ගොබෙල්ස්ට අනුව මඩ වපුරනු ලැබේ!

ගොබෙල්ස්ට අනුව මඩ වපුරනු ලැබේ!

දුම්රියේ ගමන් කරනවිට අසන්නට ලැබෙන්නේ පුදුමාකාර කටකතා ය. මේ කටකතා නිරීක්ෂණය කරනවිට පැහැදිලි වන ප්‍රධාන කාරණය වන්නේ කටකතා පැතිරවීම සංවිධානාත්මක ව සිදුවන බව ය. කටකතාව යනු අති ප්‍රබල සන්නිවේදන මාධ්‍යයෙකි. ඇතැම්විට එය විධිමත් ජන මාධ්‍යවලට වඩා ප්‍රබල ය.

මේ බව තේරුම්ගත් විපක්ෂය ඉතා සුක්ෂ්ම ලෙස කටකතාව යොදා ගනිමින් ජනාධිපතිවරයාට හා එම පවුලට ප්‍රහාර එල්ල කරන බව අප ගේ වැටහීම ය. මේ කටකතා අසන අය පෙරළා ප්‍රශ්න කරන්නේ කලාතුරෙකින් ය. ඒ නිසා ම විශාල බොරු සමුදායක් සමාජය තුළ කැරකෙමින් පවතී.

ඉහත සඳහන් කටකතාවලට අනුව ශ්‍රී ලංකාවේ කිසිදු වටිනා ඉඩමක් ඉතිරිවී නැත. ඒවා ජනාධිපතිවරයා හෝ ඔහු ගේ පවුලේ කෙනෙකු හෝ මිලට ගෙන ඇත. එහෙත් කිසිවකු ළඟ ඊට අදාළ පැහැදිලි සාක්ෂ්‍ය නැත.

මෙරට ඉඩමක හිමිකරුවා කවුදැ’යි සොයා බැලිය හැකි නෛතික ක්‍රමවේද ගණනාවක් තිබේ. ඉන් එකක් භාවිත කොට ජනාධිපතිවරයා හෝ ඔහු ගේ පවුලේ කෙනෙකු හෝ මිලට ගත් එක ඉඩමක තොරතුරු මේ වනතුරු කිසිවකු ඉදිරිපත් කර නැත. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහි දී නිහඬ ය. මංගල සමරවීර මහතා නිහඬ ය. ජනතා විමුක්ති පෙරමුණත් නිහඬ ය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇපලෝ රෝහල මිලට ගත්තේ යැයි බොරු ප්‍රචාරයක් මීට සති කිහිපයකට පෙර කටකතා මගින් ප්‍රචාරය කැරිණි. මීට පිළිතුරු සැපයූ ආරක්ෂක ලේකම්වරයා ඊට අදාළ සාක්ෂ්‍ය ඉදිරිපත් කරන්නැ’යි විපක්ෂයට අභියෝග කළේ ය.

එලෙස ම තමා ගේ වත්කම් පිළිබඳ ලේඛනයක් අවශ්‍ය ඕනෑ ම කෙනෙකුට ලබාදිය හැකි බවට නිර්භීත ප්‍රකාශයක් ද කළේ ය. පිළිතුරු දුන් කෙනෙකු නැත. ඇපලෝ රෝහලේ කතාව මේ වනවිට සජීවී සංවාදයෙන් බැහැරවී ඇත. ඒ වෙනුවට දැන් වෙනත් කට කතා පතුරවන්නට පටන්ගෙන තිබේ.

දූෂණය යන වචනය මැතිවරණවලදී තියුණු ආයුධයක් ලෙස පරිහරණය වේ. ඒ මගින් යහපත් නායකයන් ගේ බෙල්ල ද කපා දැමිය හැකි ය. එක්තරා කබල් දේශපාලකයෙක් කියා ඇත්තේ හොරා ! හොරා ! ලෙස නිතරම කීමෙන් හොරකු නො වන පුද්ගලයකු වුව සමාජය ඉදිරියේ හොරකු කළ හැකි බව ය. ඒ ගොබෙල්ස් නම් ප්‍රචාරක නිලධරයා ගේ න්‍යායයෙකි.

කිසියම් කරුණක් නිරන්තරයෙන්ම සමාජය තුළ සංවාදයට ලක්කිරීමෙන් එය තහවුරු කළ හැකි ය. සමාජය ඒ පිළිබඳ පෙරළා ප්‍රශ්න කිරීමට නො පෙළඹෙයි. අද සිදුකරන්නේ ද එම ක්‍රියාවලිය ම ය.

මේ රටේ ක්‍රියාත්මක ඇතැම් වෙබ් අඩවිවලට මාධ්‍ය සදාචාරයක් ඇත්තේ ම නැත. ඒවායෙහි කතුවරු කටකතා මත පදනම් වෙමින් ජනාධිපතිවරයාට මඩ ගැසීමේ ව්‍යාපාරයක නිරත ව සිටිති. ඇතැම් කතුවරුන් විපක්ෂයෙන් මුදල්ගෙන එසේ කරනවා වෙන්නට පුළුවන. කිසිවකු කියූ පමණින් ඕනෑ ම දෙයක් පළ කිරීමේ අයිතිය ජනමාධ්‍යයකට නැත.

කිසිවකු දක්වන කරුණ සත්‍ය්‍යක් ද? එය සනාථ කළ හැකි සාක්ෂ්‍ය පවතී ද? එවැන්නක් පළකිරීම කෙතෙක් දුරට යුක්ති සහගත ද? යන කරුණු ජනමාධ්‍යයක් විසින් සැලකිල්ලට ගත යුතු ව තිබේ. විශේෂයෙන් රටේ පිළිගත් නායකයකු සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමේදීවත් ඉහත කරුණු මත පදනම් වන්නට ඇතැම්හු නො පෙළඹෙති.

විපක්ෂය ඉතා වෛරී සහගත දේශපාලනයක යෙදෙන බව පැහැදිලි ව පෙනෙන්නට තිබේ. තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කළ නායකයාට ගෞරවයක් දක්වන්නට විපක්ෂය කිසි දා ඉදිරිපත් වූයේ නැත. ඒ වෙනුවට සරණාගත කඳවුරුවල අඩුපාඩු සොයන්නට ද මානුෂික මෙහෙයුම්වල වැරැදි සොයන්නට ද ඔව්හු උත්සුක වූහ.

අද වනවිට තම ව්‍යාපාරයෙහි උපරිමය කරා ගොස් ඇති විපක්ෂය රට ලැබූ ජයග්‍රහණය අවතක්සේරුවට ලක් කරන්නට පටන්ගෙන තිබේ. ඔවුන් ගේ නියෝජිතයා වූ විශ්‍රාමික ෆොන්සේකා හමුදාවත් – රටත් පාවාදෙමින් සිටී. මේ තත්ත්වය හිතාමතා සැලැසුම් සහගත ව ඇතිකර තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය ඕනෑ ම සමාජයක් තුළ සැකයට ලක්විය හැකි කාරණයෙකි. එහෙත් යහපත් පාලකයකුට එම බලතල යොදා ගනිමින් ම රටට වැඩදායක දෙයක් කළ හැකි ය. එය ඉතා ඉහළින් ම සනාථ කර ඇති නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දිය හැකි ය.

එකතැන පල්වෙමින් හිඟන්නා ගේ තුවාලයක් බවට පත් ව තිබූ කොටි ත්‍රස්තවාදය කෙටි කලකින් විසඳන්නට හැකි වූ ප්‍රධාන සාධකය විධායක ජනාධිපති ක්‍රමය සතු බලතල යැයි කෙනෙකු තර්ක කළහොත් එය සාධාරණ තර්කයක් බව ට පත්වේ. ඒ අනුව බලනවිට මහින්ද රාජපක්ෂ මහතා විධායක බලතල පාවිච්චි කර ඇත්තේ ජාතියේ අනාගත අභිවෘද්ධිය සඳහා මිස දූෂණය සඳහා නො වේ.

විධායක ජනාධිපති ක්‍රමයේ නිර්මාතෘ ලෙස ශ්‍ර‍්‍රී ලංකාවේ දී ගර්හාවට ලක් ව ඇති ජේ. ආර්. ජයවර්ධන මහතා තම බලය අනිසි ලෙස භාවිත කළ අන්දමට ඕනෑතරම් සාධක ඉදිරිපත් කළ හැකිය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ සිට අයුතු ලෙස ඉඩම් පරිහරණය කිරීම දක්වා උතුමාණන් ගේ අනිසි බල පරිහරණය ගමන් කරයි.

රණසිංහ පේ‍්‍රමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන ජනාධිපතිවරුන් ගේ නිල කාලය තුළ ද එබඳු දූෂිතකම් ඕනෑතරම් සිදුවී තිබේ. ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයාට කිසිවක් කිරීමට කාලයක් නො තිබුණේ යැයි කිව හැකි ය.

ශ්‍රී ලංකාවේ මෙතෙක් පාලන බලය අතට ගත් විධායක ජනාධිපතිවරුන් හා ජනාධිපතිනිය අතරින් යහපත් ම පාලකයා ලෙස අපට කිව හැක්කේ මහින්ද රාජපක්ෂ මහතා ය. පක්ෂග්‍රාහීකමකට වඩා එහි තර්කයක් තිබේ. නිදසුනක් කිවහොත් ජේ. ආර්. ජයවර්ධන මහතා මෙන් ඡන්ද සිතියම හකුළා දමන්නට මහින්ද මහතා ඉදිරිපත් වූයේ නැත.

එය ම ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ පිළිවෙතකි. ජනාධිපතිවරයා දූෂිත නම් ඡන්දවලට යන්නේ නැත. මැතිවරණවලින් ජයග්‍රහණය කරන්නේ ද නැත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ද එම පවුල කෙරෙහි ද විශාල විශ්වාසයක් මෙරට පොදු ජනයා තුළ තිබේ. විපක්ෂය විසින් දැනට ගෙනයනු ලබන මඩ ප්‍රචාරවලට මේ ජනයාගෙන් විශාල විරෝධයක් ද නැඟෙමින් පවතී.

දූෂණ චෝදනාවලට මුවා වී දැන් ගෙන යනු ලබන්නේ මඩ ප්‍රචාරයන් ය. එකක් පසුපස එකක් ලෙසින් ඒවා සමාජය වෙත කැඳවාගෙන එනු ලැබේ. වෙබ් අඩවි කටකතා පමණක් නො ව ඇතැම් දේශපාලන පත්තර ද ඊට හවුල් වී ඇති බව පෙනෙන්නට තිබේ. මේ මඩ ප්‍රචාරවලට පිළිතුරු දීම කෙසේ වුව ඊට නීතිමය පියවරක් ගැනීමට හැකිනම්; සමාජයට විශාල සහනයක් ඒ මගින් ලැබේ. මේ මඩ ප්‍රචාරවලින් යහපත් මිනිසුන්ගේ ලේ කුපිත විය හැකි බැවින් ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා