ප්‍රභාකරන් සහ පොට්ටුඅම්මාන්ට එරෙහි අධි චෝදනා ඉවතට

කදිරගාමර් ඝාතන නඩුව

ප්‍රභාකරන් සහ පොට්ටුඅම්මාන්ට එරෙහි අධි චෝදනා ඉවතට

හිටපු විදේශ ඇමැති ලක්‍ෂමන් කදිරගාමර් ඝාතන නඩුවේ විත්තිකරුවන් වූ එල්. ටී. ටී. ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ එහි බුද්ධි අංශයේ ප්‍රධානි පොට්ටු අම්මාන් මිය ගිය බවට තහවුරු වී ඇති හෙයින් ඔවුන්ට එරෙහි අධිචෝදනා ඉවත් කර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා කොළඹ මහාධිකරණයට ඊයේ (08) දැන්වීය.

මෙම විත්තිකරුවන් දෙදෙනා මිය ගිය බවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි අංශයේ ප්‍රධානියා සැපයූ වාර්තාවක් වෛද්‍යරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා හමුවේ ඊයේ මෙම නඩුව කැඳවිණි.

නාත්තිකඩාල් ප්‍රදේශයේදී ආරක්‍ෂක හමුදාව විසින් 2009 මැයි 19 දා සිදු කළ මෙහෙයුමකදී ප්‍රභාකරන්ගේ මළ සිරුර සොයා ගැනුණු බවත් ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනිගේ සිරුරේ ඩී. එන්. ඒ. සමඟ එය සැසඳුණු බවත් අධිකරණයට වාර්තා විය.

2009 මැයි 18 දා වනතුරු එල්. ටී. ටී. ඊ. බුද්ධි අංශයේ ප්‍රධානියා වශයෙන් සිටි පොට්ටු අම්මාන් නාත්තිකඩාල් වෙරලේදී වෙඩි වැදී සයනයිඩ් කා මිය ගිය බව ජාතික බුද්ධි අංශයේ නිලධාරීන් තහවුරු කළ අතර මළ සිරුර සොයා ගැනීමට නොහැකි වූ බවද වාර්තා විය.

මෙම නඩුවේදී නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත්කර තිබු අනෙකුත් විත්තිරුවන් වූ මුත්තයියා සහදේවන් සහ ඉසිතෝර ආරෝත්‍යනාදන් බාබුට එරෙහිව සංශෝධිත අධිචෝදනා පත්‍රය අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව 2005 ජනවාරි 01 සහ අගෝස්තු 12 අතර කාලයේ දී මුලතිව්, කිලිනොච්චි ප්‍රදේශවලදී එල්. ටී. ටී. ඊ. නායක වූ ප්‍රභාකරන්, පොට්ටු අම්මාන්, ශිවසංකර්, විනෝදන්, චාල්ස්, සහ කෝභදි මනිරම්බලා සමඟ විදේශ ඇමැති ලක්‍ෂමන් කදිරගාමර් මහතාගේ ඝාතනය සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම ඝාතනය සිදු කිරීමට ආධාර සහ අනුබල දීම යන අධිචෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කෙරිණි. නඩු විභාගය ඔක්තෝබර් 12 සහ 14 දෙදිනට නියම විය.

රජයේ නීතිඥ ශෙහාන් ද සිල්වා, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශනිල් කුලරත්න මහත්වරුන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිඥ ඒ. විනයාගමුර්ති මහතා සමඟ කේ. තවරාසා මහතා විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටියේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා