රටට ආදරය කරන සංවේදි නායකයා මහින්ද රාජපක්ෂයි

රටට ආදරය කරන සංවේදි නායකයා මහින්ද රාජපක්ෂයි

උඩුවේ ධම්මාලෝක හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී

ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියෝ ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය ලබාදීමට තීරණය කර සිටිති. ඉදිරි ජනාධිපතිවරණයේදී හා ඉන්පසු තිබෙන අභියෝග ජය ගැනීම සහ ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ යුත්තේ ඇයිද යන කරුණු පිළිබඳ ධම්මාලෝක හිමියන් සමඟ සිදුකළ සංවාදයකි මේ.

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ ඔබ වහන්සේ පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂ තීරණයටත් පිටුපාමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට විශාල දායකත්වයක් ලබාදුන්නා. එහෙත් මෙවර ඔබ වහන්සේගේ පූර්ණ සහයෝගය ලැබී තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට. පසුගිය කාලයේදී එජාපයට හිතවත් ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඔබ වහන්සේ මෙවර වෙනස් තීරණයක් ගත්තේ ඇයි?

එදා දේශපාලන තත්ත්වය සහ අද දේශපාලන තත්ත්වය අතර ලොකු වෙනසක් තිබෙනවා. එදා තීරණය සහ අද තීරණය වෙනස් වෙන්නේ ඒ විදිහටයි. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ තමයි අවුරුදු තිහක් තිබුණ යුද්ධය නිමාවුණේ. අපි කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළත් කුමන දේශපාලන මතයක් දැරුවත් ඒ යථාර්ථය තේරුම් ගන්න ඕනෑ. මම මේ තීරණාත්මක මොහොතේදී ජනාධිපතිතුමාට සහයෝගය ලබාදෙන්න තීරණය කළේ ඒ නිසයි.

අද මූලධර්මවාදී කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන, ඇතැම් බටහිර රටවල් මේ අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. අපි රටක් විදිහට ජනතාවක් විදිහට මේ තත්ත්වය තේරුම් ගන්න ඕනෑ. මහා සංඝරත්නය විදිහට ජනතාව ඉදිරියේ අප මේ දේ කියන්නේ.

බුදු හාමුදුරුවෝ පවා කළගුණ සැලකීම ගැන ඉතාමත් ඉහළින් දේශනා කරලා තිබෙනවා. අපි රටක් විදිහට ජනාධිපතිතුමාට කළගුණ සැලකිය යුතුයි. ජනාධිපතිතුමා අභියෝගාත්මක අවුරුදු හතරේදී ඉතාමත් නිර්භීත ලෙස කටයුතු කළා. රටට ආපු අභියෝග ජය ගැනීමට ජනාධිපතිතුමාගෙන් රටට විශාල දායකත්වයක් ලැබුණා. මේ හැම කාරණයක්ම සලකා බලා තමයි මම මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදීමට තීරණය කළේ.

ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරය තුළ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ විපක්ෂය විවිධ චෝදනා එල්ල කරනවා. තවත් අය කියන්නේ ජනාධිපතිතුමාගේ ඉදිරි වැඩපිළිවෙළ පැහැදිලි නැහැ කියලා ?

ජනාධිපතිතුමාට ඉදිරි වැඩපිළිවෙළක් නැතිනම් කාටද ඉදිරි වැඩපිළිවෙළක් තියෙන්නේ. වර්තමානයේ දී ඉදිරි වැඩපිළිවෙළක් රට ගැන බැඳීමක් තියෙන නායකයෙක් ඉන්නවා නම් ඒ ජනාධිපතිතුමා විතරයි.

යුද්ධය විතරක් නෙමෙයි රටේ සංවර්ධනයට අදාළ බොහෝ දේවල් ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළදී ඉෂ්ඨ කළා. මීට අවුරුදු පහකට හයකට කලින් ජනතාව ගුවන් පාලමක් කියන්නේ විශ්මිත දෙයක් පුදුමසහගත දෙයක් විදිහටයි සැලකුවේ. ඒත් ජනාධිපතිතුමාගේ පාලන කාලයේදී ගුවන් පාලම් ඉදිකිරීම, මහා මාර්ග සංවර්ධනය, නිවාස සංවර්ධනය ඇතුළු දහසකුත් එකක් වැඩ කටයුතු කළා.

එහෙම තියෙද්දී මහින්ද රාජපක්ෂ මහත්මයා වැඩක් කළේ නැහැ ඉදිරි වැඩපිළිවෙළක් නැහැ කියලා කියන්නේ කොහොමද? නිදහසෙන් පස්සේ රටට ලොකුම සේවයක් කළේ ඉදිරි වැඩපිළිවෙළක් තියෙන්නේ ජනාධිපතිතුමාට පමණයි.

අද වනවිට මහා සංඝරත්නය දෙපාර්ශවයකට බෙදී කටයුතු කරන ආකාරයක් දකින්න පුළුවන්. මහා සංඝ රත්නයෙන් එක් පාර්ශවයක් ජනාධිපතිතුමාට සහය ලබාදෙද්දී තවත් පාර්ශ්වයක් විශ්‍රාමික ෆොන්සේකාට සහය ලබාදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මේ පිළිබඳ ඔබ වහන්සේට තිබෙන්නේ කුමන අදහසක්ද?

ඕනෑම හාමුදුරු කෙනෙකුට තමන් කැමැති දේශපාලන මතයක් දැරීමට වගේම තමන් කැමැති දේශපාලනයක් කිරීමට අයිතියක් තියෙනවා. මම ඒ අයිතිය ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. ඒත් අපි මහා සංඝරත්නය විදිහට නිතරම රට ජාතිය ගැන කල්පනා කළ යුතුයි. භික්ෂුවක් විදිහට අපේ වගකීම වන්නේ ඒ දේ.

මෙතැනදි අපි රට ජාතිය ගැන කල්පනා කරලා කටයුතු කරන නායකයා කවුද බටහිර න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන පුද්ගලයා කවුද කියලා සලකා බලන්න ඕනෑ. එතැනදී මම පැහැදිලිව දකින සත්‍ය තමයි රටට ආදරය කරන සංවේදී නායකයා මහින්ද රාජපක්ෂ මහත්මයා බව.

මම විතරක් නෙමෙයි බහුතර හාමුදුරු පිරිස් අද ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙලා ඉන්නේ. විශ්‍රාමික ෆොන්සේකාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩකරන හාමුදුරුවරුන්ගෙනුත් ඉල්ලා සිටිනවා ඇත්ත තේරුම් අරගෙන රට ගොඩනඟන නායකයාට සහයෝගය ලබාදීමට එකතු වෙන්න කියලා.

ඔබ වහන්සේ විවිධ හේතු සාධක ඉදිරිපත් කළත් අද වෙද්දි ජනතාවට බලපාන අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක මිල විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. මේ තත්ත්වය නිසා ජනතාව විශාල ආර්ථික පීඩනයකින් සිටින්නේ. මේ ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද?

අද බඩු මිල ඉහළ යමින් තියෙන්නේ් කෘතිම ආකාරයට. මම නම් මේ තත්ත්වය දකින්නේ කුමන්ත්‍රණයක් විදිහටයි. මේ කුමන්ත්‍රණය සිදුකරන්නේ විපක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රයට කටයුතු කරන ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් විසිනුයි. අද විතරක් නෙමෙයි අතීතයේදීත් මේ විදිහේ කුමන්ත්‍රණ රාශියක් ක්‍රියාත්මක වී තිබෙනවා.

අද කොටි හිතවාදීන්, රාජ්‍ය නොවන ආයතනවල ක්‍රියාකාරීන් බටහිර ගැති බලවේග ඇතුළු සියල්ල මේ කුමන්ත්‍රණයට සම්බන්ධයි. ජනතාවත් මේ තත්ත්වය හොදාකාරවම තේරුම් අරගෙන බුද්ධිමත්ව කටයුතු කරනවා. මම මේ වෙලාවේදී එක් අනාවැකියක් කියන්නම්. ජනවාරි 27 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්මයා යළිත් ජයග්‍රහණය කළාම ජනවාරි 28 වෙනිදා වෙද්දී ඉහළ ගිය හැම භාණ්ඩයකම මිල අනිවාර්යයෙන්ම පල්ලෙහාට යනවා. ඒක තමයි මේ කුමන්ත්‍රණයේ ස්වභාවය.

අද වෙද්දි ජනාධිපතිවරණයේ ප්‍රමුඛ තරගකරුවන් දෙදෙනා බවට පත්ව සිටින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විශ්‍රාමික ෆොන්සේකායි. අද වනවිට සමාජය තුළ මතයක් පැතිර යමින් තියෙනවා විශ්‍රාමික ෆොන්සේකාට මේ තරගයේදී වාසිදායක තත්ත්වයක් තියෙනවා කියලා. මේ තත්ත්වය ඔබ වහන්සේ දකින්නේ් කොහොමද?

අද වෙද්දි විපක්ෂ සන්ධානය මේ විදිහේ මතවාද සමාජය තුළ ස්ථාපිත කිරීමට විවිධ උපක්‍රම යොදා ගනිමින් ඉන්නේ. ඔබ සඳහන් කළ කාරණයත් විපක්ෂය විසින් ඉතාමත් සංවිධානාත්මක විදිහට සමාජය පුරා පතුරුවනු ලබන කාරණයක්. අද මුදල් ගෙවා මිලදී ගත් හිඟන්නෝ බස්වලට නැගලා ආණ්ඩුවට බනිනවා.

හන්දි ගානේ ඉඳගෙන ආණ්ඩුවට බනිනවා. බස් රථවලදී දුම්රියේදී ආණ්ඩු විරෝධී මත පතුරුවන්න පුහුණු කරන ලද පිරිස් යොදවා තිබෙනවා. ජනාධිපතිවරණයේදී තරගයක් ඇති කරලා තියෙන්නේ මේ විදිහට. ඒත් ජනවාරි 26 වෙනිදාට තේරෙයි ජනතාව ඉන්නේ කාත් එක්කද බහුතර පිළිගැනීම තියෙන්නේ කාටද කියලා. ඒ හින්දා අපි ඔය විදිහේ කතාවලට බයවෙන්න ඕනෑ නැහැ.

අද වෙද්දි පැයේ බොරු, පැය දෙකේ බොරු, දවසේ බොරු, සතියේ බොරු, මාසයේ බොරු කියලා ගොබෙල්ස් න්‍යායක් තමයි විපක්ෂය අනුගමනය කරන්නේ. හැබැයි මේ මොන බොරුවෙන්වත් රටේ මිනිස්සු මුලාකරන්න බැහැ. විශ්‍රාමික ෆොන්සේකාගෙන් ජනාධිපතිතුමාට කිසිම අභියෝගයක් නැහැ. ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය ස්ථිරයි.

විපක්ෂයෙන් ආණ්ඩුවට එල්ලවන තවත් ප්‍රබල චෝදනාවක් වෙන්නේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ වූ චෝදනායි. මේ තත්ත්වය නිවැරැදි කිරීමට ජනාධිපතිතුමාට පුළුවන්කමක් තිබෙනවාද?

එතුමාගේ පළමු ධූර කාලයේ දී රටට පිළිලයක්, පිළිකාවක් වෙලා තිබුණ ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කිරීමට පුළුවන්කම ලැබුණා. එදා සියලු දෙනා කල්පනා කළේ ත්‍රස්තවාදය පරාජය කරන්න රජයට බැරිවෙයි කියලා. ඒත් රජයට ඒ අභියෝගය ජයගැනීමට පුළුවන් වුණා.

ජනාධිපතිතුමාගේ ඊළඟ ඉලක්කය වෙලා තියෙන්නේ රටේ මුල් බැසගෙන තියෙන දූෂණය හා අක්‍රමිකතා සහමුලින්ම විනාශ කිරීමයි. මම නැහැ කියන්නේ නැහැ.

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ සිට රජයේ කාර්යාලයක රාජකාරි කරන කාර්යාල කාර්ය සහායකවරුන් දක්වා වූ පිරිස් අතර දූෂණය පැතිරිලා තියෙනවා. ජනාධිපතිතුමාත් මේ තත්ත්වය පිළිබඳ විශාල අවධානයක් යොමු කරලා තියෙනවා වගේම මේ වාතාවරණය පිළිබඳ හොඳ අවබෝධයකුත් තියෙනවා. ඒත් මේ පාර්ලිමේන්තුවේ තිබුණ අවිනිශ්චිත තත්ත්වය නිසා ජනාධිපතිතුමාට මේවාට නිසි පියවරක් ගැනීමට පුළුවන්කමක් තිබුණේ නැහැ.

මොකද වැරැදි කළ බවට තහවුරු වුණත් ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ. විනය ක්‍රියාමාර්ගයක් ගත්තොත් ඒ ඇමැති විපක්ෂයට පනිනවා. ඒත් මෙවර ජනාධිපතිතුමාගේ විශිෂ්ට ජයග්‍රහණයෙන් පස්සේ ජනාධිපතිතුමාට ස්ථාවර පාර්ලිමේන්තුවක් ඇති කරන්න පුළුවන්. ඊට පස්සේ දූෂණ හා අක්‍රමිකතා වැළැක්වීමට අවශ්‍ය පියවර අනිවාර්යෙන්ම ගන්නවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න ඕනෑ නැහැ.

රාජ්‍ය පාලනයට තම සහෝදරයන් සම්බන්ධ කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයාට එරෙහිව විපක්ෂය විශාල වශයෙන් චෝදනා එල්ල කරනවා. මේ තත්ත්වය ඔබ වහන්සේ දකින්නේ කෙසේද?

ජනාධිපතිතුමාට ලැබිලා තියෙන්නේ රාජ්‍ය නායකයෙකුට පහසුවෙන් නොලැබෙන අවස්ථාවක්. ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස, චන්ද්‍රිකා කුමාරතුංග යන රාජ්‍ය නායක නායිකාවන්ට සහෝදර සම්පතෙන් අඩුවක් තිබුණා. ඒ අයට සහෝදරයන් සිටියත් රජයේ කාර්යයන්හිදී ඒ අයට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. ඒත් අද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහෝදරයන්ගෙන් රටේ වැඩි දියුණුවට ඉතාමත් ඉහළ සහයෝගයක් ලැබුණා.

ගෝඨාභය මහත්මයා රට බේරා ගැනීමට විශාල කාර්යයක් ඉෂ්ඨ කළා. බැසිල් මහත්මයා රටේ සංවර්ධනයට විශාල කාර්යභාරයක් ඉෂ්ඨ කළා වගේම ඒ සඳහා නායකත්වයක් ලබා දුන්නා. අද දූෂණ චෝදනා එතුමාට එල්ල කරන්නේ හොරකම් කිරීමේ අවස්ථාව නොලැබීම පිළිබඳ වේදනාවට පත් වූ පිරිස් පමණයි. ඇත්තෙන්ම ජනාධිපතිතුමාගේ සහෝදර සමාගම රටට සම්පතක්. රටට වැඩදායි එකක් විදිහටයි මම දකින්නේ.

විශ්‍රාමික ෆොන්සේකා විසින් පුවත්පතකට සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇතිවෙලා තිබෙනවා. මේ ප්‍රකාශය මහා පාවාදීමක් විදිහට ආණ්ඩු පක්‍ෂය සඳහන් කරද්දී විපක්‍ෂය කියන්නේ ආණ්ඩුව මේ ප්‍රකාශය අනවශ්‍ය ලෙස ඉදිරිපත් කරමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන බවයි. මේ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස මොකක්ද?

ආණ්ඩුව මෙතැනදි කිසිම වැරැද්දක් කරලා නැහැ. මේ විදිහේ ප්‍රකාශයක් කළ විශ්‍රාමික ෆොන්සේකා තමයි ඇතිවී තිබෙන වාතාවරණයට වගකිව යුත්තේ. වගකිව යුතු පුද්ගලයකු විදිහට රජය සතු අභ්‍යන්තර රහසක් හෙළිදරව් කරද්දි අපි මෙයිට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. ද්වේෂය වෛරය මුල්කරගෙන දේශපාලනය කරන්න ගියහම තමයි මේ වගේ දේවල් ඇතිවෙන්නේ.

ජෙනරාල්වරයාගේ මේ ප්‍රකාශය නිසා අද රට ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ විශාල අපහසුතාවකටත් අවමානයකටත් පත්වෙලා ඉන්නේ. මෙතැන කිසිම දේශපාලන වාසි ගැනීමකට රජය උත්සාහ කරන්නේ නැහැ. ඇත්ත තත්ත්වය ජාතිය ඉදිරියේ හෙළිදරව් කිරීමක් පමණයි රජය කරන්නේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා