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා. ඔවුන්ගේ වාර්තාව ලැබුණු වහාම කළයුතු දේ කරනවා. උතුරේ පමණක් නොව නැඟෙනහිර ප‍්‍රදේශයට ද උසස් අධ්‍යාපනයේ සංවර්ධනය පුළුල් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

ඔළුවිල් විශ්වවිද්‍යාල පරිශ‍්‍රයට කුවෙට් ආධාර යටතේ අතිවිශාල ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදිකරමින් පවතිනවා. නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු සිද්ධවෙනවා. වව්නියාවේ අලුත් තාක්ෂණික ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන අතරේම අම්පාර හාඩි තාක්ෂණ ආයතනයේ පහසුකම් වැඩිදියුණු කරීමටත් බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයට “නැඟෙනහිර නවෝදය’ හා ‘උතුරු වසන්තය’ වැඩ පිළිවෙළවල්වලට සමගාමීව උසස් අධ්‍යාපනය ක්ෂේත‍්‍රය තුළ දැවැන්ත සංවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක වෙනවා.

* ‘උතුරු වසන්තය’ට සමගාමීව උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රතිලාභ උතුරට ලබාදෙන්නට ඔබ උත්සාහ දරද්දී උතුරේ සහන ගම්මානවල ජීවත්වීම සඳහා අවම පහසුකම් හෝ නොමැති පිරිසක් ජීවත්වෙන බවට චෝදනා එල්ලවෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ මෙම උත්සාහය කෙතරම් ප‍්‍රායෝගික වෙයිද?

මෙම වැඩපිළිවෙළ ඉතාමත් ප‍්‍රායෝගිකයි. කුමන පීඩා මධ්‍යයේ වුවත් අධ්‍යාපනය ලැබීම සඳහා වන පිපාසය සංසිඳෙන්නේ නෑ. යුදමය වාතාවරණය පවතිද්දී පවා යාපනය විශ්වවිද්‍යාලය මෙන්ම වව්නියාව විශ්වවිද්‍යාල පරිශ‍්‍රය කි‍්‍රයාත්මක වුණා. මේ ප‍්‍රදේශවල සංස්ථා, ආයතන, සංස්කෘතික සමාජ සබඳතා, මුළුමනින්ම බිඳ වැටිලයි තිබුණේ. මේ තත්ත්වය රැයකින් දෙකකින් යළි යථා තත්ත්වයට පත් කරන්නට අපහසුයි.

සහන ගම්මානවල ගැටලු සහගත තත්ත්වයන් තියෙන්නට පුළුවන්. ඒත් අපට ක‍්‍රමයෙන් මෙම ජනතාවගේ ජීවන මට්ටම්, සංස්කෘතික හා සමාජීය තත්ත්වය ඉහළ නංවාලීමට කටයුතු කළ හැකියි. නැඟෙනහිර පළාතෙත් තත්ත්වය කිසිසේත්ම මීට දෙවෙනි වූයේ නෑ. ඒත් ඉතා කෙටි කාලයක් තුළ දැවැන්ත සංවර්ධන කි‍්‍රයා මාර්ග තුළින් නැඟෙනහිර පළාතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්නට අපට හැකියාව ලැබුණා.

බිඳවැටී තිබූ සංස්ථා, ආයතන, දෙපාර්තමේන්තු යළි ගොඩනඟන්නට හැකියාව ලැබුණා. උසස් අධ්‍යාපනය විධිමත් කිරීම මේ ප‍්‍රදේශවල බිඳවැටුණු සංස්ථා හා සමාජ ආයතන ගොඩනැංවීමේදී ඉමහත් රුකුලක් වුණා. ඒ නිසා කුමන ගැටලු හා අර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ වුණත් උතුරේ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට උත්සාහ දැරීම ඉතා වැදගත්.

* නැඟෙනහිර පළාතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංස්ථා හා ආයතන ස්ථාන ගත කෙරුණේ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා ඇතුළු පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමෙන්. ඒත් උතුරට 13 වන සංශෝධනය කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ ආණ්ඩුව තුළම එකඟත්වයක් දක්නට ලැබෙන්නේ නෑ. ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළම අන්තර්ගත දැනටමත් කි‍්‍රයාත්මක වන නීතියක්. කි‍්‍රයාමාර්ගයක්. රට ඒකීය නම් රටේ සෙසු සෑම පළාතකම පළාත් සභාවක් කි‍්‍රයාත්මකව පවතිනවානම් උතුරේ ඒක කි‍්‍රයාත්මක නොකිරීමට සාධාරණ හේතුවක් නෑ. පළාත් සභා ක‍්‍රමයෙන් ඔබ්බට බලතල විහිදුනු දේශපාලන විසඳුමක් පිළිබඳ කතාබහ, සංවාදය පසෙක තිබියදී පවත්නා හෝ දැනට කි‍්‍රයාත්මක වන්නාවූ සෙසු ප‍්‍රදේශවල වලංගුව ඇත්තා වූ 13 වන ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක කළ යුතුයි.

දෙමළ සමාජයට සාධාරණ වූ දේශපාලන ඉල්ලීම් තියෙනවා. දෙමළ සමාජයට සාධාරණ වූ අපේක්‍ෂාවන් තියෙනවා. රටේ සෙසු පළාත් සභා අටක් කි‍්‍රයාත්මක වෙද්දි, ප‍්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා කි‍්‍රයාත්මක වෙද්දි උතුරේ දෙමළ සමාජයට පමණක් තමන්ගේ නියෝජිතයන්ගෙන් සමන්විත නගර සභාවක්, පළාත් සභාවක් පිහිටුවා ගැනීමට ඉඩක් ලබා නොදිය යුත්තේ ඇයි.

පළාත් සභා ක‍්‍රමය ආරම්භ වන්නේම ජාතික ප‍්‍රශ්නයකට විසඳුමක් හැටියටයි. ඒක මෙතෙක් කාලයක් කි‍්‍රයාත්මක නොවුණේම ජාතික ප‍්‍රශ්නය පාදක කරගෙන බිහිවූ බෙදුම්වාදී ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක බලයට නතුවී තිබුණු උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලමයි. නැඟෙනහිර ත‍්‍රස්තවාදී බලය අතුගා දමා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පිහිටුවීමේදීත් ඇතැම් අය විරෝධය පෑවා. ඒත් නැඟෙනහිර අද ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. මේ තත්ත්වය උතුරේත් ඇති කළ යුතුයි. ත‍්‍රස්තවාදයට යළි හිස එසවීමට ඉඩක් ලබා නොදීමට නම් ඒක කි‍්‍රයාත්මක කළයුතුමයි.

* මේ මොහොත වන විට ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කෙරෙමින් පවතිනවා. දකුණු පළාත් සභාව සඳහා මැතිවරණයක් පැවැත්වීමටත් කටයුතු සූදානම් වෙනවා. මේ මැතිවරණවලදී කුමක් සිදුවේවිද?

මා හිතන හැටියට ගරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවට මේ මැතිවරණ කිසිවක් කිසිදු ආකාරයේ අභියෝගයක් වෙන්නේ නෑ. එතුමා මහජන ප‍්‍රසාදය ඉතාමත් විශිෂ්ට ලෙස දිනාගත් නායකයෙක්. මේ රට දශක ගණනාවක් තිස්සේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදයේ භීෂණයෙන් වෙලාගෙන තිබුණු රටක්.

මීට පෙර කිසිදු නායකයෙකුට මේ රට ත‍්‍රස්තවාදයෙන් දිනාගන්නට හැකියාවක් ලැබුණේ නෑ. ඒ නිසාම ලෝකයේ ප‍්‍රබල ත‍්‍රස්තවාදී සංවිධානයක් පරාජය කරමින් රටට නිදහස දිනාදුන් ජනාධිපතිවරයාටත්, සන්ධාන ආණ්ඩුවටත් මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට ඒ ජයග‍්‍රහණයම ප‍්‍රමාණවත්.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා