දකුණේ ජන්ද දායකයිනි කලාකරුවන්ට සවන්දෙන්න

දකුණේ ජන්ද දායකයිනි කලාකරුවන්ට සවන්දෙන්න

කිසිදා පරාජය කළ නොහැකි යැයි කියූ එල්.ටී.ටී.ඊ. යේ ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීම නම් වූ මහා අභියෝගය මව්බිම ජයගත් බව අමතක කරවීමට ඇතැම් බලවේග මහත් වැර වෑයමක් දරනු පෙනේ. ඉතාමත් දූරදර්ශීව හා නොසැළෙන ගුණයෙන් යුතුව ත්‍රස්තවාදය වැනසූ යුද හා දේශපාලන බල මුළු එම කාර්යය සපුරාගත්තේ එසේ මෙසේ බාධා මැද නොවේ.

ත්‍රස්තවාදය සමඟ සටන් කිරීමට ඔවුනට සිදුවූයේ එක් අතකින් මේ රටේම හිඳිමින් රටට ද්‍රෝහීවූ පිරිස්වල කෙණහිලිකම් මැදයි. අනෙක් අතින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය විමුක්තිකාමය ලෙස හඳුන්වමින් බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි විජාතික බලවේගවල කුමන්ත්‍රණ ඉහළම මට්ටමින් ක්‍රියාත්මක විනි.

වෙන් වෙන්ව සිදුවූ එම බලපෑම්වලට අමතරව එකී දෙපාර්ශවයම එකම පෙරමුණක් ලෙස හිඳිමින්ද එල්.ටී.ටී.ඊ.ය රැකගැනීමේ වෑයම පෙරට ගිය බව පැහැදිලිව දකින්නට තිබිණි. එහෙත් මව්බිමේ වාසනාවට අද ජීවත්වන මිනිසුන්ගේ පමණක් නොව හෙට උපදින දරුවන්ගේද වාසනාවට ඒ සියලු කුමන්ත්‍රණ පරාජය කරන්නට වීරෝදාර ආරක්ෂක හමුදාවන්ටද සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාගේ එඩිතර හා සෘජු නායකත්වයටද හැකිවිය.

අප පසුකර ආ එම දුෂ්කර ගමනේදී ජනාධිපතිවරයාගේ නායකත්වයට තව තවත් ශක්තිය එක්කරමින්, අරක්ෂක හමුදාවන්ට මහා ධෛර්යයක් වෙමින් මේ රටේ අතිශය බහුතරයක් වන රටට ආදරය කරන ජනතාව කැපකිරීම් සහගතව ක්‍රියා කළේය. මේ සෑම කැපකිරීමකම ප්‍රතිඵලය දකිමින් අලුත් රටක් ගොඩනැගීමේ දිශාවට ශීඝ්‍රයෙන් රට යොමුව තිබියදී දෙස් විදෙස් කුමන්ත්‍රණ යළිත් රඟදෙන්නට පටන්ගෙන ඇත.

කුමන්ත්‍රණ

මේ කුමන්ත්‍රණකරුවන් දැන් අර අඳිමින් සිටින්නේ ත්‍රස්තවාදයේ පීඩනයෙන් රටත්, ජනතාවත් මුදාගත් යුද හා දේශපාලන නායකයන් අන්තර් ජාතික යුද අපරාධ අධිකරණයක් හමුවට පැමිණවීමටය. මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේ පටන්ම එහෙන් මෙහෙන් ඇසෙන්නට පටන්ගත් යුද අපරාධ පිළිබඳ කතාවට රාජ්‍ය නායකයාට පිළිතුරු දී ඇත.

ජනාධිපතිවරයා කීවේ මව්බිමේ නාමයෙන් ජීවිතය දෙන්නට සිදුවුණත් ඊට පසුබට නොවන බවයි. එහෙත්, කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් මව්බිමත්, ජනතාවත් මුදාගැනීම කවර වරදක්දැයි තීරණය කළ යුත්තේ ත්‍රස්තවාදයෙන් අසීමිත ලෙස බැට කෑ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදීවූ සියලු මිනිසුන් මිස කුමන්ත්‍රණකරුවන් ;නාවන බවද පැහැදිලි කෙරිණි.

ත්‍රස්තවාදය පරාජය කරමින් මව්බිම එක්සේසත් කළ එබඳු දේශපේ‍්‍රමියෙකු වත් ඔය කියන යුද අධිකරණවලට රැගෙන යාමට මේ රටේ ජනතාව ඉඩනොතබන බවට රාජ්‍ය නායකයාට පැහැදිලි විශ්වාසයක්ද ඇත.

අප කල්පනා කරන අන්දමට තවත් දින කිහිපයකින් පැවැත්වෙන දකුණු පළාත්සභා මැතිවරණයේදී උරගාබැලෙන්නේ එකී විශ්වාසයයි. ඌව පළාත් සභා මැතිවරණයට පෙර පැවැති සෑම පළාත් සභාවරණයක්ම පැවැත්වුණේ ත්‍රස්තවාදය මුළුමනින් පරාජය නොකළ පසුබිමකය.

එහෙයින් ත්‍රස්තවාදය සහමුලින් පරාජය කරන රට සුරකින සටන රකින්නැයි, ජනාධිපතිතුමත්, රජයත් එම පළාත්වාසී ජනතාවගෙන් කළ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරය අතිශයින් උණුසුම්ය. ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වුණේ දශක තුනකට පසු එක්සේසත් කළ රටකය. එම මැතිවරණයේදී රට වෙනුවෙන් දිවිදුන්, අත්පා දන් දුන්, දිවිහිමියෙන් කැපවී ක්‍රියාකළ සියලු දේශපේ‍්‍රමීන් කෙරෙහි තමන් තුළ ඇති ගෞරවය ඌව වෙල්ලස්සේ ජනතාව ඉහළින්ම ප්‍රකාශ කළහ.

දැන් අවස්ථාව එළැඹ ඇත්තේ ත්‍රස්තවාදයේ අඳුර පිසදාහළ රට ආලෝකය කරා රැගෙන යන නායකත්වය රටට බිහිකළ දකුණේ දේශපේ‍්‍රමී ජනතාවටය. ත්‍රස්තවාදය වනසා මව්බිම රැකඳුන් විරුවන් පාවාදෙන්නට වෙරදරන අශුද්ධ සන්ධාන සහ කුමන්ත්‍රණකරුවන්ට අමතක නොවන පාඩම කියාදෙන්නැයි දකුණේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නට තවත් පිරිසක් පෙරට විත් සිටිති.

ඒ හැමදාමත් මව්බිමට ආදරය කරන කලාකරුවන්ය. මේ රටේ තීරණාත්මක කාලපරිච්ඡේදයක් සළකුණු වූ මෑත වකවානුවේ ඔවුන් ජනතාවත් සමඟ ඉදිරියෙන්ම සිටිමින් රට දිනවීමට පෙරමුණගත් බව රහසක් නොවේ.

කලාකරුවා

කලාකරුවා යනු වඩා සංවේදී මනසකින්, හදවතකින් යුතු අයෙකි. එහෙයින්ම ඉක්මනින් ඔවුහු තමන් හමුවේ ඇති කාර්යභාරය නිවැරැදිව තේරුම් ගැනීමෙහිද සමත්වෙති. ඒ ඔස්සේ පෙරට එති. දැන්, දකුණේ දී අප දකින්නේ ද එයයි.

ඔවුන් ඉතාමත් හෘදයාංගම ලෙස සහ උණුසුම්ව දකුණේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉතිහාසය පුරා ඔවුන් ඉටුකළ භූමිකාව අන් කවරදාටත් වඩා හොඳින් මෙවර පිළිබිඹු කරන ලෙසයි. මේ රටේ ඉදිරි ගමන වළකාලන්නට දහසකුත් සැළැසුම් අඳින කුමන්ත්‍රණකරුවන්ට හොඳම පිළිතුර දෙන ලෙසයි. මේ ඉල්ලීම කරන අතරම ඒ සඳහා නියෝජනයක්ද ඔවුන් සපයා තිබේ.

දකුණු පළාත් සභා මැතිවරණයට තරග කරන රංගන ශිල්පිනියන් දෙදෙනාගේ නියෝජනය එක් අතකින් කලා ක්ෂේත්‍රය නියෝජනය වීම නිසාද තවත් අතකින් කාන්තා පාර්ශවය නියෝජනය වීම නිසාද එකලෙස වැදගත් වෙයි.

රටට ආදරය කරන රටම ආදරය කරන කලාකරුවන්ගේ ඉල්ලීම සඳහා වන ජනතා ප්‍රතිචාරය ගැන අපට සැකයක් නැත. මන්ද යත්, ඒ ප්‍රතිචාරය ලැබෙන්නේ මේ රටේ ඉතිහාසය වෙනස් කරන්නට මුල්වූ දකුණේ මිනිසුන්ගෙන් බැවිනි.

වසර 17 ක එජාප භීෂණකාරී පාලන සමය අවසන් කරන්නට 1994 දී පළමු වෙඩිමුරය තැබුණේද දකුණෙනි. දැන්, යුද්ධයෙන් නිදහස් වූ රට සැබෑ නිදහසක ආශ්වාදය විඳින්නට සැරසෙන මොහොතේ ඊට එරෙහිවන සියලු ප්‍රතිගාමී කුමන්ත්‍රණකාරී බලවේගවලට හිමිතැන නිශ්චය කරන්නටද ඔවුන් පෙරමුණ ගන්නා බව අපගේ විශ්වාසයයි.

ඒ අතරම රටට එරෙහි විජාතික බලවේගවලටද මෙම මැතිවරණ ප්‍රතිඵලය මඟින් දකුණේ ජනතාව පැහැදිලි පිළිතුරක් ලබාදෙනු ඇති බව පැහැදිලි කාරණයකි. ඒ කුරිරු ත්‍රස්තවාදයෙන් මව්බිමත්, ජනතාවත් මුදාගත් කිසිදු දේශප්‍රේමියකු පාවාදෙන්නට තරම් ඔවුන් පහත් මිනිසුන් නොවන බවයි.

දකුණේ ජනතාව ගන්නා එම නිවැරැදි තීරණය තවත් කාරණයක් නිසාද අතිශයින්ම වැදගත්ය. එල්.ටී.ටී.ඊ.ය මුළුමනින් පරාජය කළද ඊළාම් වාදයේ සෙවණැලි තවමත් රටින් පිටත හිඳිමින් වූවද හොල්මන් කරමින් සිටින බැවිනි. මේ කිසිදු ත්‍රස්තවාදියකුට රටට එරෙහිව නැඟීමට ඉඩනොදෙන බව ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට අනාගතයේ ඉඩ නොතැබීම සම්බන්ධයෙන් මුළුමහත් රටත්, සමාජයත් වෙත පැවරෙන පැහැර හැරිය නොහැකි වගකීම පිළිබඳ ද ඔහු සිහිපත් කර ඇත. එබැවින් ත්‍රස්තවාදයට එරෙහි රටේම ජනමතය එකක් බව කියාපෑමේදී මෙන්ම රටට එරෙහි කිසිදු බලවේගයකට ඉඩක් නොතබන බවට කියාපෑමේදීද දකුණේ ජනතාව ගන්නා තීරණය කැපීපෙනෙනු ඇත.

නිවැරැදි තීරණය

මීට දශක දෙකකට පෙර රටේ අන්කාටත් වඩා දකුණේ ජනතාව අත්විඳි භීෂණයේ අඳුරු මතකයන් තවමත් ඔවුන්ගේ සිත්වලින් මැකී ගොස් නැත. ඒ මතකයන් ඔස්සේ ඇසෙන සිය දූදරුවන්ගේ කටහඬ දකුණේ මව්පියන්ගේ දෙසවන්වල අදටත් රැව්නැඟෙනවා ඇත. ඉන් මෙපිට අතීතයේ දී යළිත් වරක් තම නෑසිය මිතුරන් මඟතොටදී, තමන්ට අහිමි කළ කුරිරු ත්‍රස්තවාදය උරුම කළ කඳුළු බිඳු තවමත් වියැකී ගොසින් නැත.

සතුරාගෙන් රට මුදාගෙන මිස ආපසු හැරෙන්නේ නැතැයි තමන් හමුවේ සපථ කළ ආදරණීය පුතණුවන්, සෙනෙහබර සැමියා යුදබිමේ දී කළ මහා පරිත්‍යාගය කිසිදා ඔවුන්ගේ සිත්වලින් මැකී යන්නේද නැත. එහෙයින් ඔවුන් ගත්තේ නිවැරදිම තීරණයක් බවට අපට සැකයක් නැත. දකුණෙන් ඇසෙන කලාකරුවන්ගේ හඬට ඔවුන් සංවේදී බව ඔක්තෝබර් 10 දා ඔවුන් පෙන්නුම් කරනවා ඇත.


දකුණු ජනතාවගේ සක්‍රීය දායකත්වය ජනාධිපතිතුමාට ලබාදෙනවා

රවින්ද්‍ර රන්දෙනිය ප්‍රවීණ රංගන ශිල්පී

යුද්ධයේ නිමාවත් සමඟ පවත්වන ප්‍රථම මැතිවරණය වන දකුණු පළාත් සභා මැතිවරණය ඉතා වැදගත්.

යුද්ධයේ ජයග්‍රහණය ඓතිහාසික වශයෙන් සියලු ජනතාවට දැනී තිබෙන අතර එය මේ වන විට භුක්ති විදිමින් සිටිනවා. මේ භුක්තිවිදින නිදහස නැති කිරීමට විවිධ බලවේගද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

එනිසා ශ්‍රී ලංකාවාසීන් කියන්නේ මේ ජයග්‍රහණය පිටුපස සිටින ශක්තිමත් ම පවුරක්. තවද දකුණේ ජනතාව රටේ සිදුකළ සෑම යහපත් ක්‍රියාවකදීම සක්‍රීය ලෙස දායක වුනා. එබැවින් මේ මැතිවරණයේදීත් දකුණු ජනතාවගේ සක්‍රීය දායකත්වය ලබා දෙන බව මට විශ්වාසයි.

රටේ ඉදිරි යහ පැවැත්ම වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණ බාල්දු කිරීමට උත්සාහ දරන බලවේගවලට ඒ සඳහා අවස්ථාව මේ දකුණු ජනතාව ලබා නොදෙන බවද සඳහන් කළ යුතුයි.


හරි දේ හරි විදියට තීරණය කරන ජනතාව ඉන්නේ දකුණේ

ගීතා කුමාරසිංහ ප්‍රවීණ රංගන ශිල්පිනී

මම දකුණේ ඉපදී හැදුනු වැඩුණු නිළියක්. දකුණු පළාත පුරාවට ම ඉන්නේ මගේ නෑදෑයෝ හිතවතුන්. මේ මැතිවරණයේ තරඟකාරී බවක් නම් පේන්නේ නෑ. මේ වන විටත් ජයග්‍රහණය කරන්නේ කවුද කියලා ජනතාව දන්නවා. රටේම ජනතාව දුකෙන් මෙන්ම බයෙන් ගලවාගත් මොහොතකයි මේ මැතිවරණය පවත්වන්නේ. එනිසා ජනාධිපතිතුමාට දක්වන ආදරය ගෞරවය කාටවත් නැති කරන්න බෑ.

එවගේම මීට පෙර පැවති ඡන්දවලින් විප්ලවීය වෙනසක් ඇති වුණෙත් දකුණෙන්. හරි දේ හරි විදියට තීරණය කරන ජනතාවක් දකුණේ ඉන්නේ.

තවද මේ මැතිවරණයට ඉදිරිපත් වන අපේ සහෝදර නිළියන් දෙදෙනාට මම සුබ පතනවා. කාන්තාවක් ඉදිරියට එන කොට සමාජයේ කෙනෙහිලිකම් වැඩියි. මේ ඉදිරිපත් වන සහෝදර නිළියන් දෙදෙනාට ඒ කෙනෙහිලිකම් කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා.


දකුණේ ඉන්නේ රටට මඟ පෙන්වන ජනතාවක්

නීතීඥ ඩග්ලස් සිරිවර්ධන ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක

දකුණු පළාත් සභාවේ ඉතිහාසය ඓතිහාසික වුවක්. දකුණු චලනය රටේ ම චලනයක්. රටේ සිටි අගමැතිවරු දෙදෙනෙක් වගේ ම වත්මන් ජනාධිපතිතුමා ද දකුණු පළාතෙන් බිහි වූයේ.

කලාකරුවා කියන්නෙත් රටේ ජීවත්වන සාමාන්‍ය පුද්ගලයෙක්. අද රටේ සිදුවන සමකාලීන සංවර්ධනය දැක්කාම හිතට ඇතිවන්නේ අභිමානවත් සතුටක්. හම්බන්තොට ඉදිවෙන වරාය, තිස්සමහාරාමයේ ඉදිවෙන ටෙලි සිනමා ගම්මාන බලන්න ගිය කෙනෙක් විදියට මේ සතුට මට තදින් ම දැනෙනවා.දකුණු පළාත පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාව දිහා බලන විටත් මේ සංවර්ධනය රට පුරාම සිදුවනවා.

එවගේම ජනාධිපතිතුමා කලාකාරියන් දෙදෙනකු මේ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙනවා. එනිසා දකුණේ මැතිවරණයට අප ආශිර්වාද කළ යුතුයි. රට තුළ සිදුවන මේ සංවර්ධන ක්‍රියාදාමය ඉදිරියටත් එලෙසින් ම පවත්වා ගෙන යාමට මේ මැතිවරණය තවත් එක් ශක්තියක් වේවි.


ප්‍රතිඵලය බොහොම පැහැදිලියි

ජී. ආර්. පෙරේරා ප්‍රවීණ රංගන ශිල්පී

වර්තමානය කියන්නෙත් ඓතිහාසික යුගයක්. අපේ රට කෑලිවලට කැඩෙන්න ගිය හැම මොහොතකම රට එක්සේසත් කළේ රුහුණෙන් බිහිවු නායකයෝ. දුටුගැමුණු රජතුමාගෙන් පටන් ගෙන මහා විජයබාහු රජු දක්වා රාජ්‍ය නායකයන් අට දෙනෙක් මේ රුහුණෙන් තමා බිහි වුනේ.

මහා විජයබාහු රජුගෙන් පසු කිසිම පාලකයෙකු බිහිවුනේ නෑ. රට එක්සේසත් කිරීමට වසර 895 කට පසුව එනම් 2005 නැවත රුහුණෙන් රට එක්සේසත් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ජනතාව ජන වරම ලබා දුන්නේ. එදා ඒ ජනතාව ගත් නිවැරදි තීරණය මතු පරපුරේ මෙන්ම රටේ වාසනාවට ගත් ඓතිහාසික තීරණයක්.

එනිසා රුහුණු ජනතාවට අභිමානයක් තියෙනවා. මේ පාලකයා රැක ගැනීමට එසේ නම් ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කළ යුතුයි.

2005 අපේ ජනතාව වැරදි තීරණයක් ගත්තා නම් අද අපට මෙසේ නිදහසේ කතා කිරීමටවත් හැකියාවක් නෑ. තවද මේ රුහුණු අභිමානය රැක ගැනීමට විශිෂ්ට ජයක් ලබා ගැනීම අත්‍යවශ්‍යයයි.

1948 සිට මේ දක්වා වසර 61 ක් අපි නිදහස සැමරුවාට මම කිසිදා සිංහ කොඩියක් එසවුයේ නෑ. හේතුව මේ සිංහ කොඩි එසවුයේ චක්‍රලේඛන මගින්. නමුත් 2009 මැයි 18 වෙනිදා මම සිංහ කොඩියක් එසවුවා.

එදා මුළු රටම කාගේවත් දැනුම්දීමකින් තොරවයි සිංහ කොඩි එසවුයේ. ඒ කියන්නේ වසර 61 ක් සැමරු නිදහස අපේ හදවතට දැනුනේ නෑ. මේ වෙනස මැයි 18 වෙනිදා ජනතාවට තේරුණා. එනිසා අනාගතය බොහොම පැහැදිලියි. එනිසා අපි කලබල විය යුතු නෑ. කළ යුත්තේ ජනාධිපතිතුමා මේ ගෙන යන වැඩ පිළිවෙලට සහයෝගය දීම පමණයි.


සන්ධානයේ ජයග්‍රහණය ගැන කිසිඳු සැකයක් නෑ

ඇන්ටන් ජූඩ් ප්‍රවීණ රංගන ශිල්පී

දකුණු පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරන බවට කිසිදු සැකයක් නෑ. ඒ ජයග්‍රහණය අතිවිශිෂ්ට ලෙස ලබා ගන්නවා.

ඌව පළාත් සභා මැතිවරණයේ දී ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙනුවෙන් මම කිසියම් වැඩ කොටසක් කළා.

ඒ වගේම ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ඉතා සාර්ථක වූවක්. හේතුව කලාකරුවන් හැටියට අපි අපේ දක්ෂතා මෙතෙක් පෙන්වූයේ පිටරටවලට ගිහිල්ලා. නමුත් ජනාධිපතිතුමා මේ ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළත් එක්ක අපේ නිර්මාණ වන වේදිකා නාට්‍ය වගේ දේවල් උතුරටත් අරන් ගිහින් පෙන්වීමේ හැකියාව ලැබෙමින් පවතිනවා.

එය කලාවේ දියුණුවටත් කලාකරුවාගේ දියුණුවටත් ඉතා වැදගත්. මේ ඔස්සේ නව නිර්මාණ කලාකරුවා අතින් බිහිවිය හැකියි.


රට නිදහස් කරගත් ක්‍රියාවට දකුණෙන් නිසි උපහාර ලැබෙනවා

සුදත් රෝහණ ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ

වසර තිහක් පුරා පැවැති ත්‍රස්තවාදය නම් සාපයෙන් රට මේ වනවිට සම්පූර්ණයෙන් ම මුදා ගෙන තිබෙනවා.

ජනාධිපතිතුමාගේ වචනවලින් ම කීවොත් රටේ ඉන්නේ ජන කොටස් දෙකයි. ඒ කියන්නේ රටට ආදරය කරන සහ රටට ආදරය නොකරන යන දෙපිරිස. මෙයින් දැන් සිටින්නේ බහුතරයක් ම රටට ආදරය කරන පිරිස.

යායුතු නිවැරැදි තැනට රට මේ වනවිට රැගෙන විත් තියෙනවා. එනිසා මධ්‍යම, ඌව, බස්නාහිර, වයඹ යන පළාත් සභා මැතිවරණවලින් රජයට හිමිවූ ජයග්‍රහණය ඊටත් වඩා ඉහළින් දකුණෙන් ඒකාන්ත වශයෙන්ම ලැබෙනවා.

මෙහිදී දකුණු පළාත් සභාව වෙනුවෙන් කලාකාරියන් දෙදෙනෙකුත් ඉදිරිපත් වෙනවා.

සුසන්තා චන්ද්‍රමාලිට පළාත් සභාවට තේරී පත්වීමට අවකාශය ලැබුණොත් ඇයට ඇය උපන් ගම වෙනුවෙන් විශාල සේවයක් කළ හැකියි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා