මාතර  දිස්ත්‍රික්කය

මාතර දිස්ත්‍රික්කය

මාතර නගරය මූලික කරගත් මාතර දිස්ත්‍රික්කයේද ඇත්තේ ගාල්ලට සමගාමී සමාජ ආර්ථික හා දේශපාලන වටපිටාවකි. මාතර දිස්ත්‍රික්කය තුළද ප්‍රධාන වශයෙන් පැතිර ඇත්තේ ධීවර කර්මාන්තය, තේ කර්මාන්තය හා වී ගොවිතැන මූලික කරගත් යැපුම් මාර්ගය.

මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශය මූලික කරගත් ප්‍රදේශවල තේ කර්මාන්තය ඉතාමත් විශාල ලෙස ව්‍යාප්තව තිබෙන අතර මාතර, වැලිගම, දෙවිනුවර ඇතුලු මුහුදුබඩ තීරුවේ ජනතාව ධීවර කර්මාන්තය තමාගේ යැපීම් කර්මාන්තය ලෙස යොදාගනී. වී වගාවද දිස්ත්‍රික්කයේ තැනිතලා ප්‍රදේශවල සිදුකරයි.

මාතර දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තය සිදුකරන ප්‍රදේශවල දෙමළ ප්‍රජාවගේ ගණත්වය ඉහළ අගයක් ගන්න අතර මාතර නගරය, වැලිගම ප්‍රදේශ ආශි‍්‍රතව මුස්ලිම් ජනතාවද වාසය කරයි. මාතර බහුතර ජන කොටස ගාල්ලේදී මෙන්ම සිංහල බෞද්ධ ප්‍රජාවය.

පැරැණි දේශපාලන සිතියමට අනුව මාතර දිස්ත්‍රික්කය කොමියුනිස්ට් පක්‍ෂයට වාසිදායක ප්‍රදේශයක්ව තිබූ අතර මාතර නාමය දේශපාලන තලයට මුලින්ම ගෙනගිය පුද්ගලයා ලෙස ජනතාව හඳුන්වන්නේ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතාය. සාහිත්‍ය ලෝකයේ අමරණීය සටහන් තැබූ මාර්ටින් වික්‍රමසිංහයන්ද මාතර පුත්‍රයකි.


අපි දකුණ සංවර්ධනය කරපු හැටි දකුණට ඇවිත් බලන්න

හේමාල් ගුණසේකර

මාතර දිස්ත්‍රික්ක එ. ජ. නි. ස.

කණ්ඩායම් නායක

හිටපු දකුණු පළාත් සභා අමාත්‍ය

වසර තිහක් පැවැති යුද්ධය අවසන් කිරීමට දකුණෙන් බිහිවූ ජනනායකයෙක් වන මහින්ද රාජපක්ෂ මැතිතුමාට හැකිවුණා. මේ පළාත් සභා මැතිවරණයේදී කළගුණ දත් දකුණේ ජනතාව එතුමාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ඨ ජන වරමක් ලබා දෙනවා. මේක ගැන අපිට කිසිම සැකයක් නැහැ.

දැන් පේන්න තියෙන විදිහට 80%ක 90ක විතර වාර්තා ගත ජනවරමක් වේවි. එජාපයත්, ජවිපෙත් නාය යන පක්‍ෂ දෙකක්. මේවට ඡන්දෙ දීලා තමන්ගේ ඡන්දේ වටිනාකම අඩුකරගන්න දකුණේ බුද්ධිමත් ජනතාව කැමැති වෙන්නේ නැහැ.

එජාපයේ නායකයා දකුණු පළාතේ දකින්නවත් නැහැ. දැන් ඒගොල්ලෝ මැතිවරණ පරාජයෙන් පස්සේ පාක්‍ෂිකයන්ට කියන්න කතා හරිගස්සනවා. මේ ගොල්ලෝ කියන කතා හින්ද එජාපයට වැටෙන ඡන්ද ටිකත් වැටෙන්නේ නැහැ. ජනතාව හොඳටෝම කළකිරිලා ඉන්නේ.

අපේ ජනාධිපතිතුමා එල්. ටී. ටී. ඊ. ය පරාජය කර විනාශ කිරීම ගැන විපක්‍ෂ නායකතුමා රජය දෝෂ දර්ශනයට ලක් කරමින් ජාත්‍යන්තරයට බලපෑම් කරනවා. දකුණේ වීරෝදාර ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව මේ දේශද්‍රෝහී මතවලට විරෝධය පාන්න ඡන්ද පත්‍රිකාව භාවිතා කරාවි.

පසුගිය පළාත් සභාවෙ ඇමැතිවරයෙක් හැටියට මට වගකීමෙන් කියන්න පුළුවන්. අපි මාතර දිස්ත්‍රික්කයේ පමණක් අනවසර පවුල් 27,000කට ඉඩම් අයිතිය ලබා දුන්නා. ඒ වගේම වාර්මාර්ග ක්ෂේත්‍රයේ විශාල වැඩ කොටසක් කළා. විශාල වාරිමාර්ග යෝජනා ක්‍රම ඇති කරලා තියෙනවා.

අපි දකුණ සංවර්ධනය කළේ නැද්ද කියලා දකුණට ඇවිත් බලන්න. පසුගිය කාලේ විපක්‍ෂයේ අය කිව්වේ දකුණට විතරයි වැඩ කරන්නේ කියලා. දැන් කියන්නේ දකුණට වැඩක් කළේ නැහැ කියලා. අපි යුද්ධයක් කරන ගමන් මුළු රටම සංවර්ධනය කළා. සංවර්ධන යෝජනා ක්‍රම එකක්වත් නැවැත්තුවේ නැහැ. මඟ නැඟුම හරහා මුළු රටේම පාරවල් හැදුවා.

එළඹෙන පළාත් සභාව එක්සත් ජනතා සන්ධානය ජයග්‍රහණය කරන එක අපිට විශ්වාසයි. ඉන් පසුව අපි අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය යන ක්ෂේත්‍රවල ෂශාල දියුණුවක් ඇති කරනවා.


දකුණට නායකත්වය දෙන්න පක්ෂයේ නායකයා මට කීවා

බුද්ධික පතිරණ

මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ නායක

මාධ්‍යවේදියෙක් හැටියට සේවය කළ ඔබ දේශපාලන ක්ෂේත්‍රය තෝරා ගත්තේ කුමක් අරමුණු කරගෙනද?

“මගේ වෘත්තිය වෛද්‍ය වෘත්තියයි. නමුත් මම විනෝදයක් හැටියට මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළා. එතකොට අපිට සිවිල් බලයක් ලැබෙනවා. ඒ තුළ වැඩ කරන විට දේශපාලඥයන් අපිට සීමා පනවනවා. මම කල්පනා කළා එදා දේශපාලඥයෙකු ලෙස කළ හැකි කාර්යභාරය ඉහළයි කියා.

සංවර්ධන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂ 150 ක් ලැබෙනවා. නමුත් මම මේ වනවිටත් ලක්ෂ 1000 ක වැඩ කොටසක් සිදු කර තිබෙනවා. ලක්ෂ 400 ක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකළා. මාතර දිස්ත්‍රික්කයේ දරුවන් වෙනුවෙන් මධ්‍යස්ථාන 8ක පරිගණක හා ඉංගී‍්‍රසි ඉගැන්වීම් කටයුතු කරගෙන යනවා.

ප්‍රදේශයේ තරුණ තරුණියන් 3451 ක් පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමු කළා. මාතර දිස්ත්‍රික්කයේ පාසල් 373 ට එක් පාසලකට අවමය රුපියල් 40000 ක් වන පරිදි රුපියල් ලක්ෂ 183 ක මුදලක් බෙදා දුන්නා. මේ වනවිට පාසල් 304 කට පොත් බෙදා දී තිබෙනවා.

රුපියල් මිලියන 10 ක් වැය කරමින් නිවාස නොමැති අය සඳහා නිවාස ලබා දුන්නා. ධීවර ජනතාව සඳහා රුපියල් ලක්ෂ ගණනක ධීවර ආම්පන්න ලබා දුන්නා.

මෙවර පළාත් සභා මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයේ සූදානම කොහොමද?

“අපි මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කෙළේ විවිධ පසුබෑම් මධ්‍යයේයි. පාක්ෂිකයන් විවිධාකාරයේ මානසික පීඩාවන්ට ලක්වී සිටියා. නමුත් අපිට නව මුහුණුවරකින් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නට හැකි වුණා. ඇතැමුන් අපි දෙස විවිධ කෝණ වලින් බැලුවා. විවිධ අර්ථකථන දුන්නා. අපි අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒ සමඟම පාක්ෂිකයන් තුළ හොඳ පිබිදීමක් ඇතිවුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්තරා සාමාජිකයෙක් අපේ පාක්ෂිකයෙකු වුණා. එය අපේ ජයග්‍රහණයක් වුණා. මැතිවරණ කොට්ඨා මට්ටමින්් අපි වැඩ ආරම්භ කළා. මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 650 ක් ආවරණය වන පරිදි මැතිවරණ ප්‍රචාරක කටයුතු කරගෙන යනවා. අපේ බලාපොරොත්තුව මැතිවරණ ප්‍රචාරක රැලි 500 ක් පැවැත්වීමටයි.

ඇතැම් අය අපෙන් අහනවා කොළ කොඩියක් වත් දක්නට ලැබෙන්නේ නැතැයිකියා. අපි ගමන් කරන්නේ ඉතාම සුවිශේෂීත්වයක් මත අපේ පක්ෂ නායකයා මාව ගෙන්වා මට කීව දෙයක් තමයි දකුණට නායකත්වය දිය යුතුයි කියා. ඒ වගකීම මා හඳුනා ගත්තා.

පොඩි අයගේ හදවත ගැන හොඳින් දන්නා අයුරින්් කටයුතු කරන්නට අපි පියවර ගන්නවා. අපි අපේ කාර්යය සාර්ථක ලෙස කරගෙන යනවා. මට පළමු මැර ප්‍රහාරය එල්ල වුණා. මම ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කළා. ඊට පසුද බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ තවත් කීපදෙනෙකු අපේ නිවසට පැමිණ මගෙන් සමාව ගත්තා. ඩලස් ඇමැතිතුමා පෞද්ගලිකව කතා කළා.

අවස්ථා කීපයකදී එක්සත් ජාතික පක්ෂය මැතිවරණ පරාජයන් ලැබුවා. යම් හෙයකින් නායකත්වයේ වෙනසක් අවශ්‍යයයි කියා විශ්වාස කරනවා ද?

“මැතිවරණ කීපයකින් පරාජයට පත් වුණත් ඊළඟ එකෙත් පරාජය වෙයි කියා කියන්න අමාරුයි. 1977 වර්ෂයේ සිට 1994 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත් වුණා.

1994 දී එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වුණා. එතැන් සිට 2001 දක්වාම ඒ තත්ත්වය උදා වුණා. ඊට පස්සේ යළිත් වතාවක් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ රජයක් පිහිටවූවා.

පැහැදිලිව අපි කියනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ නායකත්්වය තිබෙනවා. බුද්ධික පතිරණ දකුණට නායකත්වය දෙනවා. අද දකුණ දිනවන වැඩපිළිවෙළක් නෑ. අපි අංශ තුනක් යටතේ දකුණේ කටයුතු කරනවා.

ප්‍රචාරක කටයුතු කොතරම් දුරට සාර්ථක ද?

“මැතිවරණ ව්‍යාපාරය තුළ අපි කුහක ලෙස කටයුතු කරන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රචාරක කටයුතු කරගෙන යනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්නවා. නමුත් මෑතකදී දේශපාලන කරළියට පැමිණි අය ගැටලු සහගත තත්ත්වයක් ඇති කරනවා. සන්ධානය නියෝජනය කරමින් පළාත් සභාවේ සිටි අය කිසිම ගැටලුවක් ඇති කළේ නෑ.

මෑතකදී පැමිණි නවකයින් සමඟ දේශපාලනය කරන්න බෑ. ඔවුන්ගේ ව්‍යාපාරය දකුණු පළාත පුරාම කරගෙන යනවා.

පසුගිය මැතිවරණ කාලවලදී දිගින් දිගටම එක්සත් ජාතික පාක්ෂිකයන් සන්ධානයට එක් වූවා. මෙය එක්සත් ජාතික පක්ෂයට බලපාන්නේ කෙසේ ද?

“එක්සත් ජාතික පක්ෂය හා රාජ්‍ය නොවන සංවිධාන එකතු වී කුමන්ත්‍රණ කරනවා යනුවෙන් ඇතැමුන් චෝදනා කරනවා. මේ මොහොතේ ක්‍රියාත්මක වන භයානක කුමන්ත්‍රණ තිබෙනවා.

එයින් අපේක්ෂා කරන්නේ තනි ඒකාධිපති පක්ෂයක් මේ රටේ බලය ලබා ගෙන මේ රටේ ජනතාව ගෙවන බදු මුදල් මංකොල්ල කමින්, අනාගත දරුවන්ද උගස් තියන දේශපාලන ක්‍රමයකටයි.

එහි පියවර කීපයක් අදියරෙන් අදියර ක්‍රියාත්මක වෙනවා. එයින් පළමු වැන්න එක්සත්් ජාතික පාක්ෂික දේශපාලඥයන් ගේ චරිත ඝාතනය කිරීමයි. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීන්ගේ කොටසක් වෙන් කිරීම පළාත් සභා පාලනයේ සිටින විපක්ෂ නායකවරු එක් කිරීම, බිම් මට්ටමේ පාක්ෂිකයන් බලාපොරොත්තු වන කටයුතු කරන විට ඒවා ව්‍යර්ථ කිරීමේ කුමන්ත්‍රණ කිරීම ආදිය සඳහන් කිරීමට පුළුවන්.

සන්ධානයට වැඩ කළ අයද ඉන්නවා රැකියා නොමැතිව. පක්ෂ නායකයාගේ සිට බිම් මට්ටමේ පුද්ගලයා දක්වා විනාශ කිරීමට කටයුතු කරගෙන යනවා.
 


අද එජාපයේ අයත් හෙට සන්ධානය සමඟ එක්වෙනවා ඒකාන්තයි

පොලිස් නිලධාරියෙකු වශයෙන් සේවය කළ ඔබ දේශපාලනයට පිවිසීමට බලපෑ කරුණු මොනවාද?

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය

පොලිස්පති

ඩී. ඩබ්ලිව්. ප්‍රතාපසිංහ

දකුණු පළාත් සභාවේ

මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා

නිදහස් සන්ධාන අපේක්ෂක

‘මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ ශිෂ්‍ය සංගම්වල ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කළා. 1970 මැතිවරණයේ දී එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයට දේශපාලන වශයෙන් පූර්ණ සහයෝගය ලබා දුන්නා. මම 1971 වර්ෂයේ දී පොලිස් දෙපාර්තමේන්තුවට බැදුණා. අහිංසක, දුප්පත්, අසාධාරණයට පත් ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කළා.

සමාන අසමානතාවය, ජාතිභේද, කුලභේද මම ප්‍රතික්ෂේප කරනවා. සියලු ජන කොටස්වලට ආදරය කරනවා. දුප්පත් ජනතාවට නිවාස ලබාදීමට, ආර්ථික ශක්තිය ලබා දෙන්නට, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දෙන්නට අවශ්‍ය මූලික පහසුකම් සැළසීම අගය කරනවා. ඒ නිසා ම තමයි මම පසුගිය 2002 වර්ෂයේ දී දකුණු පළාත මුල්කරගෙන මව්පිය රැකවරණය අහිමි වූවන්ට රැකවරණය සැළසීමේ පදනම පිහිටුවා ගත්තා.

මේ මගින් සමාජයේ විනාශයට ලක්වන අහිංසක දැරියන් දහස් ගණනකට මේ වනවිට රැකවරණය සැළසීමේ ක්‍රියාමාර්ග අනුගමනය කර තිබෙනවා. මම නිලධාරියෙක් හැටියට පොලිස් සේවයේ රාජකාරි අකුරට ඉටු කළා. ආන්දෝලනයකට ලක් ව තිබූ අපරාධ විසඳා අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගන්නට කටයුතු කළා. ඊට අමතරව සමාජ විරෝධී සංවිධානාත්මක අපරාධ මර්දනයට පියවර ගත්තා.

සදාචාරාත්මක, අධ්‍යාත්මික, වර්ධනයක් ඇති දරුවන් පිරිසක් බිහි කරන්නට විශාල වශයෙන් ක්‍රියාමාර්ග ගනු ලැබුවා. මෙම සමාජ මෙහෙවර සිදු කිරීමේ දී මම තේරුම් ගත් දෙයක් තමයි නිලධාරියෙකු හැටියට නොව කිසියම් හෝ තනතුරකින් එය ඉදිරියටත් කළ යුතුයි. පවතින දේශපාලන ක්‍රියාවලිය තුළ අවංකවත්, නිවැරදිවත්, සැළසුම් සහගත ලෙස ආර්ථික ක්‍රියාවලිය තුළ ප්‍රදේශ සංවර්ධනය කරමින් රටේ සංවර්ධනයට දායක වෙනවා.

අද රටේ සංවර්ධනය සිදු කෙරෙන ආකාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කළ ‘මහින්ද චින්තන’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුලත් වෙනව. ඒ අනුව මහින්ද චින්තනය ශක්තිමත් කිරීමට රාජතන්ත්‍රයේ සිට කළ නොහැකි නිසා දේශපාලනයට පිවිසීමට අදහස් කළා.

කලක් ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සේවය කළා. එහි කටයුතු මැනවින් සිදු කිරීමට නායකත්වය දුන්නේ කෙසේද?

‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් මා පත් කළා. ලංකාවේ සියලු ත්‍රස්ත විමර්ෂණ අංශවල ප්‍රධානියා ලෙස ඒ අනුව කටයුතු කිරීමට මට සිදු වුණා. ඒ කාලය තුළ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි කොළඹ හා අවට ප්‍රදේශවල ත්‍රස්තවාදී ක්‍රියාවන් අවම කිරීම සඳහා අනෙකුත්, ආරක්ෂක අංශවල සහාය ඇති ව සිදු කිරීමට හැකි වුණා.

ඒ වගේ ම ත්‍රස්ත විමර්ශන කටයුතු පුළුල් ආකාරයෙන් ක්‍රියාවට නංවමින් ප්‍රධාන ත්‍රස්තවාදී සැකකරුවන් හඳුනාගෙන ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හා ඔවුන් සතු වූ පුපුරන ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.

දකුණු පළාතේ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබඳව කුමක් කිව හැකි ද?

‘මිනිස් සම්පත ආර්ථික වශයෙන් වටිනාම සම්පත හැටියට මා දකිනවා. එය මේ දක්වා නිසි පරිදි භාවිතා කර නැහැ. පෞරාණික ක්‍රමයට අපේ රටේ තේ නිෂ්පාදනය කරනවා හැරුණු විට වෙනත් නිෂ්පාදන ක්‍රියාවලියකට යොමුවී නෑ. තේ ආර්ථිකය මත ලබන ආදායමින් සුළු ප්‍රමාණයක් පමණයි ඒ ප්‍රදේශවලට ආපසු ගලා එන්නේ.

තේ දළු හිමියන් තමන්ගේ තේ කර්මාන්ත වෙත යැවෙනවා. ඒවා කොළඹ වෙන්දේසියට යොමු වී තේ ආශ්‍රිත ව ඇසුරුම් කිරීම සඳහා කර්මාන්ත වෙත ද යවනවා.

මෙයින් බොහෝ විට බාල තේ සමඟ මිශ්‍ර වීම නිසා තේවල අගය අඩු වෙනවා. මම උත්සාහ කරනවා තේ වතු ආශ්‍රිත ප්‍රදේශයේ තේ පැකැට් කිරීමේ කර්මාන්තයක් ආරම්භ කරන්න. ඒ තුළින් උසස් තේ පැකැට් සකස් කිරීමත් රැකියා උත්පාදනය කිරීමටත් හැකිවෙනවා.

මෙවැනි ක්‍රියාමාර්ගයන් මගින් මුදල් ගලා ඒමක් සිදු වෙනවා. දෙණියාය ප්‍රදේශයේ දේශගුණික තත්ත්වය නුවරඑළිය හා බණ්ඩාරවෙල ප්‍රදේශවලට සමාන කරන්න පුළුවන්. නුවරඑළියේ වගා කරන කෘෂි භෝග බොහොමයක් ඒ අනුව දෙනියායේ වගා කරන්න පුළුවන් වෙනවා. සිංහරාජ අඩවිය වැනි ජෛව විවිධත්වයකට උරුමකම් කියන ලෝක උරුමයක් ද මාතර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙනවා.

මාර්ග පද්ධති, විදුලිය ඇතුළු සංවර්ධන ක්‍රම රැසක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

හෝටල් ඇතුළු අනෙකුත් කර්මාන්ත දියුණු කර රමණීය ප්‍රදේශයක් බවට පත් කිරීමට කටයුතු කරනවා. ඒමගින් දේශීය හා විදේශීය සංචාරකයන් වැඩි වැඩියෙන් අද්දවා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සමගම සංචාරක පුරයක් බවට පත් වේවි.

සමස්තයක් හැටියට මෙවර පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවිය යුතුයි කියා ඔබ විශ්වාස කරනවාද?

‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ රට එක්සේසත් කොට සියලු දෙනාටම සාමයෙන් සතුටින් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනැගීම පිළිබඳව පක්ෂ, පාට භේදයකින් තොරව සියලු දෙනා ම ඒ මහතාට ගෞරව කළ යුතු වෙනවා. කෙසේ වුව ද දේශීය හා විදේශීය විවිධ කුමන්ත්‍රණයන් අදටත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

ඇතැම් බටහිර රටවල් අපේ රටේ පැවැති ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම අවසන් කිරීම පිළිබඳව වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. අපි ලොවට ම ලබා දිය යුතු පණිවුඩය වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය වටා පෙළගැසී සිටින බව ප්‍රදර්ශනය කිරීමයි. ඒ වගේ ම රටේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් වන්නේ සියලු ජාතීන් කිසිදු භේදයකින් තොරව එක්සත් වීමයි.

එක්සත් ජාතික පක්ෂය සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් කෙසේ අභියෝග කරාවිද?

අපිට කිසිදු බලපෑමක් කරන්නට තරම් එක්සත් ජාතික පක්ෂයට ශක්තියක් නෑ. රටට ආදරය කරන හා ආදරය නොකරන පක්ෂ දෙකක් පමණයි ඉන්නේ.

අපිට විරුද්ධ යැයි සැළකෙන සියලු පක්ෂ ද ඉදිරියේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වේවි. විරුද්ධ පක්ෂ ගැන සොයා බැලීමට ඒ මහතාට වේලාවක් නෑ. එතුමාගේ මූලික අරමුණ රට සංවර්ධනය කිරීමයි.

මහින්ද චින්තනයෙන් ඉදිරිපත් කරන සෑම වැඩපිළිවෙළක් ම ප්‍රායෝගිකව යථාර්ථයක් බවට පත් කිරීමට ඒ මහතා කටයුතු කරනවා.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා