ෆොන්සේකා අත්අඩංගුවට ගත්තේ

ෆොන්සේකා අත්අඩංගුවට ගත්තේ
හමුදා නීතියේ 57වැනි වගන්තිය අනුවයි

හමුදා නීතිය කාටත් එකයි

ලක්‍ෂ්මන් හුලුගල්ල - ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට හේතු වූ පසු බිම පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලක්‍ෂ්මන් හුලුගල්ල මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වූයේ මොන වාගේ තත්ත්වයක්ද ?

මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් විවිධ ආකාරයේ අර්ථ ගැන්වීම් අදහස් දැක්වීම් කරනවා. මේ අය මෙවැනි අර්ථ දැක්වීම් කරන්නේ මේ මොහොතේදී ලබා ගත හැකි දේශපාලන වාසියක් තියෙනවා නම් ඒක අරගෙන යළිත් ජනතාව මුලා කිරීමටත් පසු ගිය ජනාධිපතිවරණයේදී විපක්ෂය ලැබූ පරාජයේ ලජ්ජාව වසා ගැනීමටත් විය හැකියි.

ඒත් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට හේතු වුණේ කිසිදු දේශපාලන හෝ පුද්ගලික කාරණයක් නිසා නෙමෙයි. හමුදා විනය ආරක්ෂා නොකිරීමත් එම විනය දැන දැන කැඩීමත් යන කරුණුයි.

ජෙනරාල් ෆොන්සේකා මහතා අවුරුදු හතරකට ආසන්න කාලයක් යුද හමුදාපතිවරයා ලෙසත් සුළු කාලයක් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙසත් රාජකාරී කළා. මේ තනතුරු දෙකම රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයේදී ඉතාමත් වැදගත් වගකිව යුතු තනතුරු දෙකක්.

එහෙත් සරත් ෆොන්සේකා මහතා ඔහු දැරූ එම වගකිවයුතු තනතුරුවල තිබිය යුතු විනය වගකීම නිසි විදිහට ඉෂ්ඨ කිරීමට නොහැකි වූ බව අභ්‍යන්තර පරීක්ෂණ වලදී තහවුරු වෙලා තිබෙනවා. එම තත්ත්වය නිසා තමයි ෆොන්සේකා මහතා හමුදා අත් අඩංගුවට ගැනීම සිදු වෙලා තිබෙන්නේ.

යුද හමුදාපති තනතුර දරන්නා මෙන්ම මාණ්ඩලික ප්‍රධාන තනතුර දරන්නාද රටේ ආරක්ෂක මණ්ඩලය නියෝජනය කරනවා.

මෙම මණ්ඩලයට සේනාධිනායකයා විදිහට ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, ජනාධිපති ලේකම් ඇතුළු නාවික ගුවන් හමුදාපතිවරුද සහභාගි වෙනවා.

මෙම ස්ථානයේදී රටේ ආරක්ෂාව පිළිබඳව ඉතාමත් වැදගත් තීන්දු තීරණ ගන්නවා විතරක් නෙමෙයි ඒ පිළිබඳව බැරෑරුම් විදිහට සාකච්ඡා කරනවා.

මෙම වැදගත් ස්ථානය නියෝජනය කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග රහසිගතව සාකච්ඡා කරලා තිබෙනවා, ගනු දෙනු කරලා තිබෙනවා. හමුදා විනය අනුව මෙය ඉතාමත් නරක වැරැදි සහගත ජරාචාරයක්.

හමුදාපතිවරයෙකු නෙමෙයි සාමාන්‍ය සෙබලෙක් වුණත් හමුදා සාමාජිකත්වය දරමින් දේශපාලනය කරනවා නම් ඒ හා සමාන චර්යාවල යෙදෙනවා නම් එය වැරැදියි. සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට හේතුවෙලා තියෙන්නේ හමුදාව තුළ තිබෙන මෙම අභ්‍යන්තර නීති මාලාව උල්ලංඝණය කිරීමයි.

ෆොන්සේකා මහතා යුද හමුදාවේ සක්‍රීය සේවයේ හිඳීමින්ම සේනාධිනායක ධුරයද දරන ජනාධිපතිතුමාට විරුද්ධව විපක්ෂය සමඟ දේශපාලන කල්ලි ගැසීමක් සිදු කරලා තිබෙනවා.

පසුගිය දිනවල ආණ්ඩුව දිගින් දිගටම සඳහන් කළේ සරත් ෆොන්සේකා මහතා කුමන්ත්‍රණයක් සැලසුම් කළ බවයි. එම කුමන්ත්‍රණ කතාව හා ඔහු අත්අඩංගුවට ගැනීම අතර සම්බන්ධයක් නැද්ද ?

යුද හමුදා ප්‍රධානියා ලෙස සිටිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීම කල්ලි ගැසීම වුණත් කුමන්ත්‍රණයක් විදිහටයි හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නේ.

සරත් ෆොන්සේකා මහතාගේ මෙම දේශපාලන ක්‍රියාමාර්ගය නිසා හමුදාවේ ඉහළ සිට පහළටම බෙදීමක් ඇති කිරීමට උත්සාහ කරලා තිබෙනවා. හමුදාව බේද කිරීම වුණත් කුමන්ත්‍රණයක්.

එවැනි කුමන්ත්‍රණයක් ඔහු කළා කියලා පිළිගැනීමට මේ කරුණු ප්‍රමාණවත්.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ මොහොතේදී හමුදා සේවයෙන් ඉවත් වූ සිවිල් පුරවැසියෙක්. එවැනි සිවිල් පුරවැසියකුට විරුද්ධව හමුදා නීතිය ක්‍රියාත්මක කළ හැකිද ?

ඔබ ඇසූ ප්‍රශ්නය ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. සිවිල් සමාජයේ බොහොමයකට මේ පිළිබඳව නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා තමයි මේ විදිහේ ප්‍රශ්නයක් අහන්නේ. හමුදා සේවයෙන් ඉවත් වූ සැණෙන් පුද්ගලයෙකුගේ යුද හමුදාව සමග තිබෙන සියලු බැඳීම් ඉවත් වෙන්නේ නැහැ.

හමුදා නීතියට අනුව පුද්ගලයෙකු යුද හමුදාවෙන් ඉවත් වෙලා මාස හයක් ගත වන තුරු ඔහු හමුදා ජීවිතයේ කළ වරදකට දඬුවම් කරන්න පුළුවන්. හමුදා නීතිය යටතේ ජෙනරාල් ෆොන්සේකා මහතා හමුදා ජීවිතයෙන් විශ්‍රාම ගත්තේ පසු ගිය වසරේ නොවැම්බර් මාසයේදී.

ඒ නිසා යුද හමුදා නීතිය යටතේ් දඬුවම් කිරීමට තාමත් අවස්ථාව තිබෙනවා. හමුදාව ඔහුව අත් අඩංගුවට අරගෙන තියෙන්නේ හමුදා නීතියේ 57 වෙනි වගන්තිය යටතේයි.

ඒත් රටේ මතයක් තිබෙනවා ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පැහැදිලි දේශපාලන පළිගැනීමක් කියලා?

නැහැ. මෙහිදී දේශපාලඥයකු ලෙස ඔහු කළ ක්‍රියාකාරකම් වැරදි පිළිබඳව සිවිල් නීතිය යටතේ පරීක්‍ෂණ පවත්වාගෙන යනවා

සරත් ෆොන්සේකා මහතා හිටපු හමුදාපතිවරයකු පමණක් නොවෙයි ලක්‍ෂ හතළිස් එකකට අධික මහජන ඡන්ද ප්‍රමාණයක් ලබාගත් විපක්‍ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයෙක්. මේ තත්ත්වය තුළ මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව ජාත්‍යන්තරය වශයෙන් බලපෑම් අතපෙවීම් සිදුවීමට ඉඩක් නැද්ද?

මම යළිත් සඳහන් කළ යුතුයි මේ අත්අඩංගුවට ගැනීම දේශපාලන කරුණු මුල්කර ගෙන සිදු වූ දෙයක් නෙමෙයි. සිවිල් නීතිය යටතේ සිදු කළ දෙයකුත් නෙමෙයි. යුද හමුදාවේ අභ්‍යන්තර කටයුත්තක්.

ඒ නිසා මේ දේට ජාත්‍යන්තරව සිදුකළ හැකි බලපෑමක් නැතුවා සේම එවැනි බලපෑමකට යටත්වීමට අපේ යුද හමුදාවේ සූදානමකුත් නැහැ.

සරත් ෆොන්සේකා මහතා දේශපාලන වේදිකාවේදී ජනාධිපතිතුමාට විරුද්ධව විශාල චෝදනා ප්‍රමාණයක් එල්ල කළා. එම චෝදනාවල කිසිදු ගැලපීමක් පදනමක් තිබුණේ නැහැ.

ජනාධිපතිතුමාගේ පැත්තෙන් ෆොන්සේකා මහතාගේ පාර්ශවයට එල්ල කළ චෝදනාවලට වඩා මොහු එල්ල කරන චෝදනා වෛර සහගතයි. ඔහු ජනාධිපතිතුමාටත් ඔහුගේ සමීපතමයන්ටත් වෛරී සහගතව චෝදනා එල්ල කළා.

ඒත් මේ කිසිදු චෝදනාවකට ජනාධිපති තුමා සීමාව ඉක්මවා පිළිතුරු ලබාදීමට තර්ජනය කිරීමට ගියේ නැහැ. ඉතාමත් මහත්මා ලීලාවෙන් ජනාධිපතිතුමා දේශපාලනය කළා.

මේ හැම දෙයක් පිළිබඳවම ජාත්‍යන්තර ප්‍රජාවට ඉතාමත් ඉහළ අවබෝධයක් ඇතැයි මට විශාල විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඇතැමුන් බලාපොරොත්තු වන ආකාරයේ පෙළගැසීමක් ඇතිවෙන්නේ නැහැ.

ෆොන්සේකා මහතාගේ දේශපාලනයට බාධා කිරීමක් මෙම අත්අඩංගුවට ගැනීම තුළ නැහැ. එහෙත් ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳව අත්අඩංගුවට ගත්තානම් එතැන වැරැද්දක් තියෙන්න පුළුවන්. ඒත් මෙතන තියෙන්නේ රාජ්‍ය ආයතනයක අභ්‍යන්තර නීතියක් ක්‍රියාත්මක වීමක් පමණයි.

ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට විරුද්ධව රට තුළ ජනමතයක් ඇතිවීමට ඉඩක් තිබෙනවා නේද?

රටේ බහුතර ජනමතය තිබෙන්නේ ජනාධිපතිතුමාට කියලා මීට සති දෙකකට කලින් පවත්වපු ජනාධිපතිවරණ ප්‍රතිඵලය මගින් තහවුරු වෙනවා.

ජනාධිපතිතුමාට රටේ 58%ක ජනමතයක් තිබෙනවා. ෆොන්සේකා මහතාට තිබෙන්නේ 40% ජනමතයක් පමණයි. ඒ තත්ත්වය තුළ ෆොන්සේකා මහතාට පක්ෂපාතීව අලුත් ජනමතයක් ඇතිවෙයි කියලා මා නම් කල්පනා කරන්නේ නැහැ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා