හිටපු ආන්ද්‍රා මහ ඇමැති රෙඩ්ඩි වගේ මහ ඇමැති කෙනෙක් දකුණට ඕනෑ

හිටපු ආන්ද්‍රා මහ ඇමැති රෙඩ්ඩි වගේ මහ ඇමැති කෙනෙක් දකුණට ඕනෑ

* දකුණු පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සූදානම කෙසේද?

බද්දේගම සමිත හිමි
ගාල්ල දිස්ත්‍රික්
 එක්සත් ජනතා
නිදහස් සන්ධාන අපේක්ෂක

ගේ පිළිගැනීම නම් පළාතේ ජනතාව ප්‍රධාන වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කෘතවේදිත්වය දැක්වීම පිණිස එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයෝගය ලබා දෙනවා.

නමුත් අපේ පක්ෂයේ අපේක්ෂකයන් අතර තරගයක් තිබෙන බව කිව යුතුයි. ඒත් ඒ අය තමන්ගේ ප්‍රචාරක කටයුතු කරගෙන යනවා.

සමස්තයක් හැටියට මෙවර මැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩු බව කියන්න කැමැතියි. මනාප ක්‍රමය වැනි පීඩාකාරී තත්ත්වයන් එතරම් සුදුසු නෑ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තම ඡන්දය ප්‍රකාශ කරන්නට දකුණු පළාතේ සියලුදෙනා සූදානමින් සිටිනවා.

දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවැති ත්‍රස්තවාදය අවසන් කැර රටේ සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීමට යන මොහොතේ සියලුදෙනාගේම සහයෝගය ලැබෙන බවට විශ්වාසයි.

* මේ දක්වා පැවැති පළාත් සභා මැතිවරණ සියල්ලෙන්ම ආණ්ඩුව ජයග්‍රහණය කළා. ඒත් රටේ ප්‍රබල විපක්ෂයක් නැතිවීම පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද?

ඇත්තටම ඒ ගැන ලොකු කනගාටුවක් දැනෙනවා. අපේ රටේ ප්‍රබල විපක්ෂයක් පළාත් සභාව තුළ පමණක් නොව රටෙත් නැති බව කිව යුතුයි. ඕනෑම රටක ආණ්ඩුවේ හරිවැරැදි පෙන්වා දෙන්නට ප්‍රබල විපක්ෂයක් තිබිය යුතු වෙනවා.

අපේ රටේ ප්‍රබල විපක්ෂයක් තිබෙනවා නම් එය ආණ්ඩුටත් ඉතාම වැදගත් වෙනවා. ආණ්ඩුව කරන කටයුතු පිළිබඳව ප්‍රබල විපක්ෂයක කාර්යභාරය වන්නේ විවේචනය කිරීමයි. නමුත් මගේ ප්‍රාර්ථනය නම් දකුණු පළාත් සභාවට ප්‍රබල විපක්ෂයක් ඇතිවේවායි කියලයි.

* නමුත් අද පළාත් සභාව තුළ විනය විරෝධී ක්‍රියාවන් සිදුවෙනවා කියා චෝදනාවක් තිබෙනවා. එහි සත්‍ය කුමක්ද?

ඕනෑම පළාත් සභාවක අරමුණ විය යුත්තේ පළාතේ ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වී ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරමින් ප්‍රදේශ සංවර්ධනය කිරීමයි.

ඇතැම් ලැයිස්තුවල අරමුණක් නැති පුද්ගලයන් සිටිය හැකියි. එවැනි චෝදනා අපිටත් තිබෙනවා.

ඕනෑම පක්ෂයක ප්‍රබල මතයක් දරන අය එවැනි පුද්ගලයන් සඳහා ඡන්දය ලබාදෙන්නේ නෑ. ඇතැම් අය අපෙන් අහනවා එවැනි චරිත රැගෙන ආවේ කුමකටද කියා. එවැනි විවේචන සාධාරණයි. ඒවා නිවැරැදි කරගෙන කටයුතු කළ යුතු වෙනවා.

* ඇතැම් අපේක්ෂකයන් මහ ඇමැති මමයි කියා විවිධාකාරයේ ප්‍රචාරයන් ගෙන යනවා. එයින් බලාපොරොත්තු වන්නේ මොනවාද?

තනතුරක් කියන්නේ එක්තරා ආයුධයක්. පළාත් සභාවක අරමුණ පළාත සංවර්ධනය කැර නිර්මාණශීලි ලෙස කටයුතු කිරීමයි. ඇත්තටම අපිට මෙය මැතිවරණයක් විතරයි. ඇතැම් අපේක්ෂකයන් උදාර අරමුණක් වෙනුවෙන් කැපවන්නේ නෑ. ජනතාවගේ සිත් දිනාගෙන කටයුතු කළ හැකි ජයග්‍රාහී වැඩපිළිවෙළකට යා යුතු වෙනවා.

විශේෂයෙන්ම මේ සඳහා අපි ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තයේ මහඇමැති රෙඩ්ඩි මහතා ආදර්ශයට ගත යුතුයි.

ඒ මහතා මියගිය පසු ප්‍රාන්තයේ වැසියෝ සිය ගණනක් ජීවිත හානි කර ගත්තා. එවැනි කාර්යභාරයක් කළ හැකි පිරිසක් අපිටත් අවශ්‍ය වෙනවා.

අපිට ආභරණයක් අවශ්‍ය වන්නේ නෑ. නමුත් පළාතට ආභරණයක් විය යුතු වෙනවා.

* පළාත් සභා මැතිවරණයෙන් පසු ඉදිරි මැතිවරණය පිළිබඳව ඔබ වහන්සේට කුමක් කිව හැකිද?

දකුණු පළාතට බලපාන ප්‍රධාන ප්‍රශ්න දෙකක් පවතින බව කිව යුතුයි. තරුණ ශ්‍රමයට අලුත් අර්ථකතනයක් දිය යුතුයි. ගෝලීයකරණ ලෝකයේ භාෂා හැකියාව, ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළේ වැඩි මිලට අලෙවි කළ හැකි රැකියා ආදිය පිළිබඳ අපේ තරුණ තරුණියන් පුහුණු කළ යුතු වෙනවා. අපි 1971 කැරැල්ල දැක්කා. 88/89 භීෂණයන් දැක්කා. දශක තුනක් මේ රටේ පැවැති ත්‍රස්ත ක්‍රියාකාරකම් දැක්කා.

සුනාමි ව්‍යසනය දැක්කා. අපි තවමත් සංවර්ධනය අතින් පහළ මට්ටමේ ඉන්නේ. ඉතාම ක්‍රියාශීලි බුද්ධිමත් තරුණ පිරිසක් අපේ රටට අවශ්‍යයි. ඒ අය රැවටිය යුතු නෑ.

මම දකුණු පළාත තුළ ඉංග්‍රීසි මාධ්‍ය පුස්තකාලයක් ආරම්භ කළා. ප්‍රංශ භාෂාව හා දමිල භාෂාව උගන්වන ගුරුවරුන් එහි සිටිනවා. ඒ තුළින් විශාල දැනුමක් තරුණ තරුණියන්ට ලබා දෙනවා.

ඊළම ගැන ප්‍රශ්න කරන්නට ඒ තරුණයන්ට හැකිවුණේ නෑ. ලෝකයේ ඕනෑම රටකට අවශ්‍ය ආකාරයෙන් පුහුණුවීමක් ලබාදී අපේ රටේ තරුණ තරුණියන් යොමු කරන්න පුළුවන්. යුරෝපයේ මේසන් බාස් කෙනෙකුට ලැබෙන වටිනාකම අපේ රටේ අයෙකුට ලැබෙන්නේ නෑ.

මගේ උපදෙස් පරිදි ජාත්‍යන්තර බේකරි පාඨමාලාවක් ආරම්භ කළා. ඒක වෘත්තීය පුහුණු අමාත්‍යාංශය කරගෙන යනවා.

ගුවන් යානා පිළිබඳ හොඳ අධ්‍යයනයක් ලබාගත හැකි පාඨමාලා ආරම්භ කළා. ඊට අමතරව විදේශාධාර යටතේ උසස් තාක්ෂණ ආයතනයක් ඉදිකරගෙන යනවා.

ගුවන් යානා නඩත්තු සම්බන්ධ පාඨමාලා පටන් ගැනීමෙන් අපේ රටේ රුපියල් ශත වෙනුවට ඩොලර් උපයා ගන්නට පුළුවන්.

ලංකාව තුළ එවැනි පාඨමාලාවක් හදාරන්නේ නම් රුපියල් ලක්ෂ 20 ක් පමණ වියදම් වෙනවා. ඒක අපේ රටේ ගම්බද තරුණයෙකුට කරන්නට බෑ. ඒ නිසාම අපි එය සහනදායි ලෙස ආරම්භ කළා.