සන්ධානයේ ජය හෙට ඉර පායනව වගේ ස්ථිරයි

සන්ධානයේ ජය හෙට ඉර පායනව වගේ ස්ථිරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්

ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත

එක්සත් ජනතා නිදහස් සන්ධානයට දකුණු පළාත් සභා මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට පුලුවන්කම ලැබිලා තියෙනවා. දැනට ලැබිලා තියෙන සමීක්‍ෂණ වාර්තාවලට අනුව නිදහස් සන්ධානයට සියයට අසූවේ සීමාව ඉක්මවා යාමට පුලුවන්කම තිබෙනවා.

අවුරුදු තිහක යුද්ධය නිමා කිරීමට පුලුවන්කම ලැබුණේ ජනාධිපතිතුමාගේ අපරිමිත කැපවීම නිසා. ජාත්‍යන්තර බලපෑම් ජාත්‍යන්තර මැදිහත්වීම් නොසලකා කටයුතු කිරීම නිසා තමයි යුද්ධයෙන් ජයග්‍රහණය කරලා මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය ගොඩනැගීමට පුලුවන්කම ලැබුණා. ඒ ගැන සමස්ත රටේම ජනතාව එතුමාට ණයගැතියි.

ඒ වගේම මුලු රටම එතුමා සිද්ධ කළ උතුම් සේවය අගය කරනවා. පසුගිය කාලයේදී නැඟෙනහිර සිට ඌව පළාත දක්වා සියලු මැතිවරණවලින් සන්ධානයට විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට පුලුවන්කම ලැබුණා.

එයින් අපිට පුලුවන්කම ලැබිලා තියෙනවා පසුගිය මැතිවරණවලදී රටේ ඡන්ද දායකයන් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ, ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉතාමත් ඉහළින් අගය කර තිබෙනවා කියලා.

ඒ ප්‍රතිඵලය එහෙම නෙමෙයි කියලා දකුණේ දී කියන්නේ කොහොමද? තව දවස් කිහිපයකින් තියෙන දකුණු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට පුලුවන්. ඒක හෙට නැඟෙනහිරෙන් පායන හිරු වගේ ස්ථිර විශ්වාසයක්.

අද රටට විරුද්ධව ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණයක් විපක්‍ෂය සහ ජාත්‍යන්තර බලවේග එකතුවෙලා සිදු කරනවා. අද වෙද්දි පැහැදිලිවම මේ තත්ත්වය මතුවෙලා තියෙනවා. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕනෑ මේ කුමන්ත්‍රණ පරාජය කිරීමට. ඒ සඳහා දකුණේ ඡන්ද දායකයා බුද්ධිමත් ලෙස කල්පනාකරලා තීරණය කළ යුතුයි කාටද ඡන්දය දෙන්නේ කියලා.
 


ආණ්ඩුව අපට බයවෙලා ඉන්නේ

- එ. ජා. ප. මහ ලේකම්

තිස්ස අත්තනායක

ආණ්ඩුව මැතිවරණ සටන පටන් ගනිද්දි පුරසාරම් දෙඩුවා 85% ගන්නවා 90% ගන්නවා කියලා. ඒත් මේ වෙද්දි ආණ්ඩුවට තේරිලා තියෙනවා ආණ්ඩුවට බලාපොරොත්තු වූ ජයග්‍රහණවලට යන්න බැහැ කියලා. පසුගිය මාස එකහමාර ඇතුළත අපිට පුලුවන්වුණා එජාපය ඉදිරියට අරගෙන එන්න. අද වෙද්දි එජාපයට පුලුවන් වෙලා තියෙනවා ග්‍රාමීය මට්ටමට යන්න වගේම හැම ගමකම වගේ මැතිවරණ කාර්යාලයක් දමන්න.

ආණ්ඩුව මුලදී ඇහුවා කෝ එජාප කාර්යාල, කෝ කොළ කොඩි කියලා. මං කියනවා දැන් එන්න දකුණට මෙන්න තියෙනවා කොළ කොඩි... මෙන්න තියෙනවා කාර්යාල... මේ ගැන ආණ්ඩුව විශාල වශයෙන් බය වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි ප්‍රචන්ඩත්වය මුදාහරින්නේ අපේ කාර්යාල කඩන්නේ, අපේක්‍ෂකයන්ට පහරදෙන්නේ.

ආණ්ඩුවේ දූෂණය, භීෂණය, මර්දනය පරාජය කිරීමේ පළමු වෙඩිමුරය අපිට දකුණෙන් පත්තු කරනවා. මේ තත්ත්වය තේරුම් අරගෙන තමයි ආණ්ඩුව රාජ්‍ය බලය, මුදල් බලය, මැර බලය සීමා රහිතව මුදා හැරලා ඡන්ද දායකයන් බිය කිරීමට උත්සාහ කරන්නේ.
 


දකුණ ජනාධිපතිවරයාගේ වගේම ජවිපෙත් බලකොටුව

 - ජවිපෙ ප්‍රධාන ලේකම්
ටිල්වින් සිල්වා

සන්ධාන ආණ්ඩුවේ දුෂණය, මැරකම්, මහජන දේපළ කොල්ලකෑම්වලට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණට පුලුවන්වෙලා තියෙනවා දකුණේ ඡන්ද දායකයන් අතර විශාල මතයක් ඇති කිරීමට. මුලදී ආණ්ඩුව කීවා ජවිපෙ හාන්සියි, ජවිපෙ ඉවරයි කියලා. ජවිපෙ කියන දේශපාලන පක්‍ෂය එහෙම විනාශ කරන්නත් බැහැ, විනාශ වෙන්නෙත් නැහැ.

ජනාධිපතිවරයාගේ වගේම ජනතා විමුක්ති පෙරමුණේ බලකොටුවත් දකුණ. ඒ නිසා අපිට දකුණේදී තීරණාත්මක දේශපාලන බලයක් ගොඩනැගීමට පුලුවන්කම ලැබිලා තියෙනවා. ආණ්ඩුවේ ඇතැම් මනසක් නැති දේශපාලන විඥාණයක් නැති ඇමැතිවරු කියනවා දකුණේදී ආණ්ඩුව 85% ඡන්ද ප්‍රතිශතයක් ගන්නවා කියලා.

මේක ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ සිහිනයක් පමණයි. ජනතාව දැන් යථාර්තය තේරුම් අරගෙන ඉන්නේ. ඒ නිසා ආණ්ඩුව රණවිරු ජයග්‍රහණ පාවාදෙමින් රණවිරු ජයග්‍රහණ බාල්දු කරමින් රණවිරු ජයග්‍රහණවලට මුවා වෙමින් සිදු කරන වංචාවට විරුද්ධව ජනතාව ජවිපෙ වටා එක් වෙමිනුයි ඉන්නේ.

පසුගිය දවස්වල හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේ රැස්වීම්වලට විශාල ජනතාවක් ආවා. මේවායින් තහවුරු වෙනවා ජවිපෙ බලය බිඳවැටී නැහැ කියන එක.

ආණ්ඩුව කියන විදිහට ජවිපෙ බිඳවැටිලානම් ඒ අයට පහසුවෙන් ඡන්දය දිනන්න පුලුවන්නම් අපේ කාර්යාල කඩන්නේ මොකද, අපේ සාමාජිකයන්ට පහර දෙන්නේ මොකද කියන ප්‍රශ්නය මම ආණ්ඩුවෙන් අහනවා.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා