මෙදා දකුණේ  රැල්ල කාටද?

මෙදා දකුණේ  රැල්ල කාටද?

දකුණේ පැවැති මැතිවරණ පිළිබඳ විමසීමක්

දකුණ හැමදාමත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රමුඛ වාමාංශික දේශපාලන පක්‍ෂවල බල කොටුවකි. වමේ ව්‍යාපාරයේ පුරෝගාමී නායකයන් ගණනාවක් බිහිකළ දකුණ මිලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කරමින් දශක ගණනාවකට පසු මව්බිම එක්සේසත් කරන්නට සමත්වූ වත්මන් රාජ්‍ය නායකයා බිහිකරන්නටද සමත් විය.

දකුණේ ජනතාව හැමදාමත් තීන්දු – තීරණ ගත්තේ රට පළමුවෙන් තබා සිතමින් බව සඳහන් කිරීම දකුණට කෙරෙන ගෞරවයකි.

මෙරට දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක් සළකුණු කළ 1994 න් පටන්ගෙන ඉකුත් ජනාධිපතිවරණය දක්වා මැතිවරණ කිහිපයක ප්‍රතිඵල ඇසුරින් මෙහිදී විමසා බලන්නේ ඉදිරි පළාත් සභා මැතිවරණයේ ඡන්ද හැසිරීම කෙසේවිය හැකිද යන කාරණයයි.

ශ්‍රී ලංකේය ඉතිහාසයේ අඳුරු - භීෂණකාරී කාලපරිච්ඡේදයක් පසු කිරීමෙන් පසු දහහත් වසරක එජාප පාලනය අවසන් කිරීම සඳහා වූ පළමු වෙඩිමුරය තැබුණේ දකුණෙනි. දකුණු පළාත් සභාවේ බලය කුමන්ත්‍රණකාරී ලෙස රැකගැනීම සඳහා වූ එජාප සැළසුම් ව්‍යර්ථ කරමින් දකුණේ ප්‍රගතිශීලී ජනතාව පළාත් සභාවේ බලය පොදුජන එක්සත් පෙරමුණට ලබාදුන්හ.

එකී ජයග්‍රාහී ආරම්භය රට පුරා නව ජවයක් දේශපාලන ප්‍රබෝධයක් ඇතිකිරීමේ සමත්විය. අමරසිරි දොඩන්ගොඩ නම් පරිණත දේශපාලනඥයා දකුණේ මහ ඇමැති පදවියට පත්කෙරිණි. එකී ජයග්‍රාහී ආරම්භය හේතුවෙන් බස්නාහිර පළාත් සභාවේ බලයත් රැකගැනීමට එජාපයට නොහැකිවිය.

දකුණෙන් ඇතිවූ ජයග්‍රාහී පෙළගැස්ම 94 අගෝස්තු මහමැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ විජයග්‍රහණය කරවීමෙහි සමත්විය. බස්නාහිර මහ ඇමැති ධූරයේ සිට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අගමැතිධූරය දක්වා රැගෙන ආවේ එක කඳවුරක් ලෙස ගොනුවූ ප්‍රගතිශීලී ජනතා බලය විසිනි.

මෙම දේශපාලන විපර්යාසයේ උපරිම අවස්ථාව සටහන් කරමින් 94 නොවැම්බර් ජනාධිපතිවරණයේදී අගමැතිනී චන්ද්‍රිකා විධායක ජනාධිපති ධූරයට පත්වූයේ වාර්තාගත ජනවරමකිනි. මේ සමස්ත ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාවලිය තුළ දකුණේ කැපවීම හා දායකත්වය ඉහළින්ම සටහන්ව තිබේ.

1 වගුව බලන්න

දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුනෙන් එකකදීවත් එජාප ඡන්ද ප්‍රතිශතය 38% නොඉක්මවූ බව මින් පැහැදිලිව පෙනී යයි. ගාල්ල, මාතර දිස්ත්‍රික්ක දෙකෙහිදීම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ වැඩි ඡන්ද සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවූ අතර හම්බන්තොටදී එය පණස්දහස ඉක්මවීය.

ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පළමු ධූර කාලය අවසන පැවැති ජනාධිපතිවරණයේදී ද (1999) 1994 ප්‍රතිඵලයට ආසන්න ඡන්ද සංඛ්‍යාවකින් දකුණු පළාත ජයගැනීමට පොදුජන එක්සත් පෙරමුණට හැකිවිය. ඉන් පෙනෙන්නේ දකුණු පළාතේ ඡන්ද පදනම ශක්තිමත් ලෙස රඳවා තැබීමට පොදු පෙරමුණට හැකිවී ඇති බවයි.

2 වගුව බලන්න

මෙයින් පැහැදිලි වන්නේද පොදු පෙරමුණ දකුණු පළාත ජයග්‍රහණය කර ඇත්තේ විශාල ඡන්ද සංඛ්‍යාවකින් බවයි.

1999 පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කළේද පොදුජන එක්සත් පෙරමුණයි. සමස්ත ප්‍රතිඵලය අනුව එය හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව ලක්‍ෂ 32ක් පමණ විය. එජාපයට ලැබී තිබුණේ ලක්‍ෂ 28 කට ආසන්න ඡන්ද ප්‍රමාණයකි.

2004 මහ මැතිවරණයද මෙරට මැතිවරණ ඉතිහාසයේ වාර්තාගත එකකි. මෙම මැතිවරණ සඳහා ශ්‍රීලනිප, ජවිපෙ, ජාතික හෙළ උරුමය, වමේ පක්‍ෂ ආදී දේශපාලන පක්‍ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස එක්ව තරග කෙළේය. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය දකුණු පළාත විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට සමත්විය.

3 වගුව බලන්න

දකුණු පළාතෙන්ම එජාපයට දිනාගත හැකිවූයේ ගාල්ල මැතිවරණ කොට්ඨාසය පමණි. ඒ ද වැඩි ඡන්ද තුන්දහසකටත් අඩු සංඛ්‍යාවකිනි.

2004 දී පැවැති පළාත්සභා මැතිවරණයේදී ද දකුණු පළාත එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනාගත්තේ විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකිනි.

4 වගුව බලන්න

මින් පැහැදිලිව පෙනෙන්නේ පසුගිය පළාත් සභා මැතිවරණයේදී ද එජාපය දකුණු පළාත තුළ විශාල පසුබෑමකට ලක්ව ඇති බවයි. 2004 මහමැතිවරණයට සාපේක්‍ෂව එජාප ඡන්ද පදනම විශාල වශයෙන් පහත වැටී තිබේ. එම මැතිවරණයේදී දකුණූ පළාත් සභාවේ ආසන 36ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූ අතර එජාපයට හිමිවූයේ ආසන 19කි.

ඉන්පසුව පැවැති ජනාධිපතිවරණයේදී (2005) එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂකයා වූ මහින්ද රාජපක්‍ෂ මහතා දකුණු පළාතේ් දී ජයග්‍රහණය කෙළේ විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකිනි. රාජ්‍ය නායකත්වය දකුණෙන් බිහිකිරීම සඳහා දකුණේ ජනතාව විශාල උද්යෝගයකින් ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

5 වගුව බලන්න

ගාල්ල, මාතර දිස්ත්‍රික්ක දෙකෙහිදීම මහින්ද රාජපක්‍ෂ මහතාගේ වැඩි ඡන්ද සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවූ අතර හම්බන්තොට දී එය ලක්‍ෂයකට ආසන්න විය. නැඟෙනහිර පළාත් සභාව සඳහා පැවැති පළමු මැතිවරණයෙන් පටන්ගෙන මෙවර පැවැති සෑම පළාත් සභා මැතිවරණයකදීම එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත. ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමෙන් පසු පැවැති ඌව පළාත් සභා මැතිවරණයේ දී සන්ධානයේ ජයග්‍රහණය වාර්තාවූයේ 2/3 බලයකිනි.

දැන් දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ දකුණෙන් බිහිවී රට එක්සේසත් කළ සේනාධිනායකයාට දකුණේ ජනතාවගේ ගෞරවය හා කෘතවේදීත්වය උපරිම අන්දමින් පිරිනැමීම සඳහා ඔවුන්ට පළමුවරට අවස්ථාවක් ලබාදෙමිනි.

එසේම යුද අපරාධ පිළිබඳ ව්‍යාජ චෝදනා නිර්මාණය කරමින් සේනාධිනායකයා හෝ කිසිදු ආරක්‍ෂක ප්‍රධානියකු ජාත්‍යන්තර අධිකරණවලට රැගෙන යාමට ඉඩ නොතබන බවට ජාත්‍යන්තරයට සඵත නොව කියාපෑම සඳහා මහඟු අවස්ථාවක් සළසමිනි.

මේ මැතිවරණය හුදෙක් මීළඟ දකුණු පළාත් සභාව තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීමක් පමණක්ම නොවන්නේ එබැවිනි. මේ යථාර්ථය දකුණේ ජනතාව ඉතාමත් බුද්ධිමත් ලෙස ග්‍රහණය කරගන්නා බවට පෙර දැක්වූ මැතිවරණ ප්‍රතිඵල පමණක් වුව ප්‍රමාණවත් වනු ඇත.

එහෙයින්, මෙවර දකුණු පළාත් සභා මැතිවරණයේදී ඌවටත් වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරන බව සහේතුකව සඳහන් කළ හැකිය.

ඒ අර්ථයෙන් දකුණේ බිහිවන මීලග පළාත් සභාව 2/3 බලයක් සහිත පළාත් සභාවක් වනවා ඇත. එය දකුණු පළාතේ ජනජීවිතය ශීඝ්‍ර වෙනසකට ලක්කිරීම සඳහා දැනටමත් ඇරැඹී ඇති ගමනට යෝධ ශක්තියක් සපයනු නොඅනුමානය.


තිබූ ප්‍රශ්න ඉවරයි සන්ධානයේ ජය ස්ථීරයි

නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ල එ.ජ.නි.ස.අපේක්ෂක

දකුණ හදන්න කැපවීමෙන් වැඩ කරන මහින්ද චින්තනය දිනවන්න ක්‍රියා කරන කණ්ඩායමකට දකුණේ බලය ලැබෙන්න ඕන. ලබන 10 වෙනිදට දකුණු පළාතේ ජනතාව ගරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවෙළ දකුණු පළාත තුළ ක්‍රියාත්මක කරන්න අතිවිශාල ජන බලයකින් ආශිර්වාද කරනවා.

ලබන ඔක්තෝම්බර් 11 වෙනිදා දකුණු පළාත් සභාවේ බලය ලබා ගත්තයින් පස්සේ දකුණේ ප්‍රගතිශීලී ජනතාව ලබාදෙන තීන්දුවට ගරු කරලා ජනතාව වෙනුවෙන් දවසේ පැය විසි හතරෙන් පැය විස්සක් වැඩ කරන්න ඕන.

ජනාධිපතිතුමා රටේ යුධ ගිනි නිව්වා. දැන් එතුමා දුක් ගිනි නිවන්න උත්සාහ කරනවා. ඒකට උපරිම වශයෙන් කැපවීම සන්ධානයේ හැමෝගෙම යුතුකමක්. එළඹෙන පළාත් සභාවෙදී අපිට විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා.

ලබන ඔක්තෝම්බර් 10 වෙනිදායින් පස්සේ අපි ඊළඟ ජනාධිපතිවරණයට අඩිතාලම දාන්න ඕන. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතිය සුවපත් කළේ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ කොටි නඩය විනාශ කිරීමෙන්. අපි මේ අවස්ථාව එතුමන් වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න යොදා ගන්න ඕන. අපේ තිබූ ප්‍රශ්න ඉවරයි. සන්ධානයේ ජය ස්ථීරයි.

දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලවලින් පස්සේ අපි ජනාධිපතිතුමාව දෙවෙනි වරටත් ජනාධිපති පුටුවේ වාඩි කිරීමේ ඓතිහාසික කාර්යයට මුල පුරන්න ඕන.


මට ලැබුණ අවස්ථාවෙන් උපරිම ලෙස සේවය කරනවා

සුසන්තා චන්ද්‍රමාලි එ.ජ.නි.ස දකුණු පළාත් සභා අපේක්ෂිකා

මම ගමේ ඉපදිලා ගමේ හැඳුනු වැඩුණු කෙනෙක්. ගම්වල ජීවත්වන ජනතාවට විඳින්නට සිදුවන දුක්ගැහැට හොඳින් මම දන්නවා. ඒ නිසා මේ ජනතාව වෙනුවෙන් යමක් කළ යුතුය යන හැඟීම මට තිබුණත් ඒ සඳහා අවකාශය ලැබුණෙ නෑ. හේතුව මම රංගනයට සම්බන්ධ වීමත් එක්ක ගමෙන් ටිකක් ඈත්වීම නිසයි. ඒත් මම ගම අමතක කළේ නෑ. අවශ්‍ය හැම විටම ගමට ගියා.

ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් සමඟ මට මේ ලැබුණ අවස්ථාව මා බලාපොරොත්තු වූ දෙය ඉටුකර ගැනීමට හොඳම අවස්ථාවක්.

එනිසා මට මේ ලැබුණු අවස්ථාව උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන ගමේ ජනතාව වෙනුවෙන් යමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ජනතාව මට අවස්ථාව ලබා දෙන බව විශ්වාසයි.


දිනුවත් පැරැදුනත් මම ගාලු ජනතාව සමඟයි

අනර්කලී ආකර්ෂා එ.ජ.නි.ස දකුණු පළාත් සභා අපේක්ෂිකා

මේ මට ලැබුණු හොඳ අවස්ථාවක්. විශේෂයෙන් ගාලු ප්‍රදේශයේ ඉන්න තරුණ තරුණියන් වෙනුවෙන් යමක් ඉටු කිරීමට ලැබුණු අවස්ථාවක්. මේ දක්ෂ බුද්ධිමත් තරුණ තරුණියන්ගෙන් විශාල දායකත්වයක් රටේ සංවර්ධනයට ලබා ගන්න පුළුවන්. එනිසා මේ අය සමඟ එකතුව ප්‍රදේශයේ වගේම රටේ සංවර්ධනයට මම ප්‍රමුඛත්වය ලබා දෙනවා.

මම පුංචි කාලෙ ඉදලාම ජනතා මෙහෙවරට කැමති කෙනෙක්. ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යමක් කිරීමේ තදබල වුවමනාව මට තිබුණා.

සියලු ජනතාව වෙනුවෙන් ගාලු ප්‍රදේශයේ ජනතාව සමඟ එකතු වී මේ කාර්යය ඉටු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

දිනුවත් පැරදුනත් මම ඉදිරියට හැමදාමත් සිතින් වගේම ගතිනුත් ගාලු ජනතාව සමඟයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා