රජෙක් වුණත් අපේ පුතෙක් !

රජෙක් වුණත් අපේ පුතෙක් !

බලාපොරොත්තුවේ දෑස් සිනාසෙන්නට පටන් ගත්තේ ය. එහි පැවැති දීප්තිය පුදුමාකාර ය. හැබෑවට නම්; අම්මා ගේ දෙනෙතින් කඳුළු කැට එළියට පනින්නට ඔන්න - මෙන්න ය. තව මොහෙතකින් දෙකම්මුල් දිගේ කරුණාව දෙගොඩ තලා යනු ඇත. සිහින් ඉකියක් ඇසෙන - නෑසෙන ගණනට පවතී. ඒ දුක නො ව දරාගත නො හැකි සතුට ය.

ඡායාරූපය - කමල් ජයමාන්න

හදවතෙහි පවතින ආදරයේ බර තුන් දොරකින් හෑල්ලුවන බවට කතාවක් තිබේ.

අම්මා සෙනඟ ඈත් - මෑත් කරමින් ඉදිරියට ගියා ය. දකුණේ අම්මා කෙනකු ගේ ස්නේහය ආරක්ෂක භටයකුට නවතාලිය නො හැකි ය. ඇය ආරක්ෂක භටයන් තල්ලු කරගෙන මෙන් ඉදිරියට ගියා ය. මහත් ආදරයෙන් යුතු ව ශ්‍රී ලංකාවේ මහා පුරවැසියා ගේ දෑතින් අල්ලා ගත්තා ය.

රජෙකු වුණත් ඔහු අපේ ම පුතෙක් අම්මාට සිතෙන්නට ඇත. ගැමුණු කුමරු උණුබත් කෑ හැටි ද ඇයට සිහි වන්නට ඇත.

ඉතා හැඟුම්බර අවස්ථාවෙකි. කාලිදාසයන් ජීවත් ව සිටියේ නම් ; තවත් මහා කාව්‍යයක් පබඳිනු ඇත. මහා කවි මිල්ටන් සිටියේ නම්; කවි දහසක් පබඳිනු ඇත. ශේක්ෂ්පියර් මෙය දුටුවේ නම් ; තවත් නාටකයක් ලොවට දායාද කරනු ඇත.

අම්මා ගේ ආදරය ගංගානම් ගඟ වගේ යැයි ඉන්දියානුවෝ කියති. ගංගානම් නදිය මහා භාරතයේ පූජනීය වස්තුවෙකි. ශ්‍රී ලාංකේය කවියෝ මව් සෙනෙහස සාගරය පරදින තරමට ගැඹුරු යැයි ලියති.

කුමන මහාද්වීපයක,කුමන රාජ්‍යයක වාසය කළ ද මව් සෙනෙහස නො වෙනස් ය. ඊට සම කළ හැකි අන් දෙයක් විශ්වයේ කොතැනකවත් තිබිය නො හැකි ය.

මේ පුංචි කොදෙව්වේ මහා පුරවැසියා ලොව සතර දිග්භාගයේ නම රැන්දූ ප්‍රතාපවත් නායකයෙකි. ලෝකෙට ලොක්කා තමන් යැයි පාරම්බාන ඇමෙරිකාවේ මහා ලොක්කා වූ බැරක් හුසේන් ඔබාමා පවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ළඟ පෞරුෂය බිඳගත් රාජ්‍ය නායකයෙකි.

මෑත යුගයේ ත්‍රස්තවාදය බිඳ දමා රට එක් ධජයක් යටතට ගත් එක ම නායකයා මහින්ද රාජපක්ෂ මහතා ය. නොහොත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ය.
 

‘මා වැනි බිළින් දා
වර - වර ළඟට කැන්දා
දුක් - සැප කුමන් දා
අසන නිරිදෝ වෙන කොයින්දා’

අම්මා අසූ විය ඉක්ම වූ වයස්ගත කාන්තාවෙකි. ඇය ගේ අත් සහිත සුදු හැට්ටය හා හීන් මල් සහිත චීත්තය චාම් බව ද, පිරිපුන් බව ද, පිරිසුදු බව ද මොනවට නිරූපණය කරයි. එහෙත් මහලු විය යනු බිළිඳු වියට සමාන කාලයෙකි.

ජනාධිපතිවරයා මහත් ස්නේහයෙන් යුතු ව අම්මා ගේ දෑතින් අල්ලාගෙන සුවදුක් විමසන්නට විය. එතුමා ගේ මුහුණෙහි කරුණාව හා ආදරය පිරී තිබිණි. කුරහන් සාටකය අම්මාට සුබ පතන්නට මෙන් ඈ දෙසට නැඹුරු වී තිබිණි. දකුණේ මවක්, ආත්තම්මා කෙනෙක්! දකුණේ ජවසම්පන්න පුතෙකුට, හා වගකීම් සහිත පියකුට මුණ ගැසුණා හ.

දකුණේ අම්මලා ගේ ආදරය මුළු කොදෙව්වේ ම දරුවන්ට ය. මුළු දිවයිනෙහි ම ළමයින්ට යි. එහෙත් දකුණේ අම්මලා දකුණේ දරුවන්ට වැඩිපුර ආදරය කරති. හරියට ම දරුවන් ඇති අම්මලාට කිරි එරෙන්නා සේ ඒ ආදරය උතුරා ගලා යයි.

2005 දී දකුණේ අම්මලා එක් ප්‍රාර්ථනාවක් කළ හ. ඒ වනවිට රට පැවැතියේ අභාග්‍ය සම්පන්න අඳුරු වටපිටාවක ය.

කුමන මොහොතක බෝම්බයක් පිපිරී කී දෙනකු මරු වසඟයට ගනිත්දැ’යි කිසිවකුටත් කිව නොහැකි විය. දරුවන් ගේ අනාගතය ලියා තබන්නට නො ව ඒ ගැන උපකල්පනයක යෙදෙන්නටවත් කෙනෙක් නො වූහ. උදෑසන කොළඹ යන තැනැත්තා හවස යළි ගෙදර ඒදැ’ යි කිසිවෙක් නිශ්චිත ලෙස නොදත් හ.

‘තාත්තේ අද වැඩට යන්න එපා!’ යැයි සමහර දරුවෝ තම පියාට ඇවටිලි කළහ. දරුවෝ සිය පියාණන් වෙතින් ආරක්ෂාව, ආදරය හා රැකවරණය අපේක්ෂා කරති. පියා අහිමි දරුවන්ගේ සකලවිධ ප්‍රාර්ථනා ලෝකය කඩා වැටේ. එබඳු දරුවන්ගෙන් අපගේ සමාජයට අඩුවක් නොවී ය.

කොටි ත්‍රස්තවාදියා ශ්‍රී ලංකාවේ අනාගතයත්, දරුවන්ගේ අනාගතයත් විනාශ කළේ ය. ඇතැම් දරුවන් යුද්ධයට යොමු කළේ ය. රටේ ආර්ථික මර්මස්ථාන බිමට සමතලා කළේ ය.

මෙබඳු රටකින් ඇති පලක් වේ ද? සිංහ කොඩිය කොඩිගහෙන් පහළට රූටා වැටී බිම වැතිර තිබිණි. ජාතික ගීය ගායනා කරන කෙනෙක් නොවූහ. එය ගායනා කිරීමේ හැඟීමක් ද කිසිවකු ළඟ නොතිබිණි.

මේ රට බේරාගත හැකි අභීත නායකයෙක් බිහිවේවා! එදා දකුණේ අම්මලා ගේ ප්‍රාර්ථනාව එය විය. අම්මලා පෙළ ගැසුණා හ. පුත්තු පෙළ ගැසුණාහ. තාත්තලා පෙළ ගැසුණා හ. මුළු රටෙන් වැඩි ප්‍රමාණයක් ප්‍රගතිශීලී මාවත තෝරාගත්හ.

ඡායාරූපය - රංජිත් ජයවීර

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරවාපත්තුවේ මැදමුලන රාජපක්ෂ පරම්පරාවේ මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයා ලෙස තේරී පත්විය. එවක් පටන් පෙරැළිය ආරම්භ විය.

ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සීරුවෙන් සිටියා හ. කොටි ත්‍රස්තවාදීන්ගේ මිනීමරු උපක්‍රම එකිනෙක ගැලවී යන්නට පටන් ගත්තේ ය. හරියට ම මීට මාස පහකුත් දින ගණනකට පෙර ත්‍රස්තවාදය යන බිහිසුනු සංකල්පය මැණික් දිවයිනෙන් අතු ගෑවී ගියේ ය.

දකුණේ අම්මලා ගේ ප්‍රාර්ථනාව මල්ඵල ගැන්විණි.

සටන එතැනින් අවසන් වූයේ නැත. දේශද්‍රෝහියෝ තව ම විවිධ කුමන්ත්‍රණ කරති.

දකුණේ අම්මලා යළි පෙළ ගැසී සිටිති. ඒ ඉහත කී කුමන්ත්‍රණ පරාජය කිරීම සඳහා ය.

මේ අම්මා කටින් නො කී කතාවක් දෑසින් පළ කළා ය.

‘රජෙකු වුණත් නුඹ අප ගේ පුත්‍රයා ය. නුඹ වෙනුවෙන් ද රට වෙනුවෙන් ද අපි පෙළ ගැසෙන්නෙමු!’

ජනාධිපතිවරයා මවට සුබ පතා සන්සුන් ගමනින් පියවර මනින්නට විය.


සංස්කරණය - ගාමිණී ජයලත්
සැළසුම් නිර්මාණය - රෙක්ෂි වසන්ත
පරිගණක පිටු සැකසුම සහ විචිත්‍රකරණය - එච්. කේ. පීරිස්
ග්‍රැෆික්ස් නිර්මාණ කරණය - නිරංජන් කොන්තසිංහ
වෙබ් පිටු සැකසුම - විජිත ජයසිංහ, තනූෂිකා සෙනවිරත්න

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා