සන්ධාන ආණ්ඩුවේ ගමන තව දශක කිහිපයක් ඉදිරියට

මෙන්න අලුත්ම අනාවැකිය!

සන්ධාන ආණ්ඩුවේ ගමන තව දශක කිහිපයක් ඉදිරියට

දකුණු පළාත් සභා මැතිවරණය ඡ්‍යොතිෂ ඇසින්

ත්තටම මේ වගේ මැතිවරණයක් ගැන කතා කිරීමේදී ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුන ගැනම අවධානය යොමු කළ යුතුයි. ඒ වගේ ම දකුණු පළාත් සභාව විසුරුවා හැරි දිනයත් නාම යෝජනා භාරදුන් වේලාවත්, ගැන සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් මෙහිදී ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය ගැන විමසා බැලෙනවා.

මෙවර පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ දහවෙනි මාසෙ දහවෙනිදා. ඒ සෙනසුරාදා දවසක්. අංක විද්‍යාවට අනුව බලන විට මේ දවස සුවිශේෂයි. ඒ කියන්නේ පවතින රජයටත් රාජ්‍ය නායකයාටත් සුවිශේෂී දවසක් වෙනවා. ඒ නිසා අති විශිෂ්ටම රජයක් සන්ධානයට හිමි වෙනවා.

තවද ශශ්‍රී ලංකා ඉතිහාසය තුළ දකුණු පළාතෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිමිවුණේ පසුගිය ජනාධිපතිවරණයේදී ඒ කියන්නේ 2005 දී. ඒ ලැබූ ඡන්ද ප්‍රමාණයටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් මෙවර දකුණු පළාත් සභා මැතිවරණයේදී සන්ධානයට හිමි වන බව ඒකාන්තයි. රුහුණු පුරවරයෙන් සන්ධාන රජය මේ ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය ශශ්‍රී ලංකා ඉතිහාසයේ විශේෂ වාර්තාවක් ද වෙනවා. නමුත් මේ තබන වාර්තාවත් තව තුන් හාර මාසයකින් බිෙඳනවා. ඒ ගැන තව ටිකකින් කතා කරමු.

මෙවර දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව ඇති අලුත් මුහුණු පිළිබඳ සඳහනක් කළොත්....

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට ඉදිරිපත් වී ඇති නවක අපේක්ෂකයින් සියලු දෙනාම ජයග්‍රහණය කරනවා. මොවුන් සුවිශේෂී වූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නවා.

විපක්ෂය සහ අනෙක් පක්ෂවලින් ඉදිරිපත් වී ඇති නවකයින් ගැනනම් යමක් සඳහන් කිරීමට අපහසුයි. හේතුව ඔවුන්ගේ ග්‍රහ පිහිටීම පිළිබඳ ගැඹුරුට අධ්‍යයනයක් මා විසින්ම කර නොතිබීමයි.

2009.09.09 වන දින සිදුවූ ග්‍රහ මාරුවේ කිසියම් බලපෑමක් මේ සඳහා තිබේද?

2009.09. 09 රාත්‍රී 12.01 ට තමා මේ ග්‍රහ මාරුව සිදුවුණේ. මේ ග්‍රහ මාරුව සන්ධාන රජයට අතිවිශිෂ්ට ජයක් ලබා ගැනීමට හේතු වෙනවා.

කවුරු කෙසේ කීවත් එක්සත් ජාතික පක්ෂයට නම් මේ ග්‍රහ මාරුව සුබදායක නෑ. එය ජනතාවට ඔප්පු වෙනවා. මෙවර දකුණේ ඡන්දය පවත්වන දිනයත් රනිල් වික්‍රමසිංහ යළිත් වරද්දා ගත්තා. එය අසුබයි.

මෙයත් සඳහන් කළ යුතුයි. රනිල් - ප්‍රභා සාම ගිවිසුම අස්සන් කළේ 2001.12.05 වන දින රනිල් වික්‍රමසිංහ අගමැතිවීමත් සමඟයි. ඒ ගිවිසුම අස්සන්කළ වෙලාව ඉතාම අසුබයි.

රනිල් මේ ගිවිසුම අස්සන් කිරීම තුළින් කළේ බුදුන්ගේ දේශය වන අපේ දේශයේ කොටසක් ප්‍රභාට හිමිකර දීමයි. මේ ගිවිසුම අස්සන් කිරීම සහ අනෙකුත් ග්‍රහ යෙදීම් අනුව (ඒ වෙලාවත් මම දිගින් දිගටම පරීක්‍ෂා කළා.

ඒ වගේම මේ වෙලාවල් පිළිබඳ ව විදේශ රටවල සිටින ප්‍රබල ඡ්‍යොතිෂවේදීන් සමඟත් සාකච්ඡා කළා.) රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය කවදාවත් ගොඩ ගන්න බෑ. ඒ වගේම මේ පක්ෂය ඇතුලෙ පවතින අවුල් සහගත තත්ත්වය විසඳා ගැනීමටත් රනිල්ට හැකියාවක් ඇත්තෙම නෑ.

තවද ජනතා විමුක්ති පෙරමුණට ඉතිහාසයේ හැමදාම බලය තිබුණේ දකුණෙ. දකුණේ මේ තිබූ බලය මුළුමනින්ම ගිලිහී යන අවස්ථාවක් මේ දකුණු පළාත් සභා මැතිවරණයෙන් උදා වෙනවා.

අප රටට එල්ලවන විදේශ කුමන්ත්‍රණ පිළිබඳ පෙන්නුම් කරන්නෙ කවරාකාර තත්ත්වයක්ද?

විසි එක්වන සියවසේ ප්‍රබල ම ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා ඝාතනය කරමින් එම ත්‍රස්තවාදය සහමුලින්ම නිහඬ කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට හැකියාව ලැබුණා නම් මහා පෙර පින් බලයෙන් උපන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට ඔය විවිධ ආකාරයට එන කුමන්ත්‍රණ පරාජය කිරීමට බලය තිබෙනවා. බලය ලැබෙනවා.

දැනට රට තුළ කෙරෙන සංවර්ධන වැඩ කටයුතු වල ඉදිරිය සුබදායකද?

පසුගිය දිනවල විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් කිසියම් පුද්ගලයෙකු කීවා 2040දී තමා හම්බන්තොට වරායේ වැඩ අවසන් වෙන්නෙ කියලා. මම ඉතාමත් පැහැදිලිව ඡ්‍යොතිෂයට අනුව නිවැරැදි ව කියනවා 2010 අවසානය වන විට මේ වරායේ පළමු අදියරේ වැඩ අවසන් කිරීමට ඉඩ ලැබෙන බව.

ඒ වගේම රට පුරා සිදුවන අනෙක් සංවර්ධන වැඩකටයුතු රජය බලාපොරොත්තුවන දින වකවානු වල අවසන් කිරීමේ හැකියාව ලැබෙනවා. මේ සඳහා මහ බලගතු ග්‍රහ යෙදුමක් 2009. 12. 20 වන රිවි දින රාත්‍රී 12. 36 ට යෙදෙනවා. ග්‍රහ ලොව ඉතා සුබදායක ග්‍රහයා වන ශශ්‍රී ලංකා කුම්භ ලග්නයට ධනස්ථානය සහ අයස්ථානය අධිපති ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා මෙහිදී පැමිණෙනවා.

මෙම ශශ්‍රී ලංකා කුම්භ ලග්නයට පැමිණෙන දිග්බලය නම් සුවිශේෂී බලයක් ලක්ෂයක් දෝෂ භංග කරන ග්‍රහ යෙදුමක් මේ සඳහා අයත් වෙනවා. මේ බලගතු ග්‍රහ යෙදුම තුළ රජයේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වන අතර සංවර්ධන වැඩකටයුතු සාර්ථක ව නිම වෙනවා.

තව ද සංචාරක ව්‍යාපාරයේ විශේෂ වර්ධනයක් ද පෙන්නුම් කරන අතර එම වර්ධනය මීට පෙර කිසිදාක නොවූ ආකාරයේ වර්ධනයක්. කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ ද වර්ධනය එසේමයි.

විශේෂයෙන් ශ්‍රී ලංකා කුම්භ ලග්නයේ ධනස්ථානය වන දෙවැන්නත් සියලු ම ලැබීම් වන එකොළොස් වැන්නේ අධිපති ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ශ්‍රී ලංකා කුම්භ ලග්නය පැමිණ දිග්බලය නම් සුවිශේෂී බලයත් ලක්ෂයක් දෝෂ භංග කරන ග්‍රහ බලයක් ගෙන දෙන බැවින් භූමි සම්පත් ඉතා ඉහළ අන්දමින් පෙන්නුම් කරනවා.

රට දැවැන්ත සංවර්ධනයක් කරා....

මොනවාද මේ භූමි සම්පත්

මැණික් සම්පත 2010 අවසානයට පෙර මැණික් සම්පත ලැබීමේ පෙර නිමිත පෙන්නුම් කරනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රය ගැනත් යමක් සඳහන් කිරීම යෝග්‍ය යැයි සිතනවා

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ වන විට පවතින ගැටලු ඉදිරියේ දී නිරාකරණය වෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ ගැටලු ඇතිවීමට හේතු වූයේ අධ්‍යාපනය ගැන පවසන ගුරු හෙවත් බ්‍රහස්පතී ග්‍රහයා නීචව සිටි නිසයි. මේ දෙසැම්බර් 20 වන දින (2009) රාත්‍රී 12. 36 ට නීච ගුරු නීචත්වයෙන් මිදී ශ්‍රීී ලංකා කුම්භ රාශියට පැමිණ දිග්බලය නම් සුවිශේෂී බලයට පත්වීම අනුවත් ලක්ෂයක් දෝෂ භංග කරන ග්‍රහ යෙදුම අනුවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවති අවුල් වියවුල් නිරවුල් වෙනවා.

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය ජ්‍යේතිෂයේ පෙන්නුම් කරන්නේ කුමන ආකරයෙන් ද?

මීට පෙර ලොව කිසිදු රාජ්‍ය නායකයෙක් ලබා නොගත් ඡන්ද ප්‍රමාණයක් ඡන්ද ප්‍රතිශතයක් මහින්ද රාජපක්ෂ මහතා ලබා ගන්නවා. එසේ විශිෂ්ට ජයක් ලබන බව එතුමාගේ කේන්දරයෙන් පැහැදිලි ව ලියැවී තිබෙනවා. කුමන පක්ෂයකින් ජනාධිපතිවරණය සඳහා කවුරුන් ඉදිරිපත් වුවත් මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කිරීමට මේ කවරෙකුටවත් හැකියාව ඇත්තෙ ම නෑ.

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට කවුරු ඉදිරිපත් වුවත් ජනතා විමුක්ති පෙරමුණෙන් ජනාධිපතිවරණයට කවුරු ඉදිරිපත් වුවත් මේ ශ්‍රේෂ්ඨ නායකත්වයට එය දැනෙන්නෙවත් නෑ.

ඉදිරියේ පැවැත්විය යුතු මහ මැතිවරණය පිළිබඳ කුමක් ද පෙන්නුම් කරන්නේ

2010 අලුත් අවුරුද්දට පෙර අනිවාර්යයෙන් ම මහ මැතිවරණය පවත්වනවා. එවගේ ම අලුත් අවුරුද්දට පෙර නව පාර්ලිමේන්තුව රැස්වන බව ජ්‍යෝතිෂයේ පෙන්නුම් කරනවා. මේ මැතිවරණයෙනුත් අනිවාර්යයෙන් ම සන්ධානය ජය ලබනවා.

එවගේ ම රුහුණෙන් දියසෙන් කුමරු පරපුරේ ඉතා තරුණ නායකයෙක් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වෙනවා.

තව ද පාර්ලිමේන්තු මැතිවරණයේ දී පවතින රජය 2/3 කටත් වඩා වැඩි බලයක් ලබා ගන්නවා. එවගේ ම වෙනස් කළ නොහැකි යැයි කියූ ව්‍යවස්ථාව වෙනස් කිරිමට පුළුවන් අන්දමේ 2/3 කටත් වැඩි බලයක් ඉදිරි පාර්ලිමේන්තුවේ දී ලැබෙනවා. මෙම ව්‍යවස්ථාව රටට ජාතියට සුබදායක අන්දමින් වෙනස් වෙනවා. 2010 වසර තුළ මේ පවතින මැතිවරණ ක්‍රමයේ ද වෙනසක් සිදුවිය හැකියි.

රාජපක්ෂ පරපුර තව කොතරම් කාලයක් රට පාලනය කරයිද?

ලොව්තුරා බුදුන්ගේ ආශිර්වාදයෙන් හා දේව බලයෙන් බිහි වූ මහින්ද රාජපක්ෂ මහතාගෙන් ආරම්භ වූ මෙම රාජ්‍ය නායකත්ව ගමන තව දශක කිහිපයක් ඉදිරියට පවතිනවා. එය කොයි ලෙසකින්වත් කාටවත් වළක්වන්න බෑ.

තව නොබෝ දිනකින් පවත්වන දකුණු පළාත් සභා මැතිවරණයේ වැඩිම මනාප ලබා ගන්නා ආසනය සඳහන් කළොත්

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රධාන සංවිධායක ධූරය දරන හක්මන ආසනය වැඩිම මනාප ලබා ගන්නා ආසනය බව ජ්‍යෝතිෂයේ පෙන්නුම් කරනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා