පාතාල කණ්ඩායම් කොටු කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 10ක්

පාතාල කණ්ඩායම් කොටු කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 10ක්

රට පුරා සැරිසරමින් විවිධ වූ අපරාධවල යෙදෙන පාතාල කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම පිණිස විශේෂ පොලිස් කණ්ඩායම් දහයක් පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත පත් කිරීමට පියවර ගෙන තිබේ.

සහකාර පොලිස් අධිකාරිවරයකුගේ අධීක්‍ෂණය යටතේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු, උප පොලිස් පරීක්‍ෂකවරු ඇතුලු සෙසු නිලයන්වල සාමාජිකයන් ද එකතුව එක් කණ්ඩායමක් විසිපස් දෙනකුගෙන් පමණ සමන්විත වෙයි.

එම කණ්ඩයම්වලට පැවරී තිබෙන එකම කර්තව්‍ය පාතාල නායකයන් ගෝලයන් සහ ඔවුන් සතු අවිආයුධ අත් අඩංගුවට ගැනීමය.

කෙටි කාලයක් නිහඬතාවයකට පත් වී සිටි පාතාලය දැන් යළිත් අවදි දී විවිධ අපරාධ සිදු කිරීමටත් එකිනෙක කණ්ඩායම් මරා ගැනීමටත් පටන් ගෙන තිබීම නිසා මෙම පියවර ගෙන තිබේ.

ත‍්‍රස්තවාදී යුද්ධය අවසන් වීමෙන් පසු රජයේ ප‍්‍රධාන අරමුණ වූ රට තුළ යහපත් සමාජයක් ගොඩ නැගීමේ වැඩපිළිවෙළට පාතාලය මහත් බාධකයක් වී ඇත.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් ගුණසේකර මහතා පැවැසුවේ පාතාලයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගනිමින් සමාජයෙන් සම්පූර්ණයෙන්ම පාතාලය ඉවත් කර දැමීමට අවශ්‍ය මෙහෙයුම් සිදු කිරීමට ජනාධිපතිතුමාගෙන් උපදෙස් ලැබී ඇති බවයි.

කොළඹ කේන්ද්‍ර කොට ගනිමින් රට පුරා පාතාල කණ්ඩායම්වල ජාලයක් සකස් වී තිබූ අතර මීට වසර කිහිපයකට පෙර එම පාතාල ජාලය විවිධ අතට කැඩී ගොස් ඇත.

නායකයන් අතර එකිනෙකා මරා ගන්නා සැළසුම් ක‍්‍රියාත්මක වෙයි. කාලයක් කොටි ත‍්‍රස්තවාදීන් සමඟ ද දැඩි සම්බන්ධකම් පැවැත්වූ පාතාල නායකයන් කොටින්ගෙන් අවිආයුධ පවා මිලදී ගත් බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම ද පාතාලය යළි කි‍්‍රයාත්මක වීමට පටන් ගෙන තිබෙන්නේ පාතාල සම්බන්ධකම් මතය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා