පස් වැනි එක් දින තරගය අතරමඟ නවතී

අනතුරුදායක අසාමාන්‍ය තණතීරුවේ

පස් වැනි එක් දින තරගය අතරමඟ නවතී

ඩිල්ෂාන් සහ ජයසූරිය තරගය අතරතුර දී

පිතිකරුවන්ට අනතුරුදායක අසාමාන්‍ය තත්ත්වයක් තණතීරුව මතින් පෙන්නුම් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නවදිල්ලියේ ෆෙරෝස්ෂා කොට්ලා පිටියේ පැවැති පස්වැනි සහ අවසාන එක්දින තරගය අතරමගදී නවතා දැමීමට තරග තීරකවරයාට සිදුවිය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ඇරයුම් කළ අතර තරගයේ පළමු පන්දුවෙන්ම උපුල් තරංග දවාගැනීමට සහීර් ඛාන් සමත්වූවේය.

පිතිකරුවන්ට කිසිසේත්ම යෝග්‍ය නොවුනු මේ තණතීරුවේ දීර්ඝ පිතිහරඹ සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ට අවස්ථාවක් නොලැබුණු අතර ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීමට සමත් වූයේ ලකුණු 31ක් රැස් කළ සනත් ජයසූරිය ය. පන්දු යැවීමේදී සහීර් ඛාන් කඩුලු 2ක් බිඳ දැමීමට සමත්වූවේය.

තරගයේ 24 වැනි පන්දු ඕවරය වන විට ශශ්‍රී ලංකා පිල රැස්කරගෙන සිටියේ කඩුලු 5 කට ලකුණු 83ක් පමණි.

ඒ වන විට පිතිකරුවන්ට ඉතා අනතුරුදායක ලෙස පන්දුව ඉපිලීමට පටන්ගෙන තිබූ අතර එම අසාමාන්‍ය තත්ත්වය මත තරගයේ ආරම්භයේදීම තිලකරත්න ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය පන්දුවට මුහුණදීමේදී පන්දුව කෙළින්ම සිරුරට වැදුනු අවස්ථාවන්ද දක්නට ලැබිණි.

මේ හේතුව නිසා ඕස්ට්‍රේලියානු තරග තීරක ඇලන් හර්ස්ට් ක්‍රීඩා පිටියට පැමිණ විනිසුරු දෙපොළ සමඟ සහ තරග සංවිධායකවරුන් සමඟ සාකච්ඡා කොට තරගය නතර කර දැමීමට තීරණය කළේය.

නරඹන්නන් 40,000 කට අධික සංඛ්‍යාවක් මේ තරගය නැරඹීම සඳහා ක්‍රීඩා පිටියට පැමිණ සිටියහ.

මේ අනුව ශ්‍රී ලංකා ඉන්දීය එක්දින තරගාවලිය 3 – 1 ක් ලෙස ඉන්දීය පිලට ජයග්‍රහණය හිමිකර දීමෙන් අවසන් විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා