හම්බන්තොට දිස්ත්‍රික්කය

හම්බන්තොට දිස්ත්‍රික්කය

ගාල්ල සහ මාතරට සහමුලින්ම වෙනස් දේශපාලන සාමාජීය හා ආර්ථික වටපිටාවක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබෙනවා යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

මාතරට හා ගාල්ලට වෙනස්ව යමින් වියලි කාලගුණයකට උරුමකම් කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන යැපුම් මාර්ග බවට පත්ව ඇත්තේ වී ගොවිතැන, හේන් ගොවිතැන, ගව පාලනය හා ධීවර කර්මාන්තයයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේද සංචාරක කර්මාන්තය සිදුකෙරේ. වී ගොවිතැන අහස් ජලයට වඩා ප්‍රාදේශීය වැව් ජලය පිළිබඳ විශ්වාස තබා සිදු කරන අතර, හේන් ගොවිතැන වනගත බිම් ආශි‍්‍රතව සිදුකරයි. තංගල්ල, හම්බන්තොට වැනි මුහුදුබඩ ප්‍රදේශවල ධීවර කර්මාන්තය සිදු කරයි.

ඊට අමතරව හම්බන්තොට ප්‍රදේශයේ ලුණු ලේවාය පිහිටා තිබෙන අතර, යාල වන රක්‍ෂිතය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අනන්‍යතාවයට ආභරණයක් වී තිබේ.

1930 දශකයේ සිටම රාජපක්‍ෂවරුන්ගේ දේශපාලනය වැලඳගත් හම්බන්තොට ජනතාවගේ නායකයා වූ ඩී. ඒ. රාජපක්‍ෂ මහතා බණ්ඩාරනායක මහතා සමඟ එක්ව ශ්‍රීලනිපය බිහිකර සමාජ පරිවර්තනයකට මුලපිරීය.

සිතුල්පවුව, තිස්සමහාරාම වෙහෙර ඇතුලු හම්බන්තොට වෙහෙර විහාර බෞද්ධ ජනතාවගේ නොමද ගෞරවයට පාත්‍රවී තිබේ.

බහුතර සිංහල බෞද්ධ ජනතාවක් වාසය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වාසය කරනු ලබයි.


ජේ.වී.පී එකවගේ අපි දකුණේ ජනතාවට කෘතීම එන්නත් දීලා නෑ

* මෙවර පළාත් සභා මැතිවරණය සඳහා එජනිස හැටියට සූදානම කෙබඳුද?

අප ඉතාම දක්ෂ කණ්ඩායමක් මෙවර දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා. ගොවි ධීවර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීන් ආදියද අපේ කණ්ඩායමට නියෝජනය කරනවා.

රට බේරාගත් රණවිරුවෙක් ද අප කණ්ඩයම නියෝජනය කරනවා කාන්තා නියෝජනයක් ද අප කණ්ඩායමට තිබෙනවා කාටවත් ඇගිල්ල දිගු කරන්න බැරි දක්ෂ කණ්ඩායමක් අප සතුයි එම නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ආසන ජය ගැනීමේ අදිටනින් අපි පසුවෙන්නේ.

අද එජාපය හා ජවිපෙ එක කොඩියක්වත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පෙනෙන්න නැහැ. එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන් අද ජනාධිපතිතුමා වටා රොක්ව සිටින්නේ. එම නිසා අපට අමුතුවෙන් හම්බන්තොට ජය ගැනීමට සූදානමක් නැහැ.

අප දන්නවා බහුතරය අප සමග සිටිනවා කියලා. පසුගිය පළාත් සභාව විශාල ජනතා සේවයක් කර තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කය ගත්විට යෝධ සංවර්ධනයකට නතු වෙලා තිබෙනවා. ඒ සංවර්ධයේ ප්‍රතිඵල අද ජනතාව භුක්ති විදිනවා. එම නිසා ජනතාවට සේවයක් කළ පක්ෂයක් හැටියට අප අද සතුටින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා.

* මෙවර පළාත් සභාව එ.ජ.නි. ස ජයගත යුත්තේ ඇයි ?

ඌව පළාත් සභා මැතිවරණයේ දී ජනතාව එජනිස ඡන්දය ලබාදුන්නේ දශක තුනක් පැවැති බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීම නිසයි. අද ඊට වඩා තීරණාත්මක තැනකට රට පත්ව තිබෙනවා. විජාතික බලවේග ජාත්‍යන්තරයේ දී ශ්‍රී ලංකාව තමන්ගේ අවනත පාර්ශවයට ලබාගැනීමට කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතිනවා.

ඒ විජාතික කුමන්ත්‍රණය පරාජය කරන්න රජයට සහය ලබාදෙන්න කියලා අපි ඉල්ලන්නේ රටම යෝධ සංවර්ධනයකට නතුවෙලා තිබෙන වෙලාවේ. ඒ සියලුම වැඩපිළිවෙළ අඩාල නොවී ඉදිරියට ගෙන යාමට මේ පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල බලපානවා. ඒක නිසා අපි ජනතාවගෙන් මෙවර පළාත් සභාවේ වැඩි බලය ඉල්ලා සිටින්නේ එම ප්‍රතිඵලය ජාත්‍යන්තර කුමන්ත්‍රණවලට දෙන ප්‍රබල කනේ පහරක් වෙනවා.

* එ.ජා.ප හා ජ.වි.පෙ මර්දනය කිරීමට රජය විවිධ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන බවට ඔවුන් චෝදනා කරනවා. ඒ පිළිබඳව ඔබේ මතය කුමක්ද ?

ඔය කතාව මහ විහිලුවක්. ඒ අයට සටන් පාඨ නැති වුණහම ඔය කථා කියන්නේ. ඔවුන් දැන් පරාජය පෙනි පෙනී සිටින්නේ. අප කිසිම විට ඒ අය මර්ධනය කරල නැහැ. ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ.

අද හම්බන්තොට දිස්ත්‍රික්කය පුරාම නිල් පාටින් බැබලෙනවා. ඒකෙන් පේන්නේ ජනතාව කෙතරම් උනන්දුවෙන් ඉන්නවාද කියන එකයි. අද ජනතාව සිය කැමැත්තෙන් ගම්මාන වතු රැස්වීම් සංවිධානය කරන්නේ.

මේවා ඉවසගෙන ඉන්න බැරි අය ඔය කතා කියනවා. ජනතා විමුක්ති පෙරමුණට මෙවර දකුණු පළාත් සභා මැතිවරණයේ දී ජනතාව නිසි පිළිතුරක් ලබා දේවි.

අද අපට දකින්න පුලුවන් එක දෙයක් තියනවා. ගම්වල සිටින ජවිපෙ හා එජාප ශාඛා සමිති විසුරුවා හැරලා අද වන විට ඒ අය සන්ධානයට එකතු වෙලා සිටිනවා.

සන්ධානය වටා මෙතරම් පිරිසක් එක් වෙන්න හේතුව කුමක්ද ?

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බිහි වූ ඒ අසහාය ශ්‍්‍රෂ්ඨ නායකයාට මේ රට එක් සේසත් කළ නායකයාට උපරිම සහය පළ කිරීමක් විදිහට අපට එය දකින්න පුලුවන්.

නායකයාට කෘතගුණ සැලකීමට ජනතාව මෙවර මැතිවරණය යොදා ගන්නවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රට ගොඩනැඟීමේ යෝධ වැඩපිළිවෙළට රටේ ජනතාවගේ ආශිර්වාදය අප සමඟ තිබෙනවා. ජනතාව අපි වටා පෙළගැසෙන්නෙ අපි කෘත්‍රිම එන්නත් දීලා නෙමෙයි.

ජනතාවට එන්නත් දුන්නේ ජවිපෙ විසින්මයි. ජාතික හඳුනුම්පත් එකතු කරලා පාලම් බෝක්කුවලට ගිහිං දැම්මා. ලයිට් කණු කැඩුවා රණවිරුවන්ගේ නිවාස විනාශ කළා.

ජනතාවගේ බත් පත උදුරගෙන ගියා විලි ලැජ්ජාවක් නැතිව පළාත් සභාව එපා කියූ අය මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකයා වශයෙන් ජනතාවට ලබාදෙන පණිවුඩය කුමක්ද ?

අපේ දිස්ත්‍රික්කයේ දැනට සිදු කරගෙන යන යෝධ සංවර්ධන ක්‍රියාදාමය හමුවේ, දකුණු පළාත ජයග්‍රහණය සමග ගම්වල බිම්මට්ටමින් ඉතිරි වී ඇති අඩු පාඩු කඩිනමින් නිම කිරීමට බලාපොරොත්තු වෙනවා.

අතීතයේ හම්බන්තොටට කුඩම්මාගේ සැලකිල්ලක් තිබුණේ. දැන් අපට නායකයෙක් සිටිනවා මීට පෙර අමාත්‍යධූර මාතරට, ගාල්ලට, හිමිවුණා

එය නියම වශයෙන් හම්බන්තොටට හිමි වේවි. එම නිසා තමන්ගේ ඡන්ද රටට වැඩක් තිබෙන එ.ජ.නි. ස ට ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා.


හම්බන්තොට එජාපයේ අපි ජනාධිපතිතුමාට විරුද්ධ නෑ

රට ත්‍රස්තවාදයෙන් බේරාගත් ජනාධිපතිතුමාට හැමෝම ප්‍රසංශා කරන බව හම්බන්තොට එජාප නායකයා කියයි

* ඔබගේ දේශපාලන ගමන් මග පිළිබඳ කුමක් කිව හැකි ද ?

මම මුලින්ම එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලන ගමන් මග ආරම්භ කළා. නමුත් 1971 වර්ෂයේ දී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී ක්‍රියා කළා. පස්සේ 1977 මැතිවරණයේ දී යළිත් වතාවක් එක්සත් ජාතික පක්ෂය සමග වැඩ කළා. එසේ වැඩ කරගෙන යන විට මාස පහ හතරක කාලයක් සිරගත වන්නටද සිදුවුණා.

පස්සේ විජය කුමාරතුංග මහතා සමග ශ්‍රී ලංකා මහජන පක්ෂයට එකතු වී 1991 දක්වා සම්බන්ධ වුණා. ඉන් පසුව මම ඔසී අබේගුණසේකර මහතා සමග එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තා. පසුව මම ප්‍රාදේශීය සභා පළාත් සභා මැතිවරණ සඳහා ඉදිරිපත් වී ඉන් ජයග්‍රහණ ලැබුවා.

1993 පළාත් සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කළා. මම එදා මනාප 12576 ක් ලබා ගත්තා. පළාත් සභාව තුළ දකුණේ වෙනම වීමට මූලික හේතුව 1994 සැළසුම්කරණයයි. එයින් පසුව පළාත් සභාව විසුරුවා හරින්න වුණා. එයින් පසුව පැවැති පළාත් සභා මැතිවරණයෙන් මනාප 4626 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළා. ඊට පසුව පැවැති පළාත් සභා මැතිවරණයෙන්ද ජයග්‍රහණය කිරීමට මට හැකියාව ලැබුණා.

මෙවර පළාත් සභා මැතිවරණය සඳහා දකුණු පළාත් සභාව මම එක් වන්නේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායකයා හැටියටයි.

* මේ දක්වා ඔබ විසින් කළ සමාජ හා සංවර්ධන කටයුතු මොනවාද ?

මන්ත්‍රී කෙනෙක් විදියට නොසිටි වෙලාවක මම සමාජ වැඩ ආරම්භ කළා. අඟුණකොලපෑලැස්සේ පාසල් 37 ක් තෝරාගෙන දරු දැරියන් සඳහා කිරි වීදුරුවක් බැගින් ලබා දීමට හැකි වුණා. එය සිදු කළේ කමිටුවක් ඛ්රහායි. එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ මමයි.

එදා වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු විශාල වශයෙන් කරගෙන ගියා.

ඇත්තටම එහිදී මම ඡන්දය සඳහා ඉදිරිපත් වුණත් මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩ වලට හැකි උපරිමයෙන් සහයෝගය ලබා දුන්නා. මගේ දේශපාලන දිවිය වසර 40 කට ආසන්න වෙනවා. මේ දක්වා කිසිදු භේදයකින් තොරව ප්‍රදේශයේ ජනතාව සමග එක් වී සමාජ කටයුතු හා සංවර්ධන කටයුතු වල නියැළී සිටිනවා.

විවිධ ස්වේච්ඡා සංවිධාන සමග එක්ව එක් එක් ප්‍රදේශයන්ට අවශ්‍ය සේවාවන් සපයා දීම සඳහා කටයුතු කරගෙන යනවා.

* මෙවර දකුණු පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වන ඔබ ඇතුළු කණ්ඩයමේ ප්‍රචාරක කටයුතු සිදු කරන්නේ කෙසේ ද?

අපේ පළාතේ ගොවීන් මුහුණ දෙන ගැටළු පිළිබඳව අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ළඟට ගොස් පෙන්වා දෙන්නට කිසිවෙකු නෑ. මේවා ක්‍රියාත්මක කළ යුතුයි. අපි ගෙවල් මට්ටමින් ප්‍රචාරක කටයුතු කරගෙන යනවා. අපි කිසිම ගැටළුවක් ඇති කර ගන්නේ නෑ.

මිද්දෙනිය නගරයේ දී මගේ ප්‍රචාරක දැන්වීමක් ගලවා තිබියදී පොදු ජන එක්සත් පෙරමුණේ තරුණ පිරිසක් එය යළිත් තිබූ තත්ත්වයට පත්කර තිබෙනවා. මම පොදුජන එක්සත් පෙරමුණු පාක්ෂිකයන් සමග කිසිදු ගැටුමක් නෑ. මිත්‍රශීලීව සහයෝගයෙන් කටයුතු කරනවා.

අපේ කණ්ඩායම සාර්ථක ලෙස ප්‍රචාරක කටයුතු කරගෙන යනවා.

* මෙවර ජයග්‍රහණය පිළිබඳව කුමක් කිව හැකිද ?

අපි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු ලෙසකින් හෝ විරුද්ධ නෑ. මෙවර ඡන්දයෙන් ගොඩ දෙනෙක් වළකිනවා. එදා ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේ හම්බන්තොට ප්‍රබල ආණ්ඩුවක් තිබුණා. එදා කලගෙඩිය හා ලාම්පුව යටතේ මැතිවරණයක් ඕනෑ ද නැද්ද යන්න විමසුවා. ජනතාව කියා සිටියේ මැතිවරණයක් අවශ්‍ය බවයි.

මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නෑ. යුද්ධයෙන් රට නිදහස් කර ගැනීම පිළිබඳව රටේ සියලු දෙනා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රශංසා කරනවා. විශාල පිරිසක් කියනවා මේ ඇමැති මණ්ඩලය අඩු කළ යුතුයි කියා.

* ඉදිරි සැළසුම් කෙසේ සකස් කරීමට බලාපොරොත්තු වෙනවාද ?

අදටත් හම්බන්තොට දුෂ්කර ගම්මාන වල පැල්පත් තිබෙනවා මම ඒ ජනතාව සමග හැමදාව ඉන්නවා. එදා වේල ආහාරයට ගන්න නොමැති පවුල් රැසක් ඉන්නවා. එවැනි අය වෙනුවෙන් යමක් කරනවා නම් එය රටටත් විශාල සේවාවක් වෙනවා. මෙය තේරුම් ගෙන කටයුතු කළ යුතුයි. වසර 16 ක් තුළ අපේ රටේ ජනපතිවරු කීප දෙනෙක් නියෝජනය කළා. එක්සත් ජාතික පක්ෂය වශයෙන් අපි ජනතාවට ම උදව් කළා.

ඇඟලුම් කර්මාන්ත ශාලා ඇති කළළා. අද ඇතැම් අවස්ථා වලදී සමෘද්ධිය දිය යුතු තැන් වලට නොවෙයි ලබා දෙන්නේ. ජීවත් විය නොහැකි කෙනෙකුටයි එය හිමි විය යුත්තේ. පාරවල් ටික මේ රජය විසින් සාදා තිබෙනවා.

ඒත් ඇතැම් පාරවල් වල යන්න එන්න බෑ. මේවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දන්නේ නෑ.

කොන්ත්‍රාත්කරුවන් උත්සාහ කරන්නේ මුදල් ගසා කෑමටයි. රන් එළි වැට විදුලි යෝජනා ක්‍රමය අද ක්‍රියාත්මක වෙනවා. ඒ සියල්ලට හම්බන්තොට ජනතාව ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙනවා.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද පෝලිමේ සිටියේ නෑ. සියලු දෙනා ඡන්දය ලබා දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ විශාල බලාපොරොත්තුවකින්. නමුත් අදට නොව හෙටටත් ඒ බලාපොරොත්තු ඉටු කළ යුතු වෙනවා. ඇතැම් විට එවැනි බලාපොරොත්තු ගිලිහී යන තත්ත්වයක් දක්නට ලැබුණත් ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වරදින් නොවේ.


ආණ්ඩුවට අවශ්‍යව තිබෙන්නේ ඉලක්කම් ජයග්‍රහණයක්

* මෙතෙක් පැවැති පළාත් සභාවලින් ජනතා විමුක්ති පෙරමුණ ලබාගෙන සිටි ආසන සංඛ්‍යාව අඩුවුණා. මෙවර දකුණු පළාත් සභා මැතිවරණයේදී ජ. වි. පෙ. ආසන සංඛ්‍යාව පිළිබඳ ඔබ දරන මතය කුමක්ද?

ආණ්ඩුවට අවශ්‍යවී තිබෙන්නේ ආසන හා ඉලක්කම් ජයග්‍රහණයක් ජාත්‍යන්තර ලෝකයට පෙන්වීමටයි. අපි ජ. වි. පෙ. හැටියට එහෙම අරමුණක් කරා ගිහින් නැහැ. අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියට මෙවර දකුණු පළාත් සභාවේ ආසන ප්‍රමාණයක් දිනාගන්නවා. අපි 2004 වසරේදී ආණ්ඩුව සමඟ එකට එකතුවී දකුණු පළාත් සභාවට තරග කළා.

එහිදී සන්ධානය ජයග්‍රහණය කළා. නමුත් අපි එහිදී ඇමැතිකම් ගත්තෙ නැහැ. පොදු ජනතාව වෙනුවෙන් වැඩකළා. නමුත් පළාත් ආණ්ඩුවෙ ඇමැතිවරු සහ සන්ධානයේ සිටින අනෙක් මත්තී‍්‍රවරු ජනතාවගේ මුදල් පිල්ලි ගැහීමට පටන් ගත්තා. එවිට ජනතා විමුක්ති පෙරමුණ ලිඛිතව ජනාධිපතිතුමාට ලිව්වා ජනතා සේවකයින් කරන වැඩ පිළිබඳ සොයා බැලීමට මෙහෙයුම් කමිටුවක් පත් කරන්න කියලා.

මෙහිදී ජනතා සේවයක් කිරීමට ගන්නා තීරණයක් ගැනීමේදී හා අපෙන් සාමාජිකයන් තුන්දෙනෙක් සිටින කමිටුවක් පත්කළ නමුත් එය අකර්මන්‍ය එකක් වුණා. අපේ අදහස් පිළිනොගන්නා අපේ අදහස් ක්‍රියා නොකරන තැනක ඉදල වැඩක් නැති නිසා අපි විපක්‍ෂයේ භූමිකාව කිරීමට විපක්‍ෂයෙන් ඉඳගත්තා.

ඒක නිසා මේ මැතිවරණය ආසනවලින් හෝ ඉලක්කම් වලින් ආණ්ඩුව ජයගන්නවා කියන එක විහිළුවක් පමණයි. මේක ජනාධිපතිතුමාගේ ගම වගේම අපෙත් ගමයි. අපට මෙහි මැතිවරණයේ ජයග්‍රහණයක් තියෙනවා.

* ඌව පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ විශාල ලෙස පසුබෑමකට ලක්වුණා. දකුණු පළාත් සභා මැතිවරණයේදී එවැනි පසුබෑමක් ලබයිද?

ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ යුද්ධය නිමවී තිබූ පළමු මැතිවරණය ලෙසයි. එම නිසා එහි වාසි සියල්ල තිබුණෙ ආණ්ඩුව සතුවයි. නමුත් දකුණු පළාත් සභා මැතිවරණය ඊට හාත්පසින්ම වෙනස්.

ඌවේ ජනතාවට වඩා දකුණේ ජනතාව ඉදිරියෙන් සිටින්නේ කවදත් රට තීරණාත්මක මොහොතක දකුණෙ ජනතාව නිවැරැදි තීන්දුව ලබාදීලා තිබෙනවා. ඒ පිළිබඳ අපට විවාදයක් නෑ.

රජය පසුගිය සෑම පළාත් සභාවක්ම ජයග්‍රහණය කිරීම සදහා රාජ්‍ය බලය පාවිච්චි කළා. ජනතා විමුක්ති පෙරමුණ ජයගත් සෑම ආසනයක්ම ජය ගත්තෙ එම රාජ්‍ය බලය භාවිතා වෙද්දී එයත් අපි ලබපු විශිෂ්ට ජයග්‍රහණයක්.

මෙවර දකුණු පළාත් සභාවට ආණ්ඩුවට සටන් පාඨ නැහැ. දැන් ආණ්ඩුව කියන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණවලින් රට බේරාගන්න සන්ධානයට ඡන්දය දෙන්න කියලා. ජවිපෙ හැටියට අපි ජනතාවට තේරුම් කරලා තියෙන්නේ, කවුද කුමන්ත්‍රණ කරන්නේ කවුද ජනතාව වෙනුවෙන් කථා කරන්නෙ කියලා.

* 2004 මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයට තරගකළේ සන්ධානය සමඟ එකට එකතුවී මෙවර පළාත් සභාවට ජවිපෙ තරග කරන්නේ තනිවමයි. මෙවර දකුණු පළාත් සභාවට හොඳ තරගයක් ලබාදීමට ජවිපෙට හැකි වෙයි කියා ඔබ හිතනවාද?

අනිවාර්යයෙන්ම ඔව්. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ලේ දහදිය හෙළා ගොඩනැඟූ පක්ෂයක්. එම නිසා අපට කවුරු නැතිවුනත් සටන් කරන්න හැකියාව තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ 1971 දී බිහිවුණ දා සිට විනාශ කරන්න විවිධ බලවේග උත්සාහ කළා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්න බැරි පක්ෂයක් කියලා විජාතික බලවේග වලට තේරිලා තිබෙන්නේ. 1989 දී අපේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය කරලා අපේ පක්‍ෂය විනාශ කරන්න හැදුවා.

නමුත් 1994 දී පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි එක් ආසනයක් දිනාගත්තා. ඒ අපේ පක්‍ෂයේ තිබෙන කැපකිරීම් ජනතාව සමඟ සිටින නිසයි. අපට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ නැතුව අපි 2004 වනතුරු පළාත් සභාව නියෝජනය කළා. මෙවර ඊට වඩා හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට අපි කැපවීමෙන් කටයුතු කරනවා.

* අද විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරණය කරනවා ජනතා විමුක්ති පැරණි සාමාජිකයන් පවා සන්ධානය වටා රොක්වෙනවා කියලා. මෙයින් පක්ෂයේ පසුබෑම පෙන්වන්නෙ නැද්ද?

අපේ පක්ෂයේ යම් සුලුතරයක් පක්ෂය හැරගොස් සන්ධානයට එකතු වුණ එක ඇත්ත. නමුත් ජනමාධ්‍ය හරහා කියන ගණන් සත්‍ය ඒවා නොවෙයි. මැතිවරණය වෙනුවෙන් මාධ්‍ය හරහා මේවා ප්‍රචාරය කිරීමට රජය පියවර අරගෙන තිබෙන්නේ. අපෙන් ගිය සියලුම දෙනා තම පුද්ගලික න්‍යායපත්‍රයට අදාල වාසි ලබාගැනීමට සන්ධානයට ගිහිං තිබෙන්නේ. නමුත් රජය ප්‍රකාශ කරන චරිත අපි ළඟ ඉඳලාවත් නැති චරිතයි.

* මෙවර පළාත් සභාව ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කළොත් ජනතාවට ලබාදෙන සහන මොනවාද?

අපේ ප්‍රතිපත්තියක් ලෙස නම් පළාත් සභා ක්‍රමය අහෝසිකළ යුතුයි. නමුත් මේ මැතිවරණ ක්‍රමය තුළ ජ. වි.පෙ. ජයගතහොත් පසුගිය වසර 16 ක් පුරා කළ නොහැකි දේ රැසක් පසුගිය වසර 5 තුළ අපි සමඟ එකතුවීම තුළින් ජනතාවට සේවය කළා. ඊට පසුව ජනතාවගේ සේවය සඳහා ජනතා ෂමුක්ති පෙරමුණ පෙනී සිටිමින් උපරිම සේවය කරනවා.

අප සමඟ සිටින අයට දැක්මක් තියෙනවා. ශක්තිමත් කළමනාකරණ හැකියාවන්වලින් හෙබි පිරිසක් අපට ඉන්නවා. මේ අයගෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන ජනතාවට සේවය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙවර එ. ජ. නි. ස. ප්‍රතිපත්ති මාලාවක්වත් නැහැ. ඔවුන්ට පළාත් සභාවටත් තිබෙන්නේ ‘මහින්ද චින්තනය’ පසුගිය වසර පහ තුළ ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කළ කිසිදෙයක් සිදු කළේ නැහැ. ජ. වි.පෙ. යෝජනා කළ දොරින් දොරට කිරි බිඳක්’ සංකල්පය නමුත් එය ක්‍රියාත්මක කළේ නැහැ.

ජනාධිපතිතුමාට ඒ බව දැන්වූ වහාම අධීක්‍ෂණය සඳහා කෙනෙක් පත්කළා. දුරකථන අංක ලබාදුන්නා නමුත් මේ වනතුරු එතුමා අප සමඟ හමුවී කථා කරලා නැහැ. ඉන්නවද නැද්ද අපි දන්නෙ නැහැ.$

රටේ යුද්ධයක් පවතින වෙලාවේදී පසුගිය පළාත් සභාවේ මැති ඇමැතිවරු විදේශ සංචාරවල නිරතවුණා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ පමණයි එසේ නොගොස් ජනතාවගේ මුදල් ඉතිරි කළේ. මේවා හෙළිකරනවිට ජ. වි. පෙ. වේදිකාවල් ජනතාව රවට්ටන්න හදනවා කියලා රජය අපට චෝදනා කරනවා.

අපට බලය ලැබුණොත් සියලුම මන්ත්‍රී සහ ඇමැතිවරුන්ගේ වියදම් අවම කරමින් නිසි කළමනාකරණයක් කර ජනතාවගේ මුදල් වලට සාධාරණය ඉටුකිරීමට අප බලාපොරොත්තු වෙනවා.