දෙස්-විදෙස් කුමන්ත්‍රණවලට නොරැවටී

දෙස්-විදෙස් කුමන්ත්‍රණවලට නොරැවටී
බුද්ධිමත් ජනතාව ගත් තීන්දුව විශිෂ්ටයි

- පාණදුර ශ්‍රීලනිප සංවිධායක පළාත් සභා මන්ත්‍රී රෙජිනෝල්ඩ් කුරේ.

දෙවැනි වරටත් ජනාධිපතිවරණයකට තරග කරමින් මෙතරම් වැඩි සංඛ්‍යාවකින් ජයග්‍රහණයක් ලැබූ ලෝක ඉතිහාසයේ ප්‍රථම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මැතිතුමා බව පානදුර ආසනයේ ශ්‍රී. ල. නි. ප. ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ පානදුර පැවැති ජනහමුවකදීය.

පානදුර ශ්‍රී. ල. නි. ප. මධ්‍යම සංවිධානය මගින් මේ ජන හමුව කැඳවා තිබුණේ ජනාධිපති වරණයේදී සහයෝගය ලබා දුන් අයට කෘත ගුණ සැලකීම සඳහාය.

තවදුරටත් අදහස් දැක්වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා මෙසේද පැවසීය.

දේශීය හා විදේශීය කුමන්ත්‍රණ වලට නොරැවටී බුද්ධිමත් ජනතාව ලබා දුන් ප්‍රතිඵලය ඉතා විශිෂ්ඨයි.

පානදුර ආසනය ඡන්ද 52000 කට ආසන්න ප්‍රමාණයක් ලබාදී වැඩි ඡන්ද 20000 ආසන්න සංඛ්‍යාවකින් ජයග්‍රහණය ලබා දුන් සියලුම දෙනාට මාගේ ප්‍රණාමය පළ කර සිටිනවා.

මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේවත් මගේවත් ජයග්‍රහණයක් නොවෙයි. කළ ගුණ දක්වන අයගේ ජයග්‍රහණයක්. විරද්ධවාදීන් මොනවා කීවත් මේ රටේ බුද්ධිමත් ජනතාව නිසි අයුරු තීරණයක්ගෙන තිබෙනවා. ජනාධිපතිවරයා ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයට විරුද්ධවාදීන් දැන් නොයෙකුත් බොරු ප්‍රචාරයන් ගෙන යනවා.

කවුරු මොනවා කීවත් ජනාධිපතිතුමාගේ ඉදිරි ගමන නවතා දැමීමට කිසිම ජගතකුට හැකියාවක් නැහැ.

කණ්ඩායම් නායකයා තෝරා ගෙන අවසානයි.

දැන් තිබෙන්නේ ඉතිරි ක්‍රීඩකයින්ට තෝරා ගැනීමයි. වසර හතරක් වැනි සුළු කාලයකදී මේ රටේ පැවැති ත්‍රස්තවාදය මුලින්ම උපුටා දැමූ ජනාධිපතිවරයාගේ මීළඟ සටන රට සංවර්ධනය කිරීමයි.

එම සටනට සහාය ලබාදීමට හැකි හොඳ කණ්ඩායමක් ලබාදීම ජනතාවගේ යුතුකමයි. එම නිසා අපගේ පිලේත් සුදුසු නොමැති අය සිටිනවා. එම නිසා ඒ අය ඉවතට දමා හොඳ අය පත් කිරීමට ක්‍රියා කරන මෙන් ඉල්ලා සිටිනවා.

පානදුර ප්‍රාදේශීයසභාවේ සභාපති සුනේත්‍ර ලාල් ප්‍රනාන්දු, පාණදුර නගර සභාවේ හිටපු සභාපති අධිනීතිඥ ලෙනිත් ප්‍රනාන්දු, ප්‍රාදේශීය සභා මන්ත්‍රී මොහාන් රංසි මහත්වරුද කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා