අද පාර්ලිමේන්තුවෙන්....

අමරසිරි දොඩංගොඩ ප‍්‍රගතිශීලී දේශපාලන කරලියේ
නොමැකෙන නමක් තැබූ යුග පුරුෂයෙක්

- ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

දේශපාලන මතවාද පසෙකලා ජනතාවට සැබෑ මානව හිතවාදියකු වූ අභාවප‍්‍රාප්ත අමරසිරි දොඩංගොඩ මහතා ශ‍්‍රී ලාංකේය ප‍්‍රගතිශීලී දේශපාලන කරළියේ නොනැසෙන නාමයක් තැබූ අදීන හා පරිණත දේශපාලනඥයෙක් බවත් ඔහු දේශපාලන ආධුනිකයන් රැසකට මාර්ගෝපදේශකයෙක් වූ බවත් සභානායක සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප‍්‍රකාශ කෙළේය.

ඇමැතිවරයා එසේ ප‍්‍රකාශ කෙළේ හිටපු ඇමැතිවරයකු වූ අමරසිරි දොඩංගොඩ මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනා සාකච්ඡාවේදීය.

වේත‍්‍රධාරී අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (10) පෙ. ව. 9.30 ට රැස් විය.

වාර්තා පිළිගැන්වීමෙන් පසු මන්තී‍්‍රවරයෙක් විසින් පිළිගැන්වූ මහජන පෙත්සම් පෙත්සම් කාරක සභාවට යොමු කැරිණි.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්තී‍්‍රවරුන් අත තිබූ ප‍්‍රශ්න සඳහා ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප‍්‍රකාශයක් ඉදිරිපත් කෙළේය. අධ්‍යාපන ඇමැති සුසිල් පෙ‍්‍ර්මජයන්ත මහතා එම ප‍්‍රකාශයට පිළිතුරු දුන්නේය.

අමරසිරි දොඩන්ගොඩ මහතාගේ අභාවය පිළිබඳ ශෝක ප‍්‍රකාශය ඉදිරිපත් කරමින් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා තවදුරටත් මෙසේද පැවසීය.

අසූව දශකයේ දී දකුණු පළාතේ බද්දේගම ආසනයේ ජනතාව නියෝජනයස කරමින් ද, තවත් වසර ගණනාවක් ගාල්ල දිස්ති‍්‍රක්කයේ ජනතාව නියෝජනය කරමින් ද පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු හා අමාත්‍යවරයකු වශයෙන් ද සුවිශේෂී මෙහෙයක් ඉටු කළ ශ‍්‍රී ලංකා දේශපාලන ඉතිහාසය වෙනස් මගකට යොමු කළ උදාර රුහුණු පුත‍්‍රයකු වූ අමරසිරි දොඩංගොඩ මහතා 2009 මැයි මස 30 වැනි දින අභාවප‍්‍රාප්ත වූ බැවින් ඒ පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමටයි මා මේ අවස්ථාවේ දී නැඟී සිටින්නේ.

ගඟබඩ පත්තුවේ බද්දේගම දොඩංගොඩ ගිනිමැල්ලගහ පී. එච්. ඩී. විලියම් අප්පුහාමි මහතා ගේ සහ පුණ්‍යවතී ගුණසේකර මැතිනිය ගේ නම ;දනකුගෙන් යුත් දරු පවුලේ හතරවැනියා වශයෙන් 1942 ඔක්තෝබර් මස 18 වැනි දින ගාර්දිහේවාවසම් දොඩංගොඩගේ අමරසිරි මහතා උපත ලැබීය. නීතිඥ මාලතී මාලා මාඉටිපේ මහත්මිය සමඟ අතිනත ගත් ඒ මහතා දරු දෙදෙනකුගේ දයාබර පියාණන් විණි.

ගිනිමැල්ලගහ විද්‍යානන්ද විද්‍යාලයෙන් සහ ගාල්ල ශ‍්‍රී රතනසාර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඒ මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ද්විතිය අධ්‍යාපනය ලැබුවේය. පාසල් සමයේදී විවාද කණ්ඩායම තුළ කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ගුරු සිත් දිනා ගත් ඉතා ජනප‍්‍රිය සිසුවෙක් විය.

අධ්‍යාපනය ලබමින් සිටිය දී පාසලේ පොදු කාර්යයන් හිදී මෙන්ම ප‍්‍රදේශයේ සමාජමය කටයුතු වලදීද අමරසිරි මහතා පෙරමුණ ගනිමින් කි‍්‍රයා කළ බව ගනේගම දොඩන්ගොඩ මාර්ගය ඇතුළු මාර්ග සැකසීමෙන් පෙනී යයි. සිසු දරුවකු වශයෙන් පැරකුම් ශ‍්‍රමදාන සමිතිය පිහිටුවා ගනිමින් කළ උදාර සේවාව නිසාවෙන්ම බද්දේගම මාර්ග සංවර්ධනයේ නියමුවා වශයෙන් ඔහුව හැඳින්වූ බව ප‍්‍රදේශයේ ජනතාව අදත් කෘතවේදීව සඳහන් කරති.

අනතුරුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පිවිසුණු අමරසිරි මහතා එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධතා දක්වමින් කි‍්‍රයා කෙළේය. එවකට අගමැති ධූරය හෙබවූ ඩඩ්ලි සේනානායක මහතා ශිෂ්‍යයන් ඇමතූ රැස්වීමකදී ඉතාම විචක්‍ෂණශීලීව හා තර්කාන්විතව දේශපාලනය පිළිබඳ ප‍්‍රශ්න අසමින් අගමැතිවරයා අපහසුතාවයට පත් කිරීමට තරම් සමත් බුද්ධියක් හා දැනුමක් ඔහු සතුව පැවැතිණි. යුක්තිය හා සාධාරණත්වය රජ කරවන සමාජයක් අපේක්ෂාවෙන් දොඩංගොඩ මහතාගේ සටන් භූමිකාව ප‍්‍රදර්ශනය වූ පළමු අවස්ථාව මෙය විණි.

1963 දී ශාස්ත‍්‍රවේදී උපාධිය හිමි කර ගත් ඒ මහතාට තවලම මහා විද්‍යාලයට ගුරු පත්වීමක් ලැබුණත් එය භාර නොගෙන ගාල්ල විද්‍යාලෝක පිරිවෙන තුළින් විශාල භික්ෂු පිරිසකට අධ්‍යාපනය ලබා දෙමින් නැණස පෑදීමේ දායකවූයේ පිරිවෙන් ගුරුවරයකු වශයෙනි.

දේශපාලන විද්‍යාව හා ආර්ථික විද්‍යාව යන විෂයයන් ශිෂ්‍යයනට ඉගැන්වීමේදී විශ්ව විද්‍යාලය තුළින් ලද පන්නරය හේතුවෙන් තම ගෝලබාලයනට දේශපාලන විද්‍යාව පමණක් නොව නිවැරැදි දේශපාලන ගමන් මඟ කුමක් දැයි තෝරා බේරා දෙන්නට ද ඒ මහතා සමත් විය.

ඉන් පසු අධ්‍යාපන පරිපාලන සේවයට එක් වූ දොඩංගොඩ මහතා අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පළ කළ ‘අකුර’ පුවත්පතේ උපදේශක කර්තෘවරයකු ලෙස ද කටයුතු කෙළේය.

ඔහු 60 දශකයේ අග සහ 70 දශකයෙස් මුල ඇතිවූ සමාජ අරගලකාරී ව්‍යාපාරයන්ට කි‍්‍රයාකාරීව මැදිහත් විය. 1967 වසරේදී බද්දේගම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය සංවිධානයේ ලේකම් ධූරයට පත්වූ අමරසිරි මහතා ‘ගිනි පුපුර’ හා ‘ජන වේගය’ වැනි සංවිධානයන්හි උද්‍යා්ගිමත් සාමාජිකයකු ලෙස සමාජ විරෝධී කි‍්‍රයාකාරකම් වලට එරෙහිව නැඟී සිටිමින් වාමාංශික දේශපාලනයේ නියැලුණේය. පසුව ‘ජන වේගය’ සංවිධානයේ ප‍්‍රධාන ලේකම් ධුරයට ද පත්වූ දොඩංගොඩ මහතා දේශපාලනය හා සමාජ අවබෝධය මතු පරම්පරාවට ලබා දුන් නායකයෙක් විණි.

රැඩිකල් මතවාදී අදහස් දැරූ ඒ මහතා 1971 ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරිකයකු නොවූවද ප‍්‍රශ්න කිරීමට පොලීසිය මඟින් රඳවා තබා ගැණුනි. මේ කාලයේ තමන් සතුව පැවති අලුත්ම මෝටර් රථය කිසියම් පිරිසක් සොරා ගත්තෙන් එය සොයා ගැනීමට වාහනයේ වටිනාකමට වැඩි මුදලක් වියදම් කෙළේය.

පසුව වාහනය සොයා ගත්ත ද එය පොලීසියේ දිරා යාමට ඉඩ හැරී එතුමා පැවසුවේ ‘මට අවශ්‍යවුණේ වාහනය සොරා ගත්තේ කවුද ? කුමකටද ? යන්න දැන ගැනීමටයි. එය මා සතුව තිබියදී වැඩියෙන් පාවිච්චි කෙළේ ගමේ ලෙඩුන් රෝහලට ගෙන යනව වගේ දේවලටයි’ යනුවෙනි. කරුණ තුළින් ද පැහැදිලි වනුයේ තරුණ කාලයේ සිට ම ජනතාව වෙනුවෙන්ම කැප වූ සැබෑ මානව හිතවාදී අදහස් ඔහු තුළ පැවති බවයි.

පූර්ණ කාලීන දේශපාලනඥයකු වශයෙන් 1977 මහ මැතිවරණයේදී එක්සත් ප‍්‍රජාතන්ති‍්‍රක සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් වශයෙන් අක්මීමන අසානයට තරග වැදුණු අමරසිරි මහතා මේ කාර්යයන් අතරතුර නීති විද්‍යාලයටද පිවිස ශිෂ්‍ය කි‍්‍රයාකාරිකයකු ලෙස සමාජ අසාධාරණයන්ට එරෙහිව විවිධ අරගල වලට මැදිහත් වෙමින් සහ දේශපාලන කටයුතු කෙරෙහි ද උනන්දු වෙමින් කි‍්‍රයා කෙළේය. නීති උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු වශයෙන් 1979 වසරේ දී දොඩංගොඩ මහතා දිවුරුම් දුන්නේය.

1977 දී බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂය ජනතාවට සිදු කළ දැඩි පීඩාවන්ට එරෙහිව කි‍්‍රයා කරමින් 80 දශකයේ මුල් භාගයේ දී ගාල්ල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රබල නායකයකු බවට පත් වූ අතර එම කාල වකවානුව තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් ද සුවිශේෂී මෙහෙවරක් ඉටු කිරීම හේතුවෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් එතුමාට බද්දේගම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක ධූරය 1980 දී පිරිනමනු ලැබුවාය.

එක්සත් ජාතික පක්ෂ රජය යටතේ දැඩි පීඩාවට පත් ජනතාව 1983 පැවැති බද්දේගම අතුරු මැතිවරණයේදී තම නියෝජිතයා වශයෙන් තෝරා ගනු ලැබූයේ මේ ජනතා හිතවාදියාවයි.

ඒ අනුව අමරසිරි දොඩංගොඩ මහතා පළමුවරට මේ උත්තරීතර සභාවට පැමිණ විපක්ෂයේ අසුන් ගන්නා ලදී. සමස්ත ශ‍්‍රී ලංකාවේම අවධානය යොමුවූ මේ මැතිවරණයෙන් ජය ලැබූ ඒ මහතා අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් නැඟූ හඬ පොදු ජනතාවට විශාල ශක්තියක් විණි.

භීෂණ සමයේ දී මහජන නියෝජිතයන්ට මරණ තර්ජන ඇතිවුවද ඒ කිසිවකිනුත් නොසැළුණු එතුමා සිය යුතුකම හා වගකීම මැනවින් ඉටු කරලීමට සමත් විය.

1993 පැවැති දකුණු පළාත් සභා මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණු කණ්ඩායමේ නායකයා වශයෙන් සටනට පිවිසුණු අමරසිරි දොඩංගොඩ මහතා එහිදී ඡන්ද 136000 ක් පමණ ලබා ගනිමින් දකුණු පළාත් සභාවේ බලය සියතට ගත්තේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද සහයෝගය ලබා ගනිමිනි.

එම සුවිශේෂී ජයග‍්‍රහණය අකර්මන්‍ය කිරීමට සූදානම් වූ එවකට සිටි පාලකයෝ ආණ්ඩුකාර නිවසේ දොරගුළු දමා ආණ්ඩුකාරවරයා සඟවා තිබියදී එහි ඇතුළු වී සාධාරණත්වයේ නාමයෙන් දිවුරුම්දීම සමස්ත ශ‍්‍රී ලංකාවේම දේශපාලන ගමන් මාර්ගය වෙනස් කරලීමට සමත් වූ සන්ධිස්ථානයක් විය. එය එවකට පැවැති රජයේ 17 අවුරුදු අඳුරු පාලනය නිමාවට පත් කරලීමේ පළමු වෙඩිමුරය තැබීමක් විය.

ප‍්‍රැන්සිස්කුකරණය නමින් එදා ප‍්‍රකට වූ සිද්ධිය මඟින් පළාත් සභා අය වැය පරාජය කිරීමට කටයුතු සැලැස්වීමෙන් පොදු මහ ජනතාව ලැබූ ජයග‍්‍රහණය වළකාලීමට පාලක පක්ෂය යෙදූ උපාය හේතුවෙන් නැවත 1994 වසරේදී පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට සිදු විණි.

එම පළාත් සභා මැතිවරණයෙන් ඊටත් වැඩි ජයග‍්‍රහණයක් ලබමින් දකුණු පළාත් සභාවේ මහ ඇමැති බවට පත්වූ ඔහුගේ ඒ සුවිශේෂී ජයග‍්‍රහණය ගලන ගඟ කිසිසේත්ම ආපසු නොගලන බවට කදිම නිදසුනක් සපයමින් සිරිලක පුරාම ප‍්‍රගතිශීලී බලවේගයන් ගේ විජයග‍්‍රහණයට හේතු විණි.

අකි‍්‍රයව පැවැති දකුණු පළාත් සභාව තුළින් ග‍්‍රාමීය පාසල් දියුණු කිරීමටත්, විභාග සඳහා පෙනී සිටින දරුවනට අධ්‍යාපන සම්මන්ත‍්‍රණ මගින් දැනුම වැඩි දියුණු කිරීමටත්, සාධාරණ පදනමක් යටතේ ගුරු මාරු සඳහා ක‍්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කිරීමටත්, කලාප අධ්‍යාපන කාර්යාල ගණනාවක් අලුතින් ඇති කිරීමටත්, නොමිලේ වෛද්‍ය සායන පවත්වමින් සෞඛ්‍ය සේවා සැපයීමටත්, මන්දපෝෂිත ගැබිණි මව්වරුන් සඳහා සහන වැඩ පිළිවෙළක් සැකසීමටත්, තරුණ තරුණියන්ගේ කී‍්‍රඩා කුශලතා වැඩි දියුණු කිරීමට හා කී‍්‍රඩා පාසල් බිහි කරලීමටත්, ගොඩබිමට කරදිය ගලා ඒම වැළැක්වීම සඳහා පොම්ප සවි කිරීමේ වැඩ පිළිවෙළක් දියත් කිරීමටත් හැකියාව ලැබුණේ දොඩංගොඩ මහතා ගේ දැඩි කැපවීම නිසාවෙන්ම බව සඳහන් කළ හැකිය.

නැවත 1994 පැවැති මහ මැතිවරණයේදී ගාල්ල දිස්ති‍්‍රක්කයට පොදුජන එක්සත් පෙරමුණ යටතේ තරග වැදුණු ඒ මහතා මනාප 176,000 ක් ලබා ගනිමින් තුන්වන වරටත් මේ සභාවට පැමිණියේය.

මෙතෙක් ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් එතරම් මනාප සංඛ්‍යාවක් වෙනත් කිසිදු අපේක්ෂකයකු ලබා නොමැති බව සනිටුහන් කළ යුත්තේ එතුමාට දක්වන ගෞරවයක් වශයෙනි.

එම රජයේ ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන සමුපකාර ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ දොඩංගොඩ මහතා එම වසරේදීම සිදු කළ ඇමැති මණ්ඩල සංශෝධනයේදී සමුපකාර පළාත් සභා හා දේශීය වෛද්‍ය ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

1997 දී වෘත්තීය පුහුණු හා ග‍්‍රාමීය කර්මාන්ත ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ ඔහුට දිවයින පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇති කරමින් තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබාදීමේ ජාතික මෙහෙවරක යෙදීමට හැකියාව ලැබිණි.

මහජන ප‍්‍රසාදය ඉතා ඉහළින්ම දිනාගත් අති උදාර රුහුණු පුත‍්‍රයකු වූ අමරසිරි දොඩංගොඩ මහතා 2004 වසරේදී පැවති මහා මැතිවරණයෙන්ද නැවත වරක් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා මේ උත්තරීතර සභාවට පැමිණ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

දේශපාලන මතවාද පසෙකලා ජනතාව උදෙසා සැම විටම තම සේවය කැප කළ සැබෑ මානව හිතවාදියකු වූ හිටපු ඇමැති අමරසිරි දොඩංගොඩ මහතාගේ අභාවය ගාල්ල ප‍්‍රදේශයට පමණක් නොව මුළු මහත් ශ‍්‍රී ලංකාවටම දැරිය නොහැකි පාඩුවකි.

වසර ගණනාවක් තිස්සේ මේ උත්තරීතර සභාව ශෝභාමත් කළ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අමරසිරි දොඩංගොඩ ඇමැතිවරයාට නිවන් සුව ප‍්‍රාර්ථනය කරන අතර මේ පාර්ලිමේන්තුවේ ශෝකය එතුමාණන්ගේ දයාබර භාර්යාව ඇතුළු පවුලේ ඥාතීන් වෙත දන්වා යවන ලෙස යෝජනා කර සිටිමි.

වැවිලි කර්මාන්ත ඇමැති දි. මු. ජයරත්න මහතා - අමරසිරි දොඩන්ගොඩ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අපත් සමග සිටි දක්ෂ ශිෂ්‍යයෙක්. ඒ මහතා ඉතා අවංකයි. විරුද්ධ දේශපාලනඥයන්ට පවා ඔහු අගතියෙන් තොරව කි‍්‍රයා කළා.

දොඩන්ගොඩ මහතා අවංක හා නීති ගරුක දේශපාලනඥයෙක් වශයෙන් මුළු රටම පිළිගන්නවා.

නියෝජ්‍ය කතානායක ප‍්‍රියංකර ජයරත්න මහතා මුලසුනට පැමිණියේය.

මාතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජිනදාස කිතුලෙගොඩ මහතා (ජ. වි. පෙ.) - මන්තී‍්‍රවරයෙක් වශයෙන් පත්වූ දොඩන්ගොඩ මහතා නිහතමානිබව ප‍්‍රකට කළා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු හා ජනවාර්ගික ඒකාබද්ධතා ඇමැති ඩිව් ගුණසේකර මහතා - අමරසිරි දොඩන්ගොඩ මහතා මන්තී‍්‍රවරුන් නව දෙනකුගෙන් යුතුවූ දුර්වල විපක්ෂයක් තිබූ අවස්ථාවේ ඉතා කාර්යක්ෂමව හා දක්ෂ ලෙස කටයුතු කළ හැටි මට මතකයි. කිසිම වාර්තාවක් විවාදයකින් තොර සම්මත කිරීමට ඒ මහතා විපක්ෂයේ සිටියදි ඒ ආණ්ඩුවට ඉඩදුන්නේ නැහැ.

යාපනය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එම්. කේ. තුරෙයි රාජසිංහම් මහතා. - අපට පාර්ලිමේන්තුවට පැමිණි පසු එතුමා සමඟ ආශ‍්‍රය කිරීමට ඉඩ ලැබුණා. ඔහු අකලංක සේවයක් රටට ලබා දුන්නා.

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගම්පහ දිස්ත‍්‍රික් මන්තී‍්‍ර ජෝෂප් මයිකල් පෙරේරා මහතා (එ. ජා. ප.) - අමරසිරි දොඩන්ගොඩ මහතා ඉතාමත් නිහතමානි ඇමැතිවරයෙක් ලෙස කටයුතු කළා. එය ඇමැතිවරුන් හැටියට හැම දෙනාට ම ආඩම්බරයක්. එතුමා නිහතමානීව පාර්ලිමේන්තුවේ සියලු මන්තී‍්‍රවරුන්ගේ ගරුත්වයත් ආරක්ෂා කරමින් හැමවිටම කටයුතු කළා.

විද්‍යා හා තාක්ෂණ කටයුතු ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ මහතා - දොඩන්ගොඩ මහතා අසනීප තත්ත්වයෙන් සිටියදී පවා විවිධ දේශපාලන ප‍්‍රශ්න මෙන්ම තම පළාතේ විදාතා මධ්‍යස්ථානයක් පිහිටුවීම ආදී කටයුතු ගැනත් සාකච්ඡා කළා. නඩු දිග්ගැසීම ගැන යම් පියවරක් ගන්නා බව එතුමා උවමනාවෙන් සඳහන් කළා.

මහාමාර්ග ඇමැති ටී. බී. ඒකනායක මහතා. - අමරසිරි දොඩන්ගොඩ මහතා වමේ හැගීම නිසා ජනවේගය පුවත්පත, ගිනිපුපුර සංවිධානය කි‍්‍රයාත්මක කිරීමට දැඩි රැඩිකල් වාදීව රටපුරා ගොස් කටයුතු කළා.

ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා - මේ රටේ වාමාංශික නායකයන්ගේ කතා අසා ඔවුන්ගේ දෙවැනි පෙළ නායකයන් ලෙස දොඩන්ගොඩ මහතා හා අප දේශපාලනයට පිවිසියා. ඔහු මුලින්ම ගිනි පුපුර දේශපාලන ව්‍යාපාරය තුළින් දේශපාලනය පටන් ගත්තා.

දොඩංගොඩ මහතා සහ මා ජනවේගය කණ්ඩායමේ එකට කි‍්‍රයා කළා. ඔහු 1973 දී ආරම්භ වූ ජනවේගය කණ්ඩායමට එවක විපක්ෂ නායකයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා බියවුණා.

1973 දී පැවැති වැඩවර්ජනයට ජනවේගය නායකත්වය දුන්නා. මෙවැනි පුද්ගලයන් දශක දෙක තුනකට වරයි උපදින්නේ. එවැනි අය ගැන සුළුවේලාවකින් කතා කරන්න බැහැ. ශෝක යෝජනාව තවත් දවසකට ගෙනයමු. එතුමා ධනය හම්බ කිරීමටවත් තැනක් ගන්නවත් දේශපාලනයට පැමිණි කෙනෙක් නොවේ’ මතවාදයක් අනුවයි දේශපාලන ගමන පැමිණියේ.

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කරු ජයසූරිය මහතා (එ. ජා. ප.) - දොඩංගොඩ මහතා දුර්ලභ ගනයේ දේශපාලනඥයෙක්. එතුමා කාගෙත් ආදර ගෞරවයට පාත‍්‍රවූ නිහතමානී දේශපාලනඥයෙක්. ඔහු නායකත්වය ලබාදුන් හැම අමාත්‍යංශයකම නිලධාරීන් අදත් ඒ මහතා ගැන ගෞරවයෙන් කතා කරනවා. බලය, තත්ත්වයෙන් හා පදවියෙන් උඩඟු නොවී කි‍්‍රයා කළා. දේශපාලඥයෙක් ලෙස ඔහු සිය දෑත කිලිටිකරගත්තෙ නැහැ.

අධිකරණ නියෝජ්‍ය ඇමැති වී. පුත්තිරසිගාමනි මහතා - කඳුරට ජනතාව ඔබේ සේවය ලැබීය යුතු බව මා අධිකරණ නියෝජ්‍ය ඇමැති වශයෙන් පත්වූ විට දොඩංගොඩ මහතා කීවා. ඔහු ඇවිදින පුස්තකාලයක් මෙන් බොහෝ දේ දැන සිටි අයෙක්.

සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා - මරට ජීවත්වූ අති ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් ලෙස දොඩංගොඩ මහතා අප හදවත්හි රැඳෙනනවා.

ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර වජිර අබේවර්ධන මහතා (එ. ජා. ප.) - තමාගේ දේශපාලන මතවාදය සිය පක්ෂය තුළ ගොඩනැගීමට ජීවිතයම කැප කළා.

මාතලේ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නන්දිමිත‍්‍ර ඒකනායක මහතා - අප වමේ පන්නරයෙන් දේශපාලනයට පැමිණි අයයි. මේ මානව හිතවාදී දේශපාලනඥයා මොන තනතුරු දැරුවත් මනුෂ්‍යත්වයෙන් ඒ දෙස බැලුවා.

ජාතිය ගොඩ නැගීමේ ඇමැති ගුණරත්න වීරකෝන් මහතා - දොඩංගොඩ මහතා කලාතුරකින් බිහිවන දේශපාලනඥයෙක්.

ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර චන්දිම වීරක්කෙඩි මහතා (එ. ජ. නි. සං.) - ගාලු දිස්ති‍්‍රක්කයට පමණක් නොව මුළු මහත් රටටම නිවැරැදි දේශපාලන දර්ශනයක් ලබා දීමට දොඩංගොඩ මහතා කැපවුණා. එතුමා ගේ දර්ශනය රට වෙනුවෙන් තිබූ බලාපොරොත්තුව ජනාධිපතිතුමාගේ මහින්ද චින්තනය තුළින් ප‍්‍රායෝගිකව එළිදැක්කා.

ශෝක යෝජනාව ලබන 16 වැනිදා යළි සාකච්ඡාවට ගැනේ.
පාර්ලිමේන්තුව 16 වැනිදා පෙ. ව. 9.30 ට යළි රැස්වේ.


කම්කරු වැටුප් ප‍්‍රශ්නයට වතුකරයේ ජනතාව උසිගන්වන්න එපා

- ඇමැති මර්වින් සිල්වා

වතුකම්කරු වැටුප් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වතුයායේ වැදගත් ජනතාව උසිගන්වන්නට එපා යැයි කම්කරු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරුන්ට ප‍්‍රකාශ කෙළේය.

තිස්වසරක යුද්ධය අවසන් කර සාමය උදාකරදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රට ඉදිරියට ගෙනයන ගමන නැවැත්වීම සඳහා වතුකරයේ ජනතාව ඇවිස්සීමේ උත්සාහයක් තිබෙනවාද දන්නේ නැතැයි කී ඇමැතිවරයා සෑම ඡන්දයක්ම පරාජය වී ඇද වැටුණ ජ.වි.පෙ. ඌව ඡන්දයෙන් ගොඩ ඒම සදහා මෙවැනි යෝජනා ගෙන එන බවත් වැඩිදුරටත් කීවේය.

වතුකරයේ ජනතාවට අහිතකර කිසි දෙයක් ජනාධිපතිවරයාගෙන් සිදු නොවන්නේ යැයිද ඇමැතිවරයා පැවැසීය.

කම්කරු ඇමැතිවරයා එසේ පැවැසුවේ පාර්ලිමේන්තුවේ ඊයේ සභාව කල් තබන අවස්ථාවේ යෝජනා පිළිබඳ විවාදයේ පිළිතුරු කතාවේදීය.

බදුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සමන්ත විද්‍යාරත්න මහතා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින්

වතුකමකරු වැටුප් වැඩි කිරීමේ සාමුහික ගිවිසුම අස්සන් කිරීම මාස තුනකින් ප‍්‍රමාද වී තිබෙනවා.

එය කඩිනමින් අස්සන් කර වතුකම්කරුවන්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට කි‍්‍රයා කරන ලෙස යෝජනා කරනවා.

කාරක සභා නියෝජ්‍ය සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර මහතා යෝජනාව ස්ථිර කරමින්

සාමූහික ගිවිසුම අස්සන් කිරීමට මේ දක්වා රජය හෝ වෘත්තිය සමිති කි‍්‍රයාකර නැහැ. මේ යෝජනාව ඉතා කාලෝචිතයි. වතුවලින් පාඩු ලබන බවත් විවිධ දුෂ්කරතා පවතින බවත් හාම්පුතුන් පවසනවා.

කම්කරු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා - අහසම කළු කළා. හරියට ගෙරෙව්වා. පාරේ හිටිය මිනිස්සු බස්හෝල්ඩ් ඇතුළට ගියා. මිනිස්සු ගෙවල්වලට ගියා. ඒත් වැස්සෙ නැ. ඒවගෙ තමයි, ;ම් දෙපොළගෙ කතාව හා යෝජනාවත්.

ඔබ දෙපළ උපන්නේ ඊයේ ද? විද්‍යාරත්න මහතා බදුල්ලට ගිහින් නැද්ද?

මා කල්පනා කරන්නේ පහුගිය කාලය තුළ ගමේ ගොඩේ වෙළඳ සැලේ සිට හැම මිනිහෙක්ම වාසය කළේ, මරුවා සමග වාසේ.

දෙලොවක් අතරයි. කිසිම රාජ්‍ය නායකයකුට කළ නොහැකි දේ මහින්ද රාජපක්‍ෂ රජ්ජුරුවෝ, ඉෂ්ට කළා. මැයි මාසේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රට එක්සේසත් කළ පසු එතුමා මේ රට එක්සේසත් කළ රජවරුන් අට දෙනා අතරට වැටෙනවා.

රණවිරුවෝ තම බංකරයේ මදුරුවො ඉන්න බව කීවාද? වැඩි වැටුප් ගැන කතා කළා ද? ජ.වි.පෙ මුලසිටම කළේ දෙවිදත් අජාසත්තට කළ දේයි. වැදගත් පක්‍ෂය ඇබිත්තයො වෙන්න එපා.

ඒ කාලෙ ආණ්ඩුවේ ඉන්නකොට තමුන්නාසේලා වතුකම්කරුවෝ දකින් නැතිව ඇති. ! විද්‍යාරත්න මැතිතුමා බදුල්ලෙ යන්න නැතිව ඇති. ඇයි දැන් ? දැන් ඌවේ මැතිවරණයක් තිබෙනවානෙ !

රටට ආදරය කරන හා නොකරන ජනතාව වශයෙන් කොටස් දෙකක් සිටින බවයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කෙළේ. රටට ආදරය කරන ගනයට වැටෙන්න.

අවුරුදු තිහක් ත‍්‍රස්තවාදය කළ ප‍්‍රභාකරන් මැරිය යුතුයි. උගේ මළ කඳ ගෙනාවොත් මළකඳටත් වෙඩි තියන බව මා හැමදාම කීවා.

මේ ව්‍යසනය නිම වී , පෙරට යන රට සාමය පවතින රට, මහින්ද රාජපක්‍ෂ රජතුමාගෙ, රට ඉදිරියට යද්දි ඒ ගමන නවත්වන්න වතුකරයේ ජනතාව අවුස්සන්න උත්සාහයක් තිබෙනවාද දන්නෙ නැහැ. විශ්වවිද්‍යාලයක් වැදගත් ශිෂ්‍යයන්ද ගන්න බැලුවා හරිගියේ නෑ.

දැන් තමුන්නාන්සේලා සබරගමුව, වයඹ , රජරට බස්නාහිර වැටුණා. නොවැටුණු තැනක් නැත. ඉතිහාසයේ මෙතරම් වැටුණු කණ්ඩායමක් නැහැ.

ලංකාවේ පළමුවැනි වරට ඉරාණය සමග ජනාධිපතිවරයා සම්බන්ධකම් ඇති කර ගත්තා.

අප එකම රටක් ජාතියක් ලෙස හිතන්න වතුකරයේ, මහ පාරේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ හැම තැනම ඉන්නේ වැඩ කරන ජනතාවයි. අවතැන් වූවන් ලක්‍ෂ ගණනක් ගැන බලන මොහොතක අඩුගානේ තමුන්නාන්සේලා ඌවෙන්වත් ගොඩ එන්න මේ පිටේ ගිහිල්ලා වැඩක් නැහ.

අප ඉකුත් 3 වැනිදා දෙපාර්ශවය ගෙන්නා සාකච්ඡා කළා. සාකච්ඡාවේ ප‍්‍රතිඵල අපට ඕනෑ විදියට විය යුතුයි.

මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වතුකරයේ වැදගත් ජනතාව උසිගන්වන්න නම් එපා.

චන්ද්‍රසේකරන් මහතා - මේ යෝජනාව රජය අපහසුවට පත් කිරීමක් නොවේ. වතුකරයේ ධනය සූරා ගන්නා බහුජාතික සමාගම්වලින් ටිකක් වතුකරයේ ජනතාවට ලබා ගැනීමටයි.

ආචාර්ය මර්වින් සිල්වා මහතා - 2005 සිට මේ රජය වැඩ රාශියක් ඉටු කළා. ඒ නිසා රටට හිතකර උදවිය වෙන්න අහිතකර උදවිය වෙන්න එපා. සාකච්ඡා කළා.

ඔවුන් කල් ඉල්ලුවා. මාස දෙකක් ප‍්‍රමාද වී තිබෙන බව මා පිළිගන්නවා. වතුකම්කරු ජනතාවට අහිතක් වන දෙයක් ජනාධිපතිතුමාගෙන් සිදුවෙන්නෙ නැහැ.

විවාද අවසන් විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා