අපරාධය හා දඬුවම!

අපරාධය හා දඬුවම!

නාසිවාදයේ නිර්මාතෘ හෙවත් ඇඩෝල්ෆ් හිට්ලර් අවසානයේ තම පාපකර්ම සඳහා තමන් විසින් ම දඬුවම් පමුණුවා ගන්නා ලදී. ඔහු තම පෙම්වතිය වූ ඊවාට වෙඩි තැබී ය. සුරතල් බැල්ලිය වූ බොන්ඩිට සයනයිඩ් කවා මරා දැමීමේ ය.

ඊළඟට තමන් ගේ් පිස්තෝලය හිසට තබා කොකා ගැස්සුවේ ය. හිට්ලර් සැඟවී සිටි උමගය වෙත හමුදාව කඩා පනින විට සියල්ල සිදු වී හමාරය. හිට්ලර් ජර්මන් හමුදාවට යටත් වූයේ නම්; ඔහුට දීර්ඝ කාලයක් දුක් විඳින්නට සිදුවනු නො අනුමාන ය.

ජර්මන් මිනිස්සු හිට්ලර්ට ආකර්ෂණීය වූහ. ඒ ඔහුගේ ආකර්ෂණීය කතාව හා ජාතිවාදය නිසා ය. පළමුවන ලෝක යුද සමයේ ජර්මන් හමුදාවේ සාමාන්‍ය සෙබළකු වූ හිට්ලර් පසුව උසස්වීමක් ලැබ රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කළේ ය. මේ අපරාධය සැලැසුම් කර එහි නායකයත්වය ගත් හිට්ලර් කැරැල්ලක් මෙහෙයැවී ය. එය මුළුමනින් ම අසාර්ථක විය. හිට්ලර් බන්ධනාගාර ගත කැරිණි. ජර්මන් ජනතාව ඔහුට මුළා නොවන්නට දරුණු ආඥාදායකයකුගේ ගමන එතෙකින් නැවතීමට ඉඩ තිබිණි. එහෙත් එය එසේ සිදුවූයේ නැත.

අපරාධකාරයකුට නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ තැබීම ඉතා අනතුරුදායක ය. එක අතකින් එය නීතිය උල්ලංඝනය කිරීමෙකි. අපරාධකාරයා මානසික රෝගියෙකි. පළිගැනීම, වෛරය, ප්‍රචණ්ඩත්වය ඔහු ළඟ සැරිසරයි.

මෙබඳු පුද්ගලයන් සමාජගත කළ හැකි හොඳ ම ක්‍රමය නම්; පුනරුත්ථාපනය කිරීම ය. එහි පළමු පියවර විය යුත්තේ අපරාධකාරයා අත්අඩංගුවට ගෙන නඩු විමසා වරදට දඬුවම් පමුණුවා නැවත ඔහු පුනරුත්ථාපනය කිරීම ය. එතෙක්, දුෂ්ඨයා ශිෂ්ට සමාජයෙන් වෙන් කර තැබිය යුතු ය. එසේ නොවුණහොත් අපරාධකාරයා තවදුරටත් සමාජ විරෝධී ක්‍රියාවල නිරත වනු ඇත.

විශ්‍රාමික සරත් ෆොන්සේකා මහතා ද හමුදා අත්අඩංගුවට පත් ව ඇති බව පෙරේදා නිවේදනය කැරිණි. ඔහුට එරෙහි ව චෝදනා රැසක් තිබේ. හමුදා ප්‍රධානයකුව සිට ආණ්ඩුව පෙරැළීමට කුමන්ත්‍රණය කිරීම පළමු චෝදනාව යි.

හමුදාවේ සහාය ඊට ලබාගැනීම හා හමුදාව භේද - භින්න කිරීම දෙවන චෝදනාව යි. ආණ්ඩුවේ බලගතු නිලධරයකු විපක්ෂය සමඟ රහස් සාකච්ඡා පැවැත්වීම තෙවන චෝදනාවයි. හමුදාව පාවාදීම තවත් චෝදනාවෙකි. මේ අයුරින් විභාගයට ගැනෙන තවත් චෝදනා ගණනාවක් තිබේ. සියල්ල සිදුවන්නේ හමුදාවේ විනය ක්‍රියාමාර්ග තුළ ය.

ෆොන්සේකා මහතා ගේ සැලැසුම් සාර්ථක වූයේ නම්; මේ වන විට මුළු ශශ්‍රී ලංකාව ම මිලිටරිකරණයකට යටත් ව ගිනි - ගොඩක් මැද පවතිනු ඇත. ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පළිගනු ඇත.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් පළිගනු ඇත. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට සම්බන්ධ බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගනු ඇත. ඔහුට විරුද්ධ මතවාදයෙහි පිහිටි සියලු දෙනාට ද දඬුවම් විඳීමට සිදුවනු ඇත.

ඇතමෙකු ඝාතනය කරනු ඇත. සරත් ෆොන්සේකා මහතා ගේ සැලැසුම් අතිශය බියකරු බව පසුව හෙළිවිණි. ශශ්‍රී ලංකාවත් එහි ජනතාවත් යාන්තමින් ගැල වි ඇති බව සිතන්නට පුළුවන.

පසුගිය 26 දා රාත්‍රියෙහි හා 27 දා උදෑසන කොළඹ සිනමන් ලේක් හෝටලයෙහි සිදු වූ රංගනය කුමක්දැයි සමස්ත ශශ්‍රී ලංකාව ම දනී . ෆොන්සේකා මහතා මහජන අභිමතයට පිටුපා රජය අල්ලා ගැනීමට සැලැසුම් කර තිබූ බව ඉතා පැහැදිලි ය.

උගන්ඩාවේ ජෙනරාල් ඉඩි අමීන් ආණ්ඩුව අල්ලා ගත්තේ ද එම උපාය මාර්ග භාවිතා කරමින් ය. නයිජීරියාවේ හමුදා ප්‍රධානී ජෙනරාල් බුහාරී එරට ආණ්ඩුව අල්ලා ගත්තේ ද ඊට සමාන උපාය මාර්ග භාවිත කරමින් ය. විශ්‍රාමික ෆොන්සේකා මහතා ද එය අනුකරණය කරන්නට ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පෙරළා දමා හමුදා ආණ්ඩුවක් පිහිටුවන තැනැත්තා පළමුව ද්‍රෝහී වන්නේ එරට ජනතාවට ය. ඊළඟ ට රටේ නීතියට හා සම්ප්‍රදායට ය. ශශ්‍රී ලංකාවේ මෙතෙක් ඉතිහාසය තුළ හමුදා ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ ලැබී නැත.

එය යුක්ති ධර්මය විසින් අපට ලබා දෙන ලද වරමක් සේ පවතී. හමුදා ප්‍රධානයකුගේ මූලික වගකීම විය යුත්තේ රජය ආරක්ෂා කිරීම හා විනය රැකීම ය. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ලොව ඇති විනයගරුක ම හමුදාව ලෙස ශශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට ගෞරව නාමයක් ලැබිණි. විශ්‍රාමික ෆොන්සේකා මහතා ඒ තත්ත්වය හා ගෞරවය විනාශ කර තිබේ.

ඔහු ගේ පාවාදීම්වල භයානක ප්‍රතිඵලය කවරේ ද යත්; ශශ්‍රී ලංකා ආණ්ඩුවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ පෙනී සිටින්නටත් මානව හිමිකම් සම්බන්ධයෙන් වගඋත්තර බඳින්නටත් සිදු ව තිබේ.

මෙරට ආරක්ෂක අංශවලට විදේශවලින් ලැබුණු පුහුණුවීම් අවලංගු කර තිබේ. විශ්‍රාමික ෆොන්සේකා මහතා රටට - ජාතියට පමණක් නො ව තම වෘත්තියට ද ද්‍රෝහි වී ඇත. මෙබඳු දුෂ්ඨ මනුෂ්‍යයකුට අනුකම්පා කළ යුතු නැත. ඔහු ගේ සියලු ද්‍රෝහීකම් හෙළිකළ යුතු ය. සියලු වරදට දඬුවම් දිය යුතු ය.

ජනාධිපතිවරණයෙන් පසු ජනතාව විසින් නඟන ලද පොදු ප්‍රශ්නයක් තිබිණි. එනම්; රජයට හා රටට ද්‍රෝහී වූ ෆොන්සේකා මහතා නීතිය හමුවට ගෙන එන්නේ කවදා ද යන්න ය.

සමහර විචාරකයෝ සරත් ෆොන්සේකා අත්අඩංගුවට නොගන්නේ මන්දැ’යි කෙළින් ම ප්‍රශ්න කළහ. තවත් අය පෙළපාළි ගියහ. නීතිය ක්‍රියාත්මක කරමින් වරදකරුවකුට දඬුවම් ලබාදීම මේ රටේ පාලකයන්ගේ වගකීම ය. එම වගකීම පැහැර හරින්නේ නම්; ජනතා විශ්වාසය බිඳෙනු ඇත.

කර්ම විපාකය සෙවණැල්ල සේ පුද්ගලයා පසුපස හඹා එයි. එය මහබඹුටවත් වෙනස් කළ නො හැකි ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා