අජිත් බණ්ඩාරට මැරතන් රන් පදක්කම අහිමි වෙයි

නියමිත දුර නොමැතිවීම ගැන ශ්‍රී ලංකාවෙන් දැඩි විරෝධය

අජිත් බණ්ඩාරට මැරතන් රන් පදක්කම අහිමි වෙයි
 

ද.ආසියා ක්‍රීඩා උළෙලේදී පසුබෑමකට ලක් වෙමින්
ශ්‍රී ලංකාව සිවුවැනි ස්ථානයට පත් වෙයි

11 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට අවසන් රිදී පදක්කම ඊයේ පැවැති මැරතන් තරගයෙන් අජිත් බණ්ඩාර හිමිකර දුන්නේ ය. ප්‍රථම ස්ථානය නේපාලයට හිමි වූ අතර එම ජයග්‍රහණය ගැන ශ්‍රී ලංකාවෙන් විරෝධතාවක් ද එල්ල විය.

එහි තරග නිමි කාලය ප්‍රකාශ නොකළ අතර මැරතන් තරගයක තිබිය යුතු දුරට වඩා කි. මි. 5ක් අඩුවෙන් තරගය පැවැත්වීම ගැන ප්‍රබල විරෝධයක් ගොඩනැංවුණි.

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 16යි: රිදී 35යි : ලෝකඩ 54යි

බංග්ලාදේශයේ ඩකා නුවරදී ඊයේ නිමාව දුටු 11 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් 16ක් රිදී පදක්කම් 35ක් හා ලෝකඩ පදක්කම් 54ක් හිමි කරගෙන සිවුවැනි ස්ථානයට පත්විය.

එය 2006 වසරේ දී කොළඹ දී නිමා වූ 10 වැනි සාග් තරගාවලියට වඩා රන් පදක්කම් 21ක් රිදී පදක්කම් 28ක් හා ලෝකඩ පදක්කම් 24ක අඩුවීමකි.

මැරතන් රිදී පදක්කම දිනූ අජිත් බණ්ඩාර

මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 299ක් හා නිලධාරීන් 72ක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ අතර සහභාගිත්වය තරම් යහපත් ප්‍රතිඵලයක් අත් නොවීම කැපී පෙනුණි.

සමහර ක්‍රීඩා සංගම් තරගාවලියට ඉදිරිපත් කර තිබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හොඳ තරගකාරී තත්ත්වයක නොසිටි හෙයින් මූලික වටවලදීම පරාජයන් අතිවිය. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඩකා සංචාරය විනෝදකාමී එකක් වූවා මිස රටට වැඩදායි නොවීය.

මහජන මුදල් වැයකොට ජාත්‍යන්තර තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යැවීමේ දී ක්‍රීඩා සංගම් මෙයට වඩා සැලකිලිමත්විය යුතු බව මේ තරගාවලියෙන් පසුව එම නිලධාරීන් දැඩිව අවධාරණය කර ගත යුතුව ඇත.

මෙවර තරගාවලියේ දී ද දකුණු ආසියා ක්‍රීඩා ආධිපත්‍යය අඛණ්ඩව පතුරවමින් ඉන්දියාව රන් 90ක් රිදී 55ක් හා ලෝකඩ 29ක් දිනාගෙන ප්‍රථම ස්ථානයේ වැජඹුනේ ය.

පාකිස්තානය රන් 19ක් රිදී 25ක් හා ලෝකඩ 36ක් දිනා දෙවැනි ස්ථානයටත් සත්කාරක බංග්ලාදේශය රන් 18ක් රිදී 23 ක් හා ලෝකඩ 56ක් දිනා තෙවැනි ස්ථානයටත් පත්විය.

බංග්ලාදේශය 2006 තරගාවලියට වඩා ශීීඝ්‍ර දියුණුවක් පෙන්නුම් කිරීම එරට වැසියන්ගේ නොමද සතුටට හේතු වී ඇත. 2006 තරගාවලියේ දී බංග්ලාදේශය රන් පදක්කම් 3ක් රිදී පදක්කම් 15ක් හා ලෝකඩ පදක්කම් 34ක් දිනාගෙන තිබුණි.

මීටර් 100 රන් පදක්කම දිනු ෂෙහාන් අඹේපිටියට ක්‍රීඩා ඇමැති ගාමිණී ලොකුගේ මහතාගෙන් සුබ පැතුම්.

බංග්ලාදේශයේ ජනප්‍රියම ක්‍රීඩා දෙකවන ක්‍රිකට් හා පාපන්දු රන් පදක්කම් සත්කාරක රටට හිමිවීම ඔවුන් ලැබූ ලෝක ජයග්‍රහණ ලෙසින් සලකති. ක්‍රිකට් අලුතින් ම මේ තරගාවලියට එක්වූවකි.

අලුතින් එක් වූ ගොල්ෆ් ක්‍රීඩාවේ රන් පදක්කම් බංග්ලාදේශය ද හෑන්ඩ් බෝල් රන් පදක්කම පාකිස්තානය ද හිමිකර ගත්හ. එම තරගවල දී ශ්‍රී ලංකාවට කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට නොහැකි විය.

ටේබල් ටෙනිස් ලෝකඩ පදක්කම්

ටේබල් ටෙනිස් ඒකල තරගයේ ලෝකඩ පදක්කම තරිÁද්‍ර දර්ශනී ද පිරිමි ඒකල තරගයේ ලෝකඩ පදක්කම චලිත රංජනද ඊයේ හිමිකර ගත්හ.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා තරගවල දී රන් පදක්කම් 8ක්, රිදී පදක්කම් 8ක් හා ලෝකඩ පදක්කම් 6ක් දිනා ගත්තේ ය.

මීටර් 100 ෂෙහාන් අඹේපිටිය, මීටර් 1500 චමින්ද විජේකෝන්, මීටර් 200 හා මීටර් 400 චන්ද්‍රිකා සුභාෂිනී, මීටර් 100 ඔ 4 කාන්තා හා පිරිමි, දුර පැනීම එන්. සී. ඩී. ප්‍රියදර්ශනී, හා උස පැනීම ප්‍රියංගිකා මධුමන්ති රන් සම්මානයට පාත්‍ර වූහ. 2006 වසරේ දී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 14ක් දිනා ගත්තේ්ය.

පිහිනුම් ඉසව්වලින් මෙවර රන් පදක්කම් 3ක් හිමි වූ අතර මිනේකා කරුණාරත්න රන් පදක්කම් 2ක් හා මිටර් 100 පසුපස ආර නව සාග් වාර්තාවක් බිහිකළ හේෂාන් උණම්බුව රන් පදක්කමක් දිනා ගත්හ. 2006 දී ශ්‍රී ලංකාවට පිහිනුම් ඉසව්වලින් රන් පදක්කම් 5ක් හිමිවිය.

බර ඉසිලීමේ තරගවල දී කමල් බණ්ඩාර හා චින්තන ගීතාල් විදානගේ රන් පදක්කම් 2ක් හිමිකර දුන්නේය. 2006 දී මේ ඉසව්වෙන් රන්පදක්කමක් පමණක් හිමිවිය.

ශ්‍රී ලංකාවට මෙවර පාපැදි, ටයිකොන්ඩෝ, කරාටේ තරගවලින් රන් පදක්කම බැගින් හිමිවිය. 2006 දී පාපැදි රන් 5ක්, ටයිකොන්ඩෝ රන් 2ක් හා කරාටේ රන් 4ක් හිමිව තිබුණි.

රිදී පදක්කම දිනූ මීටර් 400 ය 4 (පිරිමි) සහාය තරගයේදී රොහාන් ප්‍රදීප්ගෙන් රෝහිත පුෂ්පකුමාරට යෂ්ටිය හුවමාරු වෙයි.

11 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් ගත් අයුරු.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා