යුද්ධයක් තිබුණත් ඉකුත් සිවු වසරේ රටේ විශාල සංවර්ධනයක් සිදුවුණා

යුද්ධයක් තිබුණත් ඉකුත් සිවු වසරේ
රටේ විශාල සංවර්ධනයක් සිදුවුණා

- ඇමැති දිනේෂ් ගුණවර්ධන

වසර තිහකට පසු දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කිසිදු බියක් නැතිව යෑමේ වරම් ලබාදුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය ජනවාරි මස 27 වැනිදා ලබන බව නාගරික හා පූජා භූමි ප්‍රජා සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ බත්තරමුල්ල තලවතුගොඩදී පැවැති ජනහමුවකදීය.

ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

මු‍්‍රළු ලෝකයම බිය වැද්දු මිනීමරු කොටි සංවිධානය මුළු ලෝතලයෙන් අතුගා දැමීමට සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමත්වුණා. යුද්ධය කෙළේ මං යැයි අද කවුරු පුරසාරම් දෙඩුවත් ඒ සඳහා අණ ජනාධිපතිතුමා නොදුන්නානම් අදත් අපි කොටියාට බියේ ජීවත්වෙනවා. ඔය පුරසාරම් දොඩන අය ජනාධිපතිවරු හතර දෙනෙක් යටතේ රාජකාරි කළා.

කොටියාගේ එක මයිලක් සෙලවීමට හැකිවුණාද? මාවිල් ආරු සිට නන්දිකඩාල් කළපුව දක්වා අඛණ්ඩව යුද්ධය කෙළේ වීරෝදාර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අභිමානවත් නායකත්වය හා සේනාධිනායකත්වය නිිසයි.

2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනතාවගෙන් බලය ඉල්ලුවේ ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමටයි. එය අකුරටම ඉටුවී තිබෙනවා. යුද්ධය අවසන් වී මාස 5ක් ගතවුණා. රටේ කිසිම තැනක බෝම්බයක් පිපුරුණේ නැහැ. මේ ජයග්‍රහණයේ ගෞරවය හමුදාවේ එක් අයකුට අයිති නෑ. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සෑම රණවිරුවකුටම ඒ ගෞරවය හිමිවිය යුතුයි. යුද්ධයක් තිබුණත් ඉකුත් සිවුවසර තරම් රට සංවර්ධනය වූ සමයක් නිදහසින් පසු අපේ රටේ තිබුණේ නැහැ.

යුරෝපාකරයේ ලොකු රටවල් අපට හතුරුවන විට තුන්වැනි ලෝකයේ රටවල් අපගේ සහායට ආවේ ජනාධිපතිතුමාගේ විදේශ ප්‍රතිපත්තිය නිසයි.

2010 දී ශ්‍රී ලංකා භූමියෙන් ඉන්ධන ලැබීමේ සුබ ලකුණු පහළවී තිබෙනවා. මෙය දන්නා ධනපතිරටවල් දන්න ඔක්කෝම උප්පරවැට්ටි දානවා අපේ රට උන්ගේ අණසකට යටත් කැර ගැනීමට. මේවාට උල්පන්දම් දෙන දේශීය ජාතිද්‍රෝහීන් ඉන්නවා. මෙයින් රට මුදා ගත හැක්කේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට පමණයි.

මේ රටේ කළගුණ දත් ජනතාවට තම යුතුකම් ඉටුකිරීමට අවස්ථාව ඇවිත් තිබෙනවා. මේක අපේක්ෂකයන් දෙදෙනෙක් අතර සටනක් නෙවෙයි. දේශප්‍රේමින් සහ දේශද්‍රෝහීන් අතර ඇති සටනක්. දේශද්‍රෝහීන් පරාජය කර දේශ ප්‍රේමින් ජයගන්නවා නියතයි.

මහජන එක්සත් පෙරමුණේ උප ලේකම් ශ්‍රීපානි ජයරත්න මහතා මේ ජනහමුව සංවිධාන කැර තිබිණි.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඉසුර දේවප්‍රිය, නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහරගම සමුපකාර සමිතියේ සභාපති හේමලාල් ජයසිරි මහත්වරු ද කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා