ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල නගරය මූලික කරගත් ගාල්ල දිස්ත්‍රික්කය ඓතිහාසික, සමාජ, දේශපාලන සියලු පාර්ශවයන්ගෙන් වැදගත්කමක් උසුලන දිස්ත්‍රික්කයකි. ගාලු නගරය ආශි‍්‍රතව තිබුණ කොටුපවුර ඇතුලු පුරාවිද්‍යා සාධක ගාල්ලේ ඓතිහාසික අගය ඉහළ දමන අතර ගාලු වරාය, ගාල්ල දිස්ත්‍රික්කයට ආර්ථිකමය වටිනාකමක් එක්කරනු ලබයි.

රුහුණෙන් බිහිවන ප්‍රථම අගමැතිවරයා ලෙස විජයානන්ද දහනායක මහතා පත්වන්නේද ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සිදුවීම ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට අමතක කළ නොහැකි දේශපාලන කරුණකි.

ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන යැපුම් මාර්ගය ධීවර කර්මාන්තය වන අතර දිස්ත්‍රික්කය අභ්‍යන්තරයට වන්නට පහතරට තේ කර්මාන්තය ඉතාමත් සරුසාර ලෙස සිදුකෙරේ. ඊට අමතරව වී ගොවිතැන, කුරුඳු, රබර් වැනි බෝගද ගාල්ල දිස්ත්‍රික්කයේ තැනින් තැන ව්‍යාප්ත වූ වගාවන්ය. සංචාරක කර්මාන්තයටද ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රචලිතය.

ගාල්ල දිස්ත්‍රික්කයේ බහුතර ප්‍රජාව සිංහල බෞද්ධයන් වුවද ගාල්ල නගරය ආශි‍්‍රතවත් වෙනත් නාගරික ප්‍රදේශ ආශි‍්‍රතවත් මුස්ලිම් ප්‍රජාව සෙසු ජන කොටස් සමඟ සහයෝගයෙන් වාසය කරති. ඒ සමඟ දිස්ත්‍රික්කය අභ්‍යන්තරයට වන්නට ඉන්දීය සම්භවයක් සහිත ද්‍රවිඩ ප්‍රජාවද සැලකිය යුතු පිරිසක් සිටින අතර ඔවුන්ගේ යැපුම් මාර්ගය කුඩා තේ් වතු ආශි‍්‍රත රැකියා ය.

ගාල්ල දිස්ත්‍රික්කයේ කලක් වාමාංශික බලය ව්‍යාප්තව තිබූ අතර, 1950, 60, 70 දශකවල ලංකා සමසමාජ පක්‍ෂයට ගාල්ල දිස්ත්‍රික්කය තුළ සැලකිය යුතු ඡන්ද පදනමක් ගොඩනැගී තිබුණි. මෑත කාලීන මැතිවරණවලදී ශශ්‍රීලනිපය, එජාප යන දේශපාලන පක්‍ෂවලට ගාල්ල දිස්ත්‍රික්කයේ බහුතරයක් කැමැත්ත පළකළ අතර ජවිපෙටද සුලු පිළිගැනීමක් තිබිණ.


දකුණේ ඉන්නේ කළ ගුණ දන්නා ජනතාවක්

නිදහස් සන්ධානයේ ජයග්‍රහණය කිසිවකුට වැළැක්විය නොහැකියි

මෙවර පළාත් සභා මැතිවරණය සඳහා සූදානම කෙසේ ද?

ශාන් විජයලාල් ද සිල්වා
ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා
නිදහස් සන්ධාන කණ්ඩායම් නායක

විශේෂයෙන්ම ඒ පිළිබඳව යමක් කිව යුතුයි. අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒ තුළ සිට අපි අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. කිසිවෙකුටත් හානියක් නොවන ආකාරයෙන් අපි ආරම්භයේ සිටම අපේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යාමට හැකි වීම විශාල ජයග්‍රහණයක් මේ දක්වා එය ඉතා සාර්ථකව සිදු වූවා යැයි කිව හැකියි.

අපිට හොඳ ශක්තිමත් කණ්ඩායමක් මෙවර ඉන්නවා. කණ්ඩාමේ සියලු දෙනා එකමුතුව පක්ෂය දිනවීම වෙනුවෙන් කටයුතු කරන බව මෙහිදී සඳහන් කරන්න කැමැතියි. අද ඇත්තටම දකුණු පළාත් සභාව තුළ තිබෙන්නේ අපේ පක්ෂය තුළ තරඟයක් පමණයි. විපක්ෂයෙන් කිසිදු අභියෝගයක් නෑ. ඒ පක්ෂවලට මැතිවරණ ප්‍රචාරක රැළියක් හෝ පවත්වාගන්නට නොහැකි වී තිබෙනවා. මෙවර දකුණු පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධානයට ලැබෙන ජය කිසිවෙකුට වළක්වන්න බෑ. ජයග්‍රහණය ස්ථිරයි.

මේ රටේ ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ආණ්ඩුව දිනවීම අවශ්‍ය වෙනවා.

මේ මැතිවරණයෙන් ආණ්ඩුව ජයග්‍රහණ කරවිය යුතු යැයි කියන්නේ ඇයි ?

මෙවරත් එක්සත් ජනතා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීමේ වැදගත් අරමුණු කීපයක් තිබෙනවා. දශක තුනක් මේ රටේ පැවැති ත්‍රස්තවාදය අප ඉදිරියේ පෙනුනු බලවේගයක් වුණා. නමුත් ඒ ත්‍රස්තවාදය අවසන් කිරීමේ දී ද අපිට දේශීය විදේශීය කුමන්ත්‍රණවලට මුහුණ දෙන්නට සිදු වුණා. ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් වුවත් අපිට නොපෙනෙන විදෙස් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා.

එවැනි කුමන්ත්‍රණ පරදවා රට ඉදිරියට ගෙන යාමට නම් මෙවරත් එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවීම අවශ්‍ය වෙනවා. කුමන්ත්‍රණ කාරී බලවේගයන් පරාජය කොට රටේ ඉදිරි සංවර්ධන, කටයුතු පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. අද වන විට ත්‍රස්ත ග්‍රහණයට නතු වූ උතුරු හා නැඟෙනහිර ඉතා වේගයෙන් සංවර්ධනය කෙරෙනවා. ශ්‍රී ලංකාව මීට වසර තුනකට, හතරකට ;පර පැවැති සංවර්ධන මට්ටමට වඩා විශාල සංවර්ධනයක් ලබා තිබෙනවා.

අද කෙතරම් සංවර්ධන මට්ටමකට ළගා වී සිටියත් තවත් දිගු ගමනක් ඉදිරියට යා යුතු වෙනවා. අපේ මහා භාණ්ඩාගාරයේ මුදල් ද විදේශීය රටවල් හා ජාත්‍යන්තර සංවර්ධනයන් හි ආධාර ඇති ව අද සංවර්ධනය කටයුතු සිදු කරගෙන යනවා. රට පුරා වේගවත් සංවර්ධනයක් අවශ්‍ය වෙනවා. අනෙකුත් පළාත් සභාවන්ට සාපේක්ෂව දකුණු පළාත් සභාවද ජයග්‍රහණය කළ යුතු වෙනවා.

දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරයා වශයෙන් ඔබ කළ සේවය පිළිබඳ සෑහීමකට පත් වෙනවා ද?

ඇත්තටම මම මහ ඇමැතිවරයා වශයෙන් දකුණු පළාත් සභාවට විශාල සේවයක් සිදු කළා කියා කියන්න පුළුවන්. දකුණු පළාත් සභාවේ මහ ඇමැතිකමට අමතරව මම අමාත්‍යාංශ කීපයක් භාරව කටයුතු කළා. විශේෂයෙන්ම මෙහිදී අධ්‍යාපන කටයුතුවල සංවර්ධනය වැදගත් වෙනවා. මම අපගේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා.

අපොස උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් ඉහළින් සමත් වූ දරු දැරියන් සඳහා විදේශ ශිෂ්‍යත්ව ලබා දී තිබෙනවා. ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව වැනි රටවල සංචාරය කිරීමේ අවස්ථාව ඒග මගින් සැළසෙනවා. එක් එක් විෂයන් යටතේ දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම ලකුණු ලබාගත් ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කයෙන් හි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මේ සඳහා සුදුසුකම් ලබනවා.

අද වන විට ලංකාව පුර ගම නැඟුම, මග නඟුම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. මාර්ග ඉදි කිරීම, විදුලිය ව්‍යාපෘති, නිවාස වැඩසටහන්, පානීය ජලය, ආදී සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනයක් කිරීමට අපිට හැකි වී තිබෙනවා. ගිං ගඟ හරහා පාළම් 13ක් ඉදි කිරීමට කටයුතු කළා. ඊට අමතරව දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන් නැංවීම සඳහා විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙවර ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන කණ්ඩායම ගැන යමක් කියන්න පුළුවන්ද?

ඉතාම දක්ෂ කණ්ඩායමක් අපට ඉන්නවා. මීට පෙර පළාත් සභාවේ සිටි අය වගේම තරුණ කණ්ඩායමක් ද මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙනවා. කණ්ඩායමේ සියලු දෙනා කිසිදු ගැටළුවකින් තොරව තමන්ගේ මැතිවරණ කටයුතු කරගෙන යනවා. අනෙකුත්් පක්ෂ වලින් කිසිදු අභියෝගයක් අපිට නෑ. මනාප තරගයක් පමණයි ඇත්තේ.

නිවැරැදිව, දක්ෂ හා කාර්යක්ෂම ලෙස කටයුතු කළ හැකි දක්ෂ කණ්ඩායමක් නියෝජනය කරන නිසා අපේ ඉදිරි ගමන බොහෝම පැහැදිලියි. ඒ ඬසා අපි කිසිම බියකින් සැකයෙන් තොරව කටයුතු කරනවා.

ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා වශයෙන් ඔබ ජනතාවට ලබා දෙන පණිවුඩය කුමක් ද?

අපේ දිස්ත්‍රික්කයේ දැනට සිදු කරගෙන යන යෝධ සංවර්ධන ක්‍රියාදාමය හමුවේ දකුණු පළාත් ජයග්‍රහණය සමඟ ගම්වල ඉතිරි වී තිබෙන සියලු සංවර්ධන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. දකුණේ සංවර්ධන කටයුතු පිළිබඳ අපේක්ෂාවෙන් ජනතාව සිටින බවට අපිට පැහැදිලියි. ඒ නිසා මෙවරත් දකුණු පළාත් සභාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළ යුතු වෙනවා.

අපි දකුණු පළාතේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මෙවරත් එක්සත් ජනතා නිදහස් සන්ධානය දින වීමට සහාය ලබා දෙන්න කියා.

අද වන විට සංධානය වටා විශාල පිරිසක් එක් වෙමින් සිටිනවා. ඒ කුමක් නිසාද ?

දකුණු පළාතෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ නායකයා සමස්ත ශ්‍රී ලංකාවටම ලබා දුන් නිදහසක් ලෝකයට ලබා දුන් ආදර්ශයක් හේතු කොට ගෙන අද ලංකාවේම පිරිස ඒ මහතාට කෘත ගුණ දැක්වීමට සැදී පැහැදී සිටිනවා. පසුගිය පළාත් සභා මැතිවරණ වලදී අපි ඒ තත්ත්වය හොදාකාරවම දැක්කා. මෙවර දකුණු පළාතේ ජනතාවට තමුන්ගේ නායකයාට සැලකීමට ඒ අවස්ථාව උදා වී තිබෙනවා.

අද පක්ෂ, පාට, ජාති, ආගම්, භේදයකින් තොරව සියලු දෙනාට එක සමාන ලෙස සළකන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සැළකීම වෙනුවෙන් අප වෙත ඡන්දය ලබා දීම සඳහා විශාල පිරිසක් අපි සමග එක් වෙමින් සිටිනවා.


නායකත්වයේ වෙනසක් ජයග්‍රහණයට හේතු වන්නේ නෑ

දේශපාලන ක්ෂේත්‍රයට පිවිස ආකාරය පිළිබඳව යමක් පවසන්නේ නම්. ?

චන්ද්‍ර ලාල්
බණ්ඩාරිගොඩ
ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක

මම සාමාන්‍ය පවුලක පුද්ගලයෙක්. පවුලේ කිසිම කෙනෙක් දේශපාලනය කෙළේ නෑ. අඩුම තරමේ ගම් සභාවක්වත් නියෝජනය කෙළේ නෑ. 1989 වර්ෂයේ ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ ආණ්ඩුව සමයේ කරන්දෙණිය ආසනය නියෝජනය කරමින් සමාජවාදී ශිෂ්‍ය පෙරමුණ නියෝජනය කළා. ඒ මම උසස් පෙළ විභාගය කරන කාල සමයයි.

1991 වර්ෂයේ දී මම කරන්දෙණිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කළා. එදා මගේම ඡන්දය සමගින් ප්‍රාදේශීය සභාවට ඒමට හැකි වූ 1994 දී ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉල්ලූ පසු ආසනයේ තේරී පත් වූ දස දෙනාගෙන් මම දස වැනියා වුණා.

1999 මැතිවරණයේ දී 9 දෙනෙක් තේරී පත් වුණා. එයින් මම තේරුණේ පස් වැනි තැනටයි.

1999 පළාත් සභා මැතිවරණයේ දී දකුණු පළාත්සභා මැතිවරණය මනාප 10749 ක් ලබා ගනිමින් මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත් වුණ මුත් පසුව 2000 වර්ෂයේ දී දකුණු පළාත්සභාවේ ප්‍රධාන සංවිධායක කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා.

2004 පැවැති දකුණු පළාත් සභා මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගැනීමට හැකි වුණා.

පසුගිය කාලයේ පැවැති සෑම පළාත් සභාවකින්ම එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වුණා. යම් යම් අවස්ථාවලදී එම පක්ෂයේ පාක්ෂිකයන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක් වුණා. මේ තත්ත්වය යටතේ දකුණු පළාත් සභා මැතිවරණය ගැන කුමක් කිව හැකිද ?

ඌව, සබරගමුව, මධ්‍යම ආදී පළාත් සභා මැතිවරණ කිසිම විටෙක දකුණු පළාත්සභා මැතිවරණයට සම කරන්න බෑ. ඉතිහාසය තුළ විශාල වෙසනස්කම් රැසක් කළ පළාත් සභාවක් හැටියට මෙය හදුන්වන්න පුළුවන්.

පොරොන්දු දීලා, බිය ගන්වලා ජනතාවගේ ඡන්ද අරගෙන දිනන්න බෑ. දකුණු පළාත් වැසියන් නිතරම බුද්ධිමත්ව කටයුතු කරනවා. එතනදී මම කියන්නේ නැහැ

අනෙක් පළාත් වල අයගේ බුද්ධි මට්ටම පහත් කියා. ඒ නිසා මම නම් විශ්වාස කරන්නේ ඌව පළාත්වල සිදු වූ දෙය දකුණු පළාත් සභාව තුළ සිදු නොවේ වි. එවැනි පළාත් සභා මැතිවරණවලට වඩා මෙය විශාල වෙනසක් දකින්න හැකි වේවි. ජනමතය පිළිබඳව බුද්ධිමත් ජනතාවගේ තීරණය නිවැරැදිව ලබා දේවී.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් විය යුතුයි කියා ඔබ හිතනවාද ?

නායකත්වයේ වෙනසක් ජයග්‍රහණය සඳහා හේතු වෙනවා කියන්න අමාරුයි. ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් තිබිය යුතු වෙනවා. පටු ආකල්ප අපි ළග නෑ.

අපි ජනතාව වෙනුවෙන් දේශපාලනය කරනවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, දිස්ත්‍රික් මට්ටමින් සංවිධායක වරු වෙනස් වුණා.

ඇතැම් අයගේ පෞද්ගලික මතයත් වෙනස් වුණා. ජනතාවට සාපේක්ෂව විශාල වෙනස් කම් සිදු වූයේ නෑ.

මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කළොත් ඉදිරියේ දී වෙනසක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවාද ?

දකුණු පළාත් සභාව තුළ පසුගිය කාලයේ විශාල වශයෙන් දූෂණ වංචා සිදු වුණා. අපි උත්සාහ කරන්නේ මුලින්ම එවැනි දේවල් නැති කිරීමට දකුණු පළාත් සභා මැතිවරණයේ දී ඩිජිටල් දැන්වීම් වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් මුදල් වෙන් කරනවා.

කුඩා දෙයක් කරලා විශාල ප්‍රචාරණයක් දෙන්න බලනවා. රුපියල් දෙදාහක, තුන්දහසක විදුලි බිල ගෙවා ගන්නට නොහැකි විශාල පාසල් ප්‍රමාණයක විදුලිය කපා තිබෙනවා. තොරණ් සැණකෙළි අනෙකුත් උත්සව සඳහා වගේම නිල වාහන, නිල නිවාස සඳහා රුපියල් කෝටි ගණනින් මුදල් වැය කරනවා. ප්‍රතිපත්තියක් අපි දකුණු පළාතේම මෙවැනි අනවශ්‍ය වියදම් කිසිවක් කරන්නේ නෑ.

පළාත් සභා මුදල් වලින් එවැනි දෑ අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලබා දෙන ඉන්ධන සීමා කරනවා. මේ වන විට ඇමැතිවරු සියයට 10 කින් පළමු වසර තුළදී අවසන් කරනවා.

මේ දක්වා පළාත් සභාව තුළ නොවිසඳුණු ගැටළු බොහොමයක් තිබෙනවා නේද ?

දකුණු පළාත් සභාව තුළ විවිධ හේතුන් මත පාසල් කීපයක් වැසී ගියා. 1995 දී සෑම දින 39 කට එක් පාසලක් බැගින් වැසී ගියා. ඒවාට හේතු තිබෙනවා. එක් අතකින් විධිමත් ගුරු මැරුවක් තිබුණේ නැහැ. ඕනෑම දෙමාපියෙක් කැමැති තමන්ගේ දරුරවාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒ නිසා දරුවා ගමේ පාසලෙන් නගරයේ පාසලට රැගෙන යනවා. ගුරුවරුන් තෘප්තිමත් නෑ.

අපි පළාත් සභාවට පැමිණි පසු විධිමත් ගුරු මාරුවක් ලබා දෙනවා. ඔවුනට අවශ්‍ය ණය පහසුකම් ලබා ගැනීමටද අවස්ථාව සළසා දෙනවා. දකුණු පළාත තුළ රැකියා නොමැති උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. එවැනි රැකියා විරහිත තරුණ තරුණියන් 6000 කට රැකියා අවස්ථාව ලබා දෙනවා.

දකුණු පළාත් සභාව තුළ පෙර පාසල් ප්‍රඥප්තියක් නෑ එය විධිමත් කිරිමට අපි පියවර ගන්නවා. වසර 16ක් එවැනි ප්‍රඥප්තියක් අපේ පළාතින් ක්‍රියාත්මක වී නෑ. අපි එය ඉතා ඉක්මනින්ම රැකියා එනවා. ඉතා හොඳ සැළසුම් යටතේ ඒවා ක්‍රියාත්මක කරනවා.

මෙවර මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව අවසාන වශයෙන් කුමක් කිව හැකි ද ?

මැතිවරණ නීතියට අනුව කිසිදු බාධාවකින් තොරව අපි ප්‍රචාරක කටයුතු කරගෙන යනවා. ආණ්ඩුවේ ප්‍රචාරක කටයුතු පටන් ගන්නේ දැවැන්ත ලෙසයි. අපි දැක්කේ නෑ ඒ තුළ අවශ්‍ය නීති රීති අනුගමනය කරනවා. නමුත් අපේ අය ඒ අනුගමනය කළ යුතු ක්‍රිියාමාර්ගයට සිදු කරගෙන යනවා.

මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ සියයට 40 කින් අපි ඉදිරියට පැමිණ තිබෙනවා. මධ්‍යස්ථ පිරිසක් අපිත් සමග දැනටමත් කටයුතු කරනවා. අපේ කණ්ඩායම තුළ විනය, එකමුතුකම, මිත්‍රත්වය ඉහළින්ම තිබෙනවා. මනාප අරඟලයකින් තොරව අපි ව්‍යාපාරය ගෙන යනවා. කණ්ඩායම තුළ ඒ තත්ත්වය වර්ධනය කර ගැනීමට හැකි වී තිබෙනවා.


කිරෙන් දිය වෙන්කර ගන්න දකුණේ ජනතාව දන්නවා

විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා ජවිපෙ සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් පක්ෂය හැරගොස් එ. ජ. නි. ස. වටා රොක්වෙමින් තියෙනවා කියා. එම තත්ත්වය තුළ මෙවර දකුණු පළාත් සභාව ජයග්‍රහණය කිරීමට ජ. වි.පෙ. ට අභියෝගයක් නොවේද?

නලීන් හේවගේ
ගාල්ල දිස්ති‍්‍රක්කයේ ජවිපෙ
කණ්ඩායම් නායක

ආණ්ඩුව මාධ්‍ය සම්බන්ධකරගෙන විවිධ අසත්‍ය ප්‍රචාර යවමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරනවා. දකුණේ භූමිය ඇවිත් බැලුවොත් ඕනෑම කෙනෙකුට එසේ තත්ත්වයක් ඇතිවී තිබෙනවාද නැද්ද යනවග තෝරාගන්න පුලුවන්. පසුගිය දිනක ජාතික නිදහස් පෙරමුණු ගාල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියා ජ.වි.පෙ. න් කිසිම කෙනෙක් ජ. නි. පෙ.ට එකතු වුණේ නැහැ කියලා.

ඉන් පෙනී යනවා ජවිපෙ තව තවත් ශක්තිමත් වෙලා කියලා. ඔය කියන ප්‍රචාර යවන්නේ ජවිපෙ ශක්තිමත් වී තිබෙන නිසයි. තවමත් රජයට දකුණු පළාත් සභාවේ ජයග්‍රහණය සැක සහිතව තිබෙන්නේ. එම නිසා මෙවැනි ප්‍රචාර කරමින් ජ. වි. පෙ. වට්ටන්න පුලුවන්ද කියා බලනවා. ජවිපෙ විනාශ කරන්න, වට්ටන්න ට පෙර සිටම පැවැති ආණ්ඩු උත්සාහ කළා. නමුත් ජවිපෙ ජනතාව සමඟ සිටින පක්ෂය නිසා එසේ වට්ටන්න බැරි වුණා.

ඌව පළාත් සභා මැතිවරණයේදී ජවිපෙ විශාල ලෙස පසුබෑමකට ලක්වුණා. එම තත්ත්වය තුළ දකුණු පළාත් සභා ජයග්‍රහණය කිරීමට ජවිපෙට තිබෙන හැකියාව කෙබඳුද?

ඌව මැතිවරණය ආණ්ඩුව ජයගත්තෙ කරුණු දෙකක් නිසයි. පළමු කරුණ යුද්ධය අවසන්වී පැවැති පළමු මැතිවරණය නිසා රජයට කෘතගුණ සැලකීමට බොහෝ දෙනා තම ඡන්දය සන්ධානයට පාවිච්චි කළා. දෙවන කාරණය තමයි ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ප්‍රචාරක රැලිවලදී කිව්වේ හම්බන්තොට වරාය හදන්නේ මගේ තාත්තාය. අපත් සමඟ එකතු වී වැඩකරන අයට වරායේ රැකියා ලබා දෙනවා කියන කරුණ. එම කරුණු දෙක ඌව පළාත් සභාවේදී රජය ඉහළම මිලට අලෙවි කළා.

අද බලන්න බස්නාහිර පළාත් සභාවේ ජවිපෙ බලය හා එජාප බලය අඩුකර සැදූ පළාත් සභාව දැන් ඔවුන්ට ඕන තීන්දු තීරණ ගන්න පුලුවන්. එය මහජනතාවට හොඳ උනත් නැතත් ඔවුන්ට කමක් නැහැ.

හොඳම උදාහරණය පසුගියදා බස්නාහිර පළාත් සභාවේ එජාප හා රජයේ මන්ත්‍රීවරු සියලුදෙනාම චීන සංචාරයක නිරත වෙලා. ඒ සඳහා රුපියල් ලක්ෂ 350 ක් වියදම් කරලා තියෙනවා. මෙයට ජවිපෙ සමාජිකයන් තිදෙනා හවුල් වුණේ නැහැ. ජනතාවගේ මුදල් නාස්තිකරන පාපකර්මවලට ජවිපෙ හවුල් වෙන්නෙ නැහැ. එම නිසා අපට කියන්න තියෙන්නේ දකුණේ ජනතාව දන්නවා කිරෙන් දිය වෙන් කරගන්න. 1994 දී පළමු වෙඩිමුරය දකුණෙන් දුන්නේ ජවිපෙයි. 2001 දී රට ගිය අත වෙනස් කරලා ඓතිහාසික ජයග්‍රහණයක් ලබාදීමට කැපවුණේ ජනතා විමුක්ති පෙරමුණයි.

2004 දකුණු පළාත් සභා මැතිවරණයට වඩා මෙවර මැතිවරණය ජවිපෙට අභියෝගයක්ද?

ඇත්තෙන්ම ජවිපෙට අභියෝගයක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ 2004 මැතිවරණය පමණයි සන්ධානගතවෙලා ඉල්ලුවේ. ඊට පෙර පැවැති මැතිවරණ අපි තනියෙන් ඉල්ලා ජයග්‍රහණය කළා. නමුත් එක දෙයක් කිව යුතුයි. පසුගිය පළාත් සභාවේදී මැති ඇමැතිවරුන්ගේ පඩි සඳහා රුපියල් ලක්‍ෂ 450 ක් වසරකට වියදම් කළා. වෙනත් අතිරේක වියදම් සමඟ මොවුන් රුපියල් ලක්ෂ 8250 ක් වියදම් කර තිබෙනවා. අසීමිත ලෙස ඉන්ධන භාවිතා කළා.

නමුත් ජවිපෙ මන්ත්‍රීවරු එසේ කෙළේ නැහැ. අපි පඩි වලින් ගාලු බස්නැවතුම්පොළ හැදුවා. සුනාමි ගම්මානයක් ඉඳිකළා. අපි රජයට රුපියල් ලක්ෂ 2250 ඉතිරිකර දී තිබෙනවා. මේ පළාත් සභාව ජවිපෙ ජයග්‍රහණය නොකළත් ජවිපෙට කිසිදු හානියක් වෙන්නෙ නැහැ. ජනතාවට පමණක් හානිවෙන්නේ. මොකද ඔවුන් වෙනුවෙන් හඬ නැඟූ® පක්ෂය නැතිවුණාම වැඩියෙන් දැනෙන්නෙ ජනතාවටයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා